ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙසට උපදෙස්

ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙසට උපදෙස්


ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නොකරන ලෙසට උපදෙස්

(18.07.2024 – 18:50 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඒ, ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව තුරන් කිරීමේ අරමුණින් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි ෴

++++++++++

+


බයික් සිහින පෙන්වා මුදල් ගැරූ කිරිඳිවැල “බාග්‍ය බයික්”

(18.07.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

කිරිඳිවැල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය යතුරුපැදි අලෙවි ආයතනයකින් සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ වෙත වාර්තා වුණා.

අදාළ ආයතනය ‘බාග්‍ය බයික්’ නමින් කිරිඳිවැල ප්‍රදේශයේ වසර ගණනාවක සිට ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් තිබුණේ ෆේස්බුක්, ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යවල ආකර්ශණීය දැන්වීම් පළකරමින්.

ජපානය ඇතුළු විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි රැසක් මෙම ආයතන‍යෙන් පළකරන දැන්වීම්වල ඇතුළත්ව ඇති අතර, එම එක් යතුරුපැදියක වටිනාකම ලෙස රුපියල් ලක්ෂ 10 – 23 අතර මිලක් සඳහන් කළ බව වංචාවට හසුවූ තරුණයින් සඳහන් කරනවා.

එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වමින් රටපුරා තරුණයින් අදාළ ආයතනයෙන් යතුරුපැදි මිලට ගැනීමට සම්බන්ධ වී තිබූ බවද ඔවුන් පැවසුවා.

පසුව, එම ආයතනයෙන් තමන්ට කැමති යතුරුපැදියක් තෝරා ගැනීමටත්, ඒවා පරීක්ෂා කිරීමටත්, කෙටි දුරක් ධාවනය කරවීමටත් අවස්ථාව ලබාදෙන බවද තරුණයින් පිරිස සඳහන් කළා.

මේ අතර මෙම ආයතනය හරහා ලබාගන්නා යතුරුපැදි සඳහා ලීසිං පහසුකම් ලබා ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවද පවසා ඇති මෙම ආයතනය, යතුරුපැදියක් වෙන්කරවා ගැනීමට අත්තිකාරමක් ඉල්ලා සිටින බවද ‘හිරු ප්‍රවෘත්ති අංශය’ වෙත පැමිණි වංචාවට හසු වූ තරුණයින් සඳහන් කළා.

මෙහිදී සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ වංචාවට හසු වූ තරුණයෙක් :

“මම බාග්‍යා එකේ ඇඩ් එකක් දැක්කේ ෆේස්බුක් එකෙන්. එයාලා දාලා තිබුණ වීඩියෝ කිහිපයක්ම දැකලා බයික් එකක් ගන්න මම එයාලට කතා කරා. එයාලා කිව්වා බයික් එකක් බලන්න කිරිඳිවැල එයාලගේ ආයතනයට එන්න කියලා. පස්සේ අපි එහෙට ගියා. මිල ගණන් වැඩි බයික් ගොඩාක් එයාලාගේ ෂොප් එකේ තිබුණා. ඒවා මට පැදලා බලන්නත් දුන්නා.

ඒක කරගෙන ගියේ ‘ජයතු භාග්‍ය’ කියලා කොල්ලෙක්. පස්සේ එයා මටයි මාත් එක්ක ගිය මගේ අයියාටයි කිව්වා, “මේ බයික් එක ලක්ෂ 23 ක් වෙනවා, මේකට ෆිනෑන්ස් එකකුත් දාලා දෙන්නම්, බයික් එක වෙන් කරගන්න නම් ඇඩ්වාන්ස් එකක් දීලා යන්න, ඉතුරු වැඩටික අපි කරලා දෙන්නම්, හරියටම බයික් එක සතියකින් ඔයාගේ අතේ” කියලා.

ඊට පස්සේ අපි අරන් ගිය රුපියල් ලක්ෂ 08 ක් ඒ වෙලාවෙම අපි ගෙව්වා. ඒකට රිසිට් එකකුත් අපිට දුන්නා. ඊටපස්සේ මට නිතරම වගේ ‘වට්ස්ඇප් මෙසේජ්’ එහෙමත් එව්වා. ඉක්මනට බයික් එකේ ලියකියවිලි වැඩ ටික කරලා බයික් එක දෙන්නම් කියලා තමයි මට එව්වේ. ඒත් සති දෙකක් (2) විතර ගියත් මොනවා හරි කිය-කියා මග අරින්න පටන් ගත්තා.”

මේ ආකාරයටම අප ප්‍රවෘත්ති අංශයට පැමිණි තරුණයින් කිහිප දෙනෙකුටම එකම ආකාරයට වංචාව සිදු කර තිබූ බවයි අප වෙත සඳහන් කළේ.

ඇතැම් තරුණයින්ට යතුරුපැදි ලබා දුන්නත් ඒවා අබලන් තත්ත්වයෙන් සහ ඇතැම් යතුරු පැදි පාවිච්චි කළ නොහැකි පරිදි යතුරු පැදි කොටස් අක්‍රීයව පැවති බවද ඔවුන් සඳහන් කළා.

මේ අතරවාරයේ මෙම ආයතනය සිදුකරගෙන ගිය ‘ජයතු භාග්‍ය’ නම් පුද්ගලයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබුණේ පසුගිය ජූලි 02 වනදායි.

මියයාමට පෙර දිනයේත් ඔහු තරුණයින්ට දන්වා තිබුණේද මෙම සතිය තුළ මුදල් හෝ යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම සිද්ධිය පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ, එවැනි වංචාවක් පිළිබඳව කිරිඳිවැල පොලිසියට පැමිණිලි 12 ක් ලැබී තිබෙන බවත් ඔවුන්ට පැමිණිලි පිටපත් සමග සිවිල් අධිකරණයේ නඩු පැවරීමට හැකියාව පවතින බවත් ය.

එමෙන්ම මෙම ආයතනය රජයේ ලියාපදිංචි නොකර පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර ‘බාග්‍ය බයික්’ ආයතනයේ හිමිකරු මියයන විටත් ආයතනය තුළ තිබූ යතුරුපැදි සියල්ල මේවන විට අතුරුදන්ව ඇති බවත් එම ආයතනයේ ගණුදෙනු කටයුතු සිදුකළ හිමිකරුගේ බිරිඳ සහ සහෝදරයෙකු යැයි සඳහන් කළ පුද්ගලයාත් ඔවුන් ජීවත් වූ කිරිඳිවැල ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් වංචාවට හසු වූ තරුණයින් සඳහන් කළා.

එමෙන්ම අදාළ ආයතනය මේවන විට වසා දමා ඇති බවද එම තරුණයින් පැවසුවා.


ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කර නැතැයි චෝදනා

(18.07.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල නව අධිකරණ සංකීර්ණය හෙට (19) දිනයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පාර්ශ්ව කිහිපයක්ම චෝදනා කරන්නේ එම අධිකරණ සංකීර්ණය විවෘත කිරීම සිදුවන්නේ එහි ඉදිකිරීම් නිසි ලෙස අවසන් නොකළ පසුබිමක බවටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි අද (18) අලුතින් ඉදිකළ ගාල්ල අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී මන්ත්‍රිවරයා පැවසුවේ එම අධිකරණ සංකීර්ණයේ කොටසක් පමණක් ඉදිකර එය හෙට (19) දිනයේදි විවෘත කිරීමට සූදානම් කර ඇති බවයි.

දැනට එම අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත නිකුත් කළා.

+

+


ප්‍රසිද්ධියේ තර්ජනයක් කළැයි ලාල්කාන්තට එරෙහිව පැමිණිල්ලක්

(18.07.2024 – 17:56 +0530 – hirunews.lk/sinhala)

මහනුවර පැවති රැස්වීමකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්තගේ තර්ජනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ නිලධාරියෙක් මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා අදාළ පැමිණිල්ල සිදු කර ඇත්තේ ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් කේ.ඩී. ලාල්කාන්ත එම තර්ජනාත්මක ප්‍රකාශය කළ බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පසුගිය 16 වැනිදා පැවති ප්‍රචාරක රැලියේදී පක්ෂයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත සිය ප්‍රචාරක පුවරුවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා මහනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

තම උපදෙස් මත අදාළ පැමිණිල්ල කර ඇති බවයි මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ අප කළ විමසීමකදී ඇය සඳහන් කළේ අදාළ ප්‍රචාරක ප්‍රවරුව ඉවත් කිරීම තම නියෝගයක් මත සිදුවූ බවයි.

මහ නගර සභා ආඥා පනතේ විධිවිධාන යටතේ මහනුවර මහ නගර සභාවේ වැටලීම් අංශයේ ප්‍රධානී අනුර වස්ගේවත්ත නැමැත්තා සියලු අනවසර ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ලිඛිතව බලතල පැවරුණු නිලධාරියෙකු බවත් ඇය සඳහන් කළා.

ඒ අනුව අනවසර සියල්ලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමේ බලතල හදිසි වැටලීම් අංශයට පැවරී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු මැදිහත්ව අදාළ ප්‍රචාරක පුරවරුව සවි කර තිබූ අතර එය ඉවත් කරන ලෙස ඔවුන්ව දැනුවත් කළ බවයි.

එමෙන්ම අදාළ ප්‍රචාරක පුවරුව ආරක්ෂිතව බවත් කිරීම සඳහා ඔවුන්ට මහනුවර මහ නගර සභාව සහය ලබා දුන් බවත් පැවසූ ඇය සඳහන් කළේ මහනුවර මහ නගර සභාව දේශපාලන අධිකාරියත් සමඟ අවබෝධයෙන් කටයුතු කරන අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විමතියට කරුණක් බවයි.

+


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවයි

(18.07.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම පවසන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ඔහුට එරෙහි විනය පරීක්ෂණ අවසන් වන තුරු මෙම නියෝගය ලබා ඇති බවයි.

++++++++++

+


මෙරට ප්‍රේක්ෂකයින්ටත් හිමිවන ලොව සුපිරිතම ‘IMAX සිනමා’ අත්දැකීම

(18.07.2024 – 23:44 +0530 – hirunews.lk/sinhala)

ලොව සුපිරිතම ‘IMAX සිනමා’ අත්දැකීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ පළමු සහ එකම ‘IMAX සිනමා ශාලාව’ ලබන 26 වැනිදා සිට මෙරට ප්‍රේක්ෂකයින්ට විවෘත වීමට නියමිතයි.

දැනට ලෝකයේ සිනමා කර්මාන්තය තුළ පවතින දියුණුම තාක්ෂණය යොදා ගනිමින් ඉදිකර ඇති මෙම ‘IMAX සිනමා ශාලාව’, නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වැය වූ බව ‘කෝප් සිනමා පුද්ගලික සමාගමේ’ විධායක අධ්‍යක්ෂ තුෂාන් රංගන හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළා.

මෙම සිනමා ශාලාව පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ එහි විධායක අධ්‍යක්ෂවරයා සමග සිදුකළ සාකච්ඡාවක් පහතින් දැක්වේ.

+


එංගලන්ත රැකියා මැවූ ‘ජින්නා’ කොටුවෙයි

(18.07.2024 – 17:04 +0530 – sinhala.adaderana.lk)

එක්සත් රාජධානියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොළඹ 02 ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, සමන්තුරේ පදිංචි ‘ජින්නා’ නමැති පුද්ගලයෙකු විසින් එක්සත් රාජධානියේ ගුරු සහායිකා හා අවන්හලක රැකියා ලබාදීම සඳහා කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 40 බැගින් මුදල් ලබාගෙන ඇත.

නමුත් පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවීම හේතුවෙන් ඔවුන් විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව දෙහිවල ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට එරෙහිව කාර්යාංශය වෙත මේ වනවිටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශන අංශය වැඩිදුර විමර්ශනයන් මෙහෙයවනු ලබයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ https://www.slbfe.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී ෴


ටියුෂන් යනවා කියලා ගෙදරින් ගිය සිසු සිසුවියන් 4 ක් අතුරුදන්

(18.07.2024 – 11:58 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ පොලිස් වසමට අයත් ‘ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ’ පදිංචි පාසල් සිසුවියන් තිදෙනෙකු (3) සහ සිසුවෙකු (1) ඉකුත් (14) දින සිට අතුරුදන් ව ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙසේ අතුරුදන් වී ඇත්තේ ‘තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ’ පදිංචි එම වතුයායේ දමිල මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අවු 16 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 09 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක්.

අතුරුදන් වී ඇති පාසල් සිසුවියන් තිදෙනා (3) සහ සිසුවා (1) ඉකුත් (14) දින පාසල් නිම වි නිවස කරා පැමිණ ආපසු බාහිර පන්තියකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඔවුන් නැවත නිවසට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අතුරුදන් ව ඇති සිසුවියන් තිදෙනා (3) සහ සිසුවා (1) ඥාතින් වන අතර අතුරුදන් වී ඇති ළමුන් සොයා කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් දියත් කර ඇති බවයි.

+


කොළඹ මාර්ග ගුවනින් යා වෙයි… “උඩින් බලනකොට මාර ලස්සනයි” (18.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *