මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට

මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට


මහනුවර පිරමීඩ ජාවාරම්කරු කහවත්තේදී අත්අඩංගුවට

(22.07.2024 – mawbima.lk)

නීති විරෝධී පිරමීඩ ක්‍රමයට රුපියල් කෝටි හතළිස් පහකට (45,00,00,000) අධික මුදලක් උපයා සාමාජිකයන්ට පොලිය නොගෙවා සැඟව සිටි පුද්ගලයකු කහවත්ත ඇන්දානේ නිවෙසක සැඟව සිටියදී ඇන්දාන පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, සුදුහුම්පොළ ලිපිනයේ ‘දිසානායක මුදියන්සේලාගේ අසංක දිසානායක’ නමැති හතළිස්පස් (45) හැවිරිදි පුද්ගලයෙකි. හෙතෙම සිවුදරු පියකු වන අතර මෙහු අරලිය උයන, දෙපානම පන්නිපිටිය ප්‍රදේශයේ හයිබ්‍රිඩ් වාහන අලුත්වැඩියාව හා ‘ආශී ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිම්ටඩ්’ නමින් ‘නීති විරෝධී පිරමීඩ් ක්‍රමයට මුදල් උපයන ජාවාරමක්’ පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඇන්දාන පොලිසියේ පොලිස් සැරයන් මාධව නමැති නිලධාරියා සහ විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් රත්නායක සමඟ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ එම නිවෙසේ රැඳී සිටි මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතී ගෙහිමියාගෙන් ප්‍රශ්න කර ඇත. නිලධාරීන්ගේ හරස් ප්‍රශ්න කිරීම් තුළ ඔහුගේ පිළිතුරු නොගැළපුණු නිසා අදාළ සැකකරු ඇන්දාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සධීර සෝමරත්න මහතාගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගෙන ඇත.

ඇන්දාන පොලිසියේ පොලිස් සැරයන් මාධව ඇතුළු කණ්ඩායම විසින් මෙම සැකකරු පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ දත්ත නියාමන පද්ධතිය අනුව අසංක දිසානායකගේ හැඳුනුම්පත් අංකයට අදාළව අපරාධ රැසකට සම්බන්ධ බව හෙළිදරව් වී ඇති බව පොලිසිය පවසයි.

2019 වසරේ පින්නවල පොලිස් බලප්‍රදේශයේ තවත් පුද්ගලයන් පස්දෙනකු (5) සමඟ පුද්ගලයකු (1) පැහැර ගෙන පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ තිහක් (30) වටිනා රන්මාල කොල්ලකෑම, යක්කල පොලිස් වසමේ පුද්ගලයකුගෙන් රුපියල් එක්ලක්ෂ අසූ දහසක් (1,80,000) බලෙන් ලබා ගැනීම, මහරගම පිහිටි සැකකරුට අයත් හයිබ්‍රිඩ් වාහන අලුත්වැඩියා කිරීමේ ස්ථානයේ ‘තවත් පුද්ගලයකු නමින් (?)’ වාහන දෙකක් (2) සාදා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 16 ක් වංචා කිරීම පිළිබඳව සැකකරු වෙනත් නඩුවකට සම්බන්ධ බවත් එම නඩුවෙන් ඇප ලබාගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවීම ඇතුළු අධිකරණය දිගින් දිගටම මඟහැරීම පිළිබඳව සැකකරුට චෝදනා පවතින බවටත් හෙළිදරව් වී ඇති බව පොලීසිය කියයි.

සැකකරුගේ බිරිය යුද හමුදා සෙබළෙකුගේ බිරියක් බවත් ඇය දරුවන් තිදෙනකු (3) සමඟ මෙම පුද්ගලයා සමඟ පසුව විවාහ වී ඇති බව පොලිසිය කියයි. පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය නීති විරෝධී පිරමීඩ ජාවාරම් මඟින් උපයාගත් රුපියල් කෝටි ගණනක් කැෂිනෝ සහ රේස් බයි රේස් සූදුවේ යෙදීම නිසා පිරමීඩ් සාමාජිකයන් වෙත පොලිය ගෙවීමට නොහැකි වී ඔවුන් නිතරම ආයතනයට පැමිණීම හේතුවෙන් ප්‍රදේශයෙන් පලා ආ බව බිරිය පොලිසියට පවසා ඇත. පිරමීඩ සාමාජිකයන්ගෙන් රුපියල් 30,000 – 50,000 බැගින් ලබා ගෙන ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සැකකරු සොයන අතර, සුපිරි ජීප් රිය සහ මෝටර් රථය, සැකකරුගේ බිරියගේ හා දරුවන්ගේ ජංගම දුරකථන සියල්ල පන්නිපිටිය නිවසේ තබා මෙසේ පැන ගොස් සිට ඇත.

මෙසේ පැමිණි සැකකරු මොනරාගල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ රැඳී සිටින අතර බිරියට සිවුවැනි (4) දරුවා ලැබී ඇත්තේ මොනරාගල මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 08 දාය.

අනතුරුව ඇන්දාන ප්‍රදේශයේ රැඳී සිටි ‘නිවසේ පුද්ගලයා’ ද 2018 වසරේ නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට කුරුවිට බන්ධනාගාරයේදී අදාළ සැකකරු හඳුනා ගත් බව පොලිසියට පවසා තිබේ. ඒ අනුව සති දෙකක (2) කාලයක් එම නිවසේ රැඳී සිට තිබේ. නිවෙස් හිමියාගේ පතලයක වැඩ කිරීමට පැමිණි කම්කරුවකු ලෙස සැකකරු ප්‍රදේශයේ ජීවත් වී ඇත.

සැකකරු මුලින් පෙනී සිට ඇත්තේ ‘අනුර වනිගසිංහ’ ලෙසිනි. ‘අනුර වනිගසිංහ’ නමැති අය මහව තානායමේ සේවය කරන අවස්ථාවේ මෙම සැකකරු තානායමට පැමිණ ඇති බවත් එදින සිය මුදල් පසුම්බිය හැඳුනුම්පත සමඟ නැති වූ බව දැනට කුඩාවැල්ල ධීවර රැකියාවේ නියැළෙමින් සිටි ‘අනුර වනිසිංහ’ පොලිසියට පවසා ඇත.

පැල්මඬුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මේ වන විට නඩු වාර හතරකට (4) පෙනී සිටි සැකකරු කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර පසුගිය ජූලි 09 දා ඇප ලබා දුන්නද තවමත් කුරුවිට බන්ධනාගාරයේ රැඳී සිටින බව කුරුවිට බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සබරගමුව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේමදාස, සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පිටිගල යන අයගේ අධීක්ෂණය යටතේ ඇන්දාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සධීර සෝමරත්නගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් මාධව ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අටකලන්පන්නේ – තරිඳු උදයශාන්ත


සිගරැට්ටුව සහ බෝතලේ වසරකට 40,000 ක් බිලි ගනී

(22.07.2024 – mawbima.lk)

දුම්කොළ, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට ශ්‍රී ලංකාව තුළ 40,000 ක් පමණ මිය යන බව ‘අන්තරායායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය’ කියයි. එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ දුම්කොළ භාවිතයෙන් පුද්ගලයන් 20,000 ක් ද මද්‍යසාර භාවිතයෙන් 18,000 ක්ද අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් 2,000 ක්ද මිය යන බවය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වන වැඩිදෙනා පිරිමි පුද්ගලයන් බවත් මේ නිසා කාන්තාවන් 35,000 ක් පමණ වැන්දඹුවන් වන බවත් ඒ මහතා සඳහන් කරයි. එබැවින් සෑම වසරකදීම දරුවන් 70,000 කට පමණ පියවරුන් අහිමි වන බවද වාර්තා වේ.

40,000 ක් පමණ මෙලෙස මිය යද්දී දුම්කොළ, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන ආයතන සහ පිරිස් ඊට අලුතෙන් තවත් 40,000 ක් පමණ එකතුකර ගන්නා බවත් ඔවුන්ගේ ඉලක්කය දරුවන් සහ යෞවන වියේ පසුවන අය බවත් සභාපතිවරයා අවධාරණය කරයි ෴


‘යුක්තිය’ට කොටු වූ වෙඩික්කරු ක්‍රිකට් නායක ‘ජොන්ටි’ ඝාතනයේ සුලමුල හෙළි කරයි

(22.07.2024 – mawbima.lk)

19 න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයකු ලෙස කටයුතු කළ ‘ධම්මික නිරෝෂන්’ ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ‘ධම්මික නිරෝෂන් ඝාතනයේ’ සුලමුලද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත. ඒ ‘යුක්තිය විශේෂිත මෙහෙයුමේ දෙවන අදියර’ යටතේ සිදුකළ වැටලීමකදීය.

ධම්මික නිරෝෂන් හෙවත් ‘ජොන්ටි’

ඉකුත් 16 වැනිදා රාත්‍රි කාලයේදී ධම්මික නිරෝෂන් වෙඩි තබා ඝාතනය කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යුක්තිය විශේෂිත මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් ඊට පසුදාම (17දා) පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි අයකු වූ අතර ගාල්ල අපරාධ කොට්ඨාසය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. ඒ ධම්මික නිරෝෂන් ඝාතනය සම්බන්ධයෙන් කරන ලද සීසීටීවී කැමරා දර්ශන ඔස්සේය.

මෙලෙස දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසු එම සැකකරු ධම්මික නිරෝෂන්ට වෙඩි තැබූ වෙඩික්කරු බවට අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වූ අතර ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව ධම්මික නිරෝෂන් ඝාතනයට උපයෝගි කරගත් ගිනි අවියත් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

ධම්මික නිරෝෂන් ඝාතනය වන්නේ ඉකුත් 16 වැනිදා රාත්‍රියේය. අසල්වැසියකුගේ අවමඟුල් උත්සවයකට සහභාගි වීම සඳහා යතුරුපැදියේ නැඟීමට නිවෙසින් පිටතට පැමිණි මොහොතේ නාඳුනන තුවක්කුකරුවකු ධම්මිකට වෙඩි තබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ අම්බලන්ගොඩ පොලිසිය විසිනි. එහි මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ඇතුළු කණ්ඩායමක් විමර්ශනයට එක්වූ අතර ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි වෙත්තසිංහ සහ සහකාර පොලිස් අධිකාරි අමරසිරි යන නිලධාරීන්ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශනවලට උපදෙස් දෙන ලදී.

මේ වන විට දකුණු පළාත භාරව වැඩබැලීම සිදුකළේ සබරගමු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසිනි. ඔහුගේ උපදෙස් මත කණ්ඩායම් 3 ක් විමර්ශන සඳහා එක්වූ අතර අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්ද ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්ද ගාල්ල අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්ද මීට එක්ව සිටි අතර විශේෂ කාර්ය බළකා කණ්ඩායමකගේද සහාය මෙම විමර්ශනය සඳහා ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික ඇමැතුමකට අනුව පොලිස් කණ්ඩායමක් අම්බලන්ගොඩ, බෝගහවත්ත කන්ද මාවතේ අංක 42/2 දරන නිවෙස වෙත ගිය අතර ඒ වන විටත් මියගිය පුද්ගලයාගේ මළසිරුර නිවෙස ඉදිරිපිට වැටී ඇති අයුරු නිලධාරීන්ට පෙනිණී.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වූයේ මියගිය පුද්ගලයා 2002 වසරේ නවසීලන්තයේ පැවැති 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අයකු බවය. එම අවධියේ කණ්ඩායමේ උප නායකයා වූයේ ජීවන් මෙන්ඩිස් බව කියයි. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධම්මික නිරෝෂන් බොහෝ දෙනා හැඳින්වූයේ ‘ජොන්ටි’ යන සුරතල් නාමයෙනි. ඒ ඔහුගේ ක්‍රීඩා විලාසය දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ‘ජොන්ටි රෝඩ්ස්’ගේ ක්‍රීඩා විලාසයට සමාන වූ හෙයිනි. ධම්මික නිරෝෂන් වඩාත් ප්‍රකට වී සිටියේ දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩකයකු ලෙසිනි. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ඔහු ඉන් අනතුරුව ගාල්ල ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ අම්බලන්ගොඩ සිංහ සමාජයද නියෝජනය කළ අතර පසුකාලීනව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ව්‍යාපාර ලෝකයට එකතු වූ අයෙකි.

කෙසේ වෙතත් ධම්මික ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ අම්බලන්ගොඩ පොලිසිය ඔහු හඳුනාගෙන තිබුණේ බූරු කප්පිත්තකු ලෙසිනි. බූරු කුට්ටමට ඇලුම් කරන ධම්මික මළගෙවල්වල සහ මිතුරන්ගේ නිවෙස්වල බූරුපොළවල් පවා සංවිධානය කර තිබිණි.

ධම්මිකට ‘දසුන් මානවඩු’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා හමුවන්නේ ඔය අතරය. දෙදෙනා අතර සමීප සබඳකමක් ගොඩනැඟෙන අතර මානවඩු කොස්ගොඩ – බළපිටිය ප්‍රදේශවල සිය ආධිපත්‍ය පතුරුවා ගෙන සිටින දකුණේ ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කොස්ගොඩ සුජී’ගේ ගෝලයෙකි.

බූරු පිටිවලට පැන මුදල් කොල්ලකෑමටත්, මාළු ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීමටත් ධම්මිකට සහාය වන ‘මානවඩු’ ගාල්ල ක්‍රිකට් සංගමයේ සභාපති මෙන්ම ලේකම්වරයා ලෙසද කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික ‘හැලඹගේ ප්‍රේමසිරි ඝාතනයේ’ ප්‍රධාන සැකකරුවකුද වේ.

මානවඩු, කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය නියෝජනය කිරීම නිසා සුජීට එරෙහි ‘කොස්ගොඩ තාරක’ ඇතුළු කණ්ඩායම්වලින් මානවඩුට මෙන්ම ධම්මිකටද මරණීය තර්ජන එල්ල වී තිබිණි. වරෙක මානවඩු නමැත්තා ඝාතනය කිරීමටද ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් කටයුතු කළද ඔහු ඉන් ජීවිතය බේරාගෙන තිබිණි.

එමෙන්ම ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස කොස්ගොඩ තාරකගේ සමීපතමයකු වූ ‘විකුම්’ නමැත්තා ඉලක්ක කොට ගෙනද වරෙක වෙඩි ප්‍රහාරයක් එල්ල විණි. එහෙත් එම වෙඩි ප්‍රහාරයෙන් විකුම් ජීවිතය බේරාගත් අතර එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මානවඩුගේ සමීපතමයා වූ ධම්මික නිරෝෂන්ටද චෝදනා එල්ල විණි. ඒ විකුම් ඝාතනය කිරීමට තැත් කළ තුවක්කුකරුට ධම්මික රැකවරණ ලබාදී ඇති බව කියමිනි. මේ නිසා ධම්මිකට මෙන්ම මානවඩුටද එල්ල වූ මරණ තර්ජන නිසා වැඩිදුරටත් ඔවුනට සිය ගම්බිම්වල ජීවත් වන්නට නොහැකි වූ අතර ඉන් අනතුරුව ධම්මික බහරේන්වලටත්, මානවඩු ඩුබායි රටටත් පලාගොස් තිබිණි.

එ අතර විකුම් නමැත්තාද මෙරටින් පලා ගිය අතර දෙපාර්ශ්වය අතර ඇතිව තිබූ බද්ධ වෛරය ඉන් පහව නොතිබිණි. ඊට අමතරව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකුද ධම්මිකට දුරකතන ඇමැතුම් දෙමින් රු. ලක්ෂ 50 ක්ද තවත් වරෙක රු. ලක්ෂ 100 ක්ද ඉල්ලා තිබූ හඬපට කිහිපයක්ද සමාජ මාධ්‍ය වෙත සංසරණය වූ අතර ඉන් කියැවුණේද මෙම කප්පම් මුදල් නොදුන්නොත් ධම්මික වෙඩි තබා හෝ කපා මරා දමන බවකි.

මෙවන් කරුණු කාරණා ඔස්සේද අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන අරැඹූ අතර නිලධාරීන් මුලින්ම ධම්මිකගේ බිරිය වන ‘තනුජා කාංචනා’ සහ ඔහුගේ පුතු වන ‘ක්‍රිස්ටිනෝ’ යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නඩු අංක 69530 යටතේ බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුණු අතර ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයට ඇල්පිටිය සොකෝ ඒකකයේ නිලධාරීන් කැඳවන ලදී. එහිදී ධම්මිකට වෙඩි තැබූ බව කියන බෝර 12 වර්ගයේ පතරොමක කොපුවක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.

ඉන් අනතුරුව ධම්මිකගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර බළපිටිය මූලික රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරි පී.බී.ඩබ්ලිව්. ලේල්වල මහතා විසින් පැවැත්වූ මරණ පරීක්ෂණයේදී ධම්මිකගේ මරණය වෙඩි තැබීමකින් සිදුවූ මරණයක් බව අනාවරණය විණි. එමෙන්ම ඔහුගේ වම් අතෙහි තියුණු බර ආයුධයකින් කැපුණු තුවාලයක් ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විණි.

පසුව විමර්ශන දිගින් දිගටම සිදුවූ අතර සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීමේදී ධම්මිකට වෙඩි තැබීම සඳහා පුද්ගලයන් තිදෙනකු (3) පැමිණෙන ආකාරය විමර්ශන නිලධාරීන්ට පෙනිණි. ඔවුන් ධම්මිකට වෙඩි තැබීමෙන් අනතුරුව මීටර් 500 ක් පමණ පා ගමනින් ගමන් කර අතුරු මාර්ගයකදී පුද්ගලයකු විසින් පදවාගෙන එන යතුරුපැදියකට ඉන් දෙදෙනකු (2) ගොඩවෙන අයුරුද නිලධාරීන්ට නිරීක්ෂණය විණි. අනෙක් පුද්ගලයා පාගමනින්ම ඉදිරියට ගමන් කරන ආකාරයද පෙනිණි. තවදුරටත් සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමේදී පාගමනින් යන පුද්ගලයා ඔහු අත තිබූ අත් ආවරණ කිහිපයක් මැදගොඩ හන්දියේ ඇති ඇළකට විසි කරන අයුරුද නිලධාරීන් විසින් නිරීක්ෂණය කරගන්නා ලදී.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඇල්පිටිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මැදගොඩ ඇළ මාර්ගය වෙත පිටත් කර යැවුණු අතර එම නිලධාරීන් ඇළ මාර්ගය තුළ කළ සෝදිසි කිරීමෙන් අනතුරුව ධම්මික ඝාතනය සඳහා භාවිත කරන ලද සුදු පාට අත්වැසුම් 8 ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විණි.

පසුව සීසීටීවී කැමරා ඔස්සේ කරන ලද විමර්ශනයෙන් එම පුද්ගයා හඳුනාගැනුණු අතර සිද්ධියට පසු දින එනම් 17 වැනිදා ‘අයිස්’ මිලිග්‍රෑම් 2,800 ක් සමග එම සැකකරු ගාල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අම්බලන්ගොඩ, රන්ඳොඹේ පදිංචි අයකු වන මොහු 19 වැනි දින බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර ලබාගත් රැඳවුම් නියෝග මත සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම සැකකරු ඉකුත් 16 වැනිදා ධම්මික නිරෝෂන් ඝාතනයේ වෙඩික්කරු බවට හඳුනාගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

ඉන් අනතුරුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර ඔහු පවසා ඇත්තේ විදේශගතව සිටින අම්බලන්ගොඩ, රන්ඳොඹේ පදිංචිකරුවකු සහ ඩුබායි රාජ්‍යයේ සිටින නම නොදත් අයකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් ධම්මික නිරෝෂන් ඝාතනය සැලසුම් කළ බවකි.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ධම්මික නිරෝෂන් ඝාතනය කිරීමට හේතු වූ කරුණු කාරණාද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබේ.

සිංහල අලුත් අවුරුදු සමයක පැවැති සූදුපොළකදී තමාගේ සොහොයුරකු සතුව තිබූ රුපියල් ලක්ෂ 2 ක මුදලක් ධම්මික නිරෝෂන් විසින් කොල්ලකෑම ධම්මික මරා දැමීමට එක් හේතුවක් වූ බව වෙඩික්කරු නිලධාරීන් ඉදිරියේ පවසා තිබේ.

එමෙන්ම 2023.08.31 වැනි දින අම්බලන්ගොඩ ප්‍රදේශයේදී විකුම් නමැත්තකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා පැමිණි තුවක්කුකරු ජොන්ටි නොහොත් ධම්මිකගේ නිවෙසේ සිට පැමිණි බවට හෙළි වීම ධම්මික මරා දැමීමට තවත් හේතුවක් වූ බවද ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ. ඊට පෙර විකුම්ගේ පාර්ශ්වයෙන් ධම්මික මරා දමන බවට තර්ජන කර තිබූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ.

ධම්මිකට වෙඩි තැබීමේ සැලසුම සකස් වී ඇත්තේ විදේශ රටකිනි. ඉතාලියේ වෙසෙන අයකු ධම්මිකට වෙඩි තැබීම සඳහා ගිනි අවිය ලබාදී තිබේ.

“තුවක්කුව අම්බලන්ගොඩ තැනක තියලා ඒක මට ගන්න කිව්වා. පස්සේ දෙන්නෙක් මට එව්වා. අපි තුන්දෙනාම 13, 14 දවස් දෙකේම ධම්මිකට වෙඩි තියන්න හැදුවා. ඒත් ඒ දෙපාරම හරි ගියේ නැහැ.” වෙඩික්කරු පොලිසිය හමුවේ කීවේය.

ඉන් පසු එම අවිය ධම්මිකගේ නිවෙස පිටුපස ඇති කැලය තුළ සැඟවූ වෙඩික්කරු 16 වැනිදා රාත්‍රියේ සිය සගයන් දෙදෙනා (2) සමඟ ගොස් ධම්මිකට එම අවියෙන් වෙඩි තබා ඇත.

“මාත් එක්ක දෙන්නෙක් (2) ආවා. එක්කෙනෙක් ‘පැණියා’. අනෙක් කෙනා මම කවුද කියලා දන්නේ නැහැ සර්.”

“වෙඩි තියන්න කලින් මම ඌරවත්තට ගිහින් කඩයකින් මන්නයකුත් සල්ලිවලට ගත්තා. පස්සේ මම තුවක්කුවෙන් වෙඩි දෙකක්ම (2) ධම්මිකට තිබ්බා. මගේ ළඟ හිටිය කෙනා එයාට මන්නයෙන් ගැහැව්වා. පස්සේ වෙඩි තියපු තුවක්කුව අනිත් කෙනා අතට දීලා එයාව යැව්වා.” තුවක්කුකරු නිලධාරීන් ඉදිරියේ පැවැසීය.

ඝාතනය සඳහා පැමිණීමට පෙර මොවුන් උඩුකයට කමිස දෙකක් (2) පැලඳ ඇති අතර මුහුණු රෙදි පටිවලින් වසාගෙන සිට ඇත.

“ඇයි උඹලා කමිස දෙකක් ඇන්දේ…?”

“වෙඩි තිබ්බට පස්සේ ඒක ගලවලා විසිකරලා අනෙක් කමිසය පිටින් මාරුවෙන්න සර්…”

සැකකරු කියන්නට විය.

එම කමිස සහ රෙදි පටිද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවා නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරීහු කියති. එමෙන්ම ධම්මික ඝාතනයට භාවිත කරන ලද අත්ආවරණ කැපූඇළ ප්‍රදේශයේ ෆාමසියකින් මිලදී ගෙන ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

“ඇයි උඹලා අත් මේස් දැම්මේ?”

“අපේ ඇඟිලි සලකුණු තුවක්කුවෙයි, පිහියෙයි ගෑවෙයි කියලා සර්…”

පසුව සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය.

ඔහු 37 හැවිරිදි ගාල්ල, කලෙයිගාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සැකකරු සන්තකයේ තිබී ධම්මික ඝාතනයට උපයෝගි කරගත් ගිනි අවියද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම ඔහු සහ සමීප සබඳකම් පැවැත්වූ කාන්තාවක් ද නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර 35 හැවිරිදි ඇය කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ ධම්මික ඝාතනයට පෙර සහ පසු ඇගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් දෙවරකට බැර වී ඇති බවය.

අත්අඩංගුවට ගත් ගිනි අවිය දේශීය නිෂ්පාදනයක් බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධය සඳහා යොදා ගන්නා ලද මන්න පිහිය සහ අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.

මරා දැමුණු ධම්මික නිරෝෂන් නොහොත් ‘ජොන්ටි’ නමැත්තා බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවක සැකකරුවකු වන වතුගෙදර, ආඳාදොළ පදිංචි මානවඩු නමැත්තා සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවත් ධම්මික නිරෝෂන් විසින් සූදුපොළවල්වලින් මුදල් බලෙන් ලබා ගැනීම, මාළු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගැනීම, මුදල්වලට සූදු සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකරන බවද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඔහුගේ ඝාතනයට මෙම කරුණුද හේතු වී ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

දකුණු පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, ඇල්පිටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කමල් පළිහක්කාර, සහකාර පොලිස් අධිකාරි වෙත්තසිංහ සහ අමරසිරි යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිජීව ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකළ අතර ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීම මත ගාල්ල අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ජනශ්‍රී ඇතුළු කණ්ඩායමත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

(පොලිස් විමර්ශන ඇසුරෙන් සකස් කෙරිණි.)

කීර්ති මෙන්ඩිස්

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *