‘ක්ලබ් වසන්ත’ ඝාතනයට ඇල්ලූ ‘ටැටූ ආයතන හිමිකරු’ රහස් ප්‍රකාශයකට සැරසෙයි

‘ක්ලබ් වසන්ත’ ඝාතනයට ඇල්ලූ ‘ටැටූ ආයතන හිමිකරු’ රහස් ප්‍රකාශයකට සැරසෙයි


‘ක්ලබ් වසන්ත’ ඝාතනයට ඇල්ලූ ‘ටැටූ ආයතන හිමිකරු’ රහස් ප්‍රකාශයකට සැරසෙයි

(10.07.2024 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබංඩාර හමුවට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී පොලීසිය සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එමෙන්ම සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පළමු (1) සැකකරු වන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන ‘දුලාන් සන්ජුල’ නමැත්තා රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බවද අධිකරණයට දැනුම් දුන්නා.

අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණි ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 08 වැනිදා උදෑසනයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන ‘දුලාන් සන්ජුල’ නමැත්තා අතුරුගිරිය පොලිසිය විසින් භාරයට ගැනුණා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සැලසුම් කළ බවට ඔහු පොලිසියට පාපෝච්චාරණය කිරීමත් සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම සැකකරුවන් අහුංගල්ල, බලපිටිය, ගනේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 ත් 37 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩික්කරුවන් පැමිණි සුදු පැහැති මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා (2) ද ඒ අතරට අයත්.

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන්ගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රටක සිට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයුම් මත මෙම සැකකරුවන් අපරාධයට ආධාර අනුබල දී ඇති බවයි.

සැකකරුවන් අද (10) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අතුරුගිරිය පොලිසියේදී ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ‘දුලාන් සන්ජුල’ පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණයක් සිදුකළා.

ඉන් අනතුරුවයි සැකකරුවන් දැඩි ආරක්ෂාවක් යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ.

මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම් විසින් සිදුකර ඇති විමර්ශනවලට අනුව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන් අතරේ මෙම ඝාතනය සැලසුම් කිරීමට අදාළව රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සංසරණය වි ඇති බවයි.

එම මුදල් ඇතැම් අවස්ථාවල ගිණුම්ගත කර ඇතත් බහුතර සැකකරුවන්ට අත්පිට මුදල් ලෙස ලබාදී තිබෙනවා.

ඝාතන සැලසුමට භාවිත කළ සියලු‍ම වාහන කලක පටන් වාහන බලහත්කාරයෙන් අත්පත් කරගන්නා සීසර්වරුන් හරහා විටින් විට හුවමාරු වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වුණා.

එම කටයුතු මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘ගොනාකෝවිලේ ශාන්ත’ නමැති දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පුද්ගලයෙකු විසින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

වෙඩික්කරුවන් ටැටූ ව්‍යාපාරික ස්ථානය සඳහා පැමිණි සුදු පැහැති මෝටර් රථය දැනට අත්අඩංගුවට ගෙන සිටින ‘මහේෂ්’ නමැති සැකකරු සහ තවත් පුද්ගලයෙකු විසින් එදින පාන්දර 3 ට පමණ අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට රැගෙනවිත් තවත් පුද්ගලයෙකුට ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින ප්‍රධාන සැකකරුවෙකු වන ‘සාගර මහේෂ්’ නමැති පුද්ගලයා කලක් යුද හමුදාවේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස සේවය කර ඇති අයෙක්.

වෙඩි තැබීම සිදුකර මෝටර් රථයෙන් පලාගිය සැකකරුවන් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී වෑන් රථයකට මාරුවන ආකාරය CCTV දර්ශනවල පටිගත වී තිබුණා.

එම වෑන් රථය මීට මාස එකහමාරකට (1½) පෙර පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ස්ථානයක තිබී ඇති අතර එය එම ස්ථානයෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට රැගෙන ගොස් දෙන ලෙස ‘වාහන සීසරයෙකු’ට ‘ගොනාකෝවිලේ ශාන්ත’ රුපියල් ලක්ෂ එකහමාරක (1½) මුදලක් ලබාදී ඇති බවද විර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සිදුකර පාලයාම සඳහා භාවිත කළ එම වෑන් රථය පසුගිය 06 වැනිදා උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙත භාර දී ඇති බවද පොලිස් විමර්ශනවල සඳහන්.

මෙම ඝාතනයට දැනට ඩුබායි සහ ප්‍රංශය යන රටවල් අතර සංක්‍රමණය වෙමින් සිටින බව පැවසෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපාණි ඉම්රාන්’ගේ සම්බන්ධයක් පැවති බවට ද වාර්තා පළ වූ අතර ඒ පිලිබදව ද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම, ‘ක්ලබ් වසන්ත’ට එරෙහිව මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ද මීට පෙර සිටම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරීයෙකු සදහන් කළේ.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ගේ දේහය මේවනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක් තැම්පත් කර තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය ‘නයන වාසුල විජේසූරිය’ නමැත්තා, ජනප්‍රිය ගායන ශිල්පී ‘කේ. සුජීවා’ගේ සැමියා වූ අතර ඔහුගේ දේහය අධිකරණ නියෝග මත ‘කේ. සුජීවා’ගේ දියණියන් දෙදෙනාට (2) භාර දීමෙන් අනතුරුව ‘තලාහේන පොදු සුසාන භූමියේදී’ අද (10) පස්වරුවේදී මිහිදන් කෙරුණා.

‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳ ද කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ බිරිඳ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අතර ඇය මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී ‘කේ. සුජීවා’ සහ අනෙක් පුද්ගලයා සැත්කම් කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව මේ වන විට ප්‍රතිකාර ලබන්නේ සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකයි.

+

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අවසන් කටයුතු 13 වැනි සෙනසුරාදා පස්වරු 04:30 ට බොරල්ල කනත්තේදී සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.

දේහය සිකුරාදා (12) පෙරවරු 08:30 සිට පස්වරු 10:00 දක්වාත් සෙනසුරාදා පෙරවරු 08:30 සිට පස්වරු 03:00 දක්වාත් බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙනවා.

ඉකුත් 08 වැනිදා අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයකදී සිදු වූ වෙඩි තැබීමක් නිසා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මියගියා ෴

+++++++++++

+++++++++++

‘ටැටූ දුලාන්’ගේ පාපොච්චාරණයට මාධ්‍ය කැඳවූ DIGට වැඩ වරදින ලකුණු

(10.07.2024 – 20:35 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරියේ දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන එම ටැටූ ආයතනයේ හිමිකරු මාධ්‍යට නිරාවරණය කරමින් සිදුකළ ඔහුගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ, කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවෙන් පසු මාධ්‍යට වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු සඳහන් කළේ සැකකරුවෙක් මාධ්‍යට මුදාහරිමින් පාපොච්චාරණයක් ලබා ගැනීමට කිසිවෙකුටත් බලයක් නොමැති බවයි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥවරයා මෙසේද සඳහන් කළා :

“මෙම නඩුවේ පළමුවෙනි (1) සැකකරුවන ‘දුලාන්’ පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන තියෙනවා. එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේදී මාධ්‍ය කැඳවා ඔහුගේ පාපොච්චාරණය විකාශය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් අධිකරණය අවධානය යොමුකළා. මාධ්‍යයේ පළවූ වීඩියෝ දර්ශන සහ ඡයාරූප අධිකරණයට ඉදිරිපත් කළා. අපරාධ යුක්ති ක්‍රියාදාමය තුළ සැකකරුගේ ප්‍රකාශයක් ලබා ගන්න විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. එතකොට කිසිම අවස්ථාවක සැකකරුවෙකුගේ ප්‍රකාශයක් සජීවීව හෝ පටිගත කර දර්ශන මාධ්‍යට මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නෑ. පොලිස්පතිවරයාට, නියෝජ්‍ය පොලිස්පතිවරයාට හෝ වෙනත් ස්ථානාධිපතිවරයෙකුට එහෙම බලයක් ලබාදීලා නෑ. ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන්ම සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවලදී මාධ්‍ය මැදිහත් වෙලා මේ විමර්ශනවලට මැදිහත්වීමක් වෙලා තියෙනවා කියලා. එම නිසා මේ විමර්ශන, පැමිණිල්ලට වගේම විත්තියටත් සාධාරණවන ආකාරයට කරන්න ඕන කියන එක තමයි අධිකරණයේදී මතුවුණේ.”

+


‘ක්ලබ් වසන්ත’ එලොව යැවූ අභිරහසේ භාගයක් හෙළිවෙයි ?

(10.07.2024 – 20:16 +0530 – sinhala.adaderana.lk)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.

පොලීසිය පවසන්නේ ‘වසන්ත ඝාතනය’ වෙනුවෙන් ‘ලොකු පැටී’, ‘දුලාන්’ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය.

ව්‍යාපාරිකයකු වූ ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී ‘කේ. සුජීවා’ගේ සැමියා වන ‘නයන වාසුල’ නැමැත්තාද මියගිය අතර ‘කේ. සුජීවා’, ‘ක්ලබ් වසන්ත’ගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පොලිස් විමර්ශන අනුව බලපිටියේ මුල් පදිංචිකරුවකු වූ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර ‘දුලාන් සන්ජුල’ ඩුබායි හී සිටින ‘ලොකු පැටී’ව හඳුනාගෙන ඇත්තේ ‘මහේෂ්’ නමැති පුද්ගලයකු මාර්ගයෙනි.

අනතුරුව ඔවුන් දෙදෙනා (2) වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇති අතර එලෙස ගොඩනැගුණු සම්බන්ධතාව ඔස්සේ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සිදුවූ සාකච්ඡාව සැකකරු අද (10) පොලීසිය හමුවේ ප්‍රකාශයක් කරමින් අනාවරණ කර තිබුණි.

පොලිසිය පවසන්නේ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර ‘දුලාන් සන්ජුල’ සහ ‘ක්ලබ් වසන්ත’ පළමුවරට හමුවී ඇත්තේ සිද්ධිය වූ දිනයේ බව ඔහු කළ ප්‍රකාශ අනුව පෙනී යන බවය.

එසේම ‘දුලාන්’ නව ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට තම බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ද කැඳවාගෙන පැමිණ සිටීම නිසා ඔහු මෙවන් ඝාතන සිද්ධියක් එහි සිදුවනු ඇතැයි කලින් දැන නොසිටින්නට ඇතැයි පොලීසිය උපකල්පනය කරයි.

මේ වනවිට ඔහුගේ බිරිඳ ද සිටින්නේ එම සිද්ධියේ වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා රෝහල්ගතවය.

කෙසේවෙතත් ‘දුලාන්’ගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් (2) දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

එසේවුවද ‘ලොකු පැටී’ සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය ‘දුලාන්’ට අවවාද කර ඇතැයි ඔහු කළ ප්‍රකාශවලින් අනාවරණ වූ බවය පොලීසිය පැවසීය.

මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනාම (6) අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට විවිධ ආකාරයෙන් ආධාර අනුබල සැලසීමේ චෝදනා මතය.

පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය ‘දුලාන්’ට ‘ලොකු පැටී’ව හඳුන්වාදුන් ‘මහේෂ්’ විසින් සිද්ධිය වූ දින අලුයම තුනට (03:00) කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබේ.

අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසිනි.

ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට (1½) පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ‘ලොකු පැටී’ගේ උපදෙස් මතය.

එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් (1½) ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමය.

මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.

එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා (2) තවමත් සොයාගෙන නොමැත.

කෙසේවෙතත් ඔවුන් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, එම එක් තුවක්කුවක් LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසයි.

ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබේ.

ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 071 859 1687 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

කෙසේවෙතත් මේ ඝාතනයට ‘කංජිපානි ඉම්රාන්’ගේ සම්බන්ධයක් ඇතැයි තවමත් හෙළිවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති ගසංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකය.

+


ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ බැංකු ගිණුමට 2018 සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් බැර වී තිබේ

(10.07.2024 – 21:48 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757 ක් බැර වී ඇතැයි අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (10) අධිකරණයේදී මේ බව සඳහන් කළේ, සැකකරු සම්බන්ධයෙන් සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශනයක් පිළිබඳ කරුණු දක්වමිනි.

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70 ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඉදිරියේ යළි කැඳවනු ලැබීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *