අකුරණ අවන්හලක ගින්නක් : A9 මාර්ගය වහයි

අකුරණ අවන්හලක ගින්නක් : A9 මාර්ගය වහයි


අකුරණ අවන්හලක ගින්නක් : A9 මාර්ගය වහයි

(05.07.2024 – lankadeepa.lk)

අකුණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වු ගින්නක් හේතුවෙන් ඒ 9 මාර්ගය මේ වන විට තාවකාලික වසා දමා ඇතැයි පොලීසිය කියයි.

ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද පොලීසිය පවසයි ෴

+++++++

+

+

(05.07.2024 – 08:37 +0530 – hirunews.lk/sinhala)

අකුරණ නගරයේ පිහිටා ඇති බේකරි නිෂ්පාදන අලෙවිසැළක් ඇතුළු තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද (05) උදෑසන හටගත් මෙම ගින්න පැතිර යාම නිසා මහනුවර – මාතලේ ඒ 9 මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

එමෙන්ම, ජාත්‍යන්තර පාසලක් පිහිටි ගොඩනැගිල්ලකට මෙන්ම තවත් ගොඩනැගිලි කිහිපයකට ගින්නෙන් බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු කියා සිටියා.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් ගින්න පැතිර යාම පාලනය සඳහා කටයුතු කරමින් සිටිනවා.

ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැති නමුත් විදුලි හෝ ගෑස් කාන්දුවක් ඊට හේතුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

අකුරණ නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්න හේතුවෙන් අකුරණින් වසා දැමුණු මහනුවර – මාතලේ (A9 මාර්ගය) දැන් ගමනාගමනයට විවෘත වී තිබෙනවා ෴

++++++++++

+

+


බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ගත් අයට රාජ්‍ය ඇමති කී දේ

(05.07.2024 – 11:25 +0530 – sinhala.adaderana.lk)

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ (100,000) සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවය.

මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23 ක් TIN අංකය ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13 ක් එම අංකය ලබා ගෙන ඇත.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73 ක් බවට පත් කිරීම අරමුණ බවය ෴


දැවිතෙල් සොරා ගන්නා ජාවාරමක් හසුවෙයි

(04.07.2024 – 22:11 +0530 – sinhala.adaderana.lk)

කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවිතෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය අද (04) සමත් වුණි.

මෙම වැටලීමේදී, සොරකම් කරන ලද දැවිතෙල් ලීටර් 33,000 ක් සමග බවුසර් රථයක් සහ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති දෙවැනි (2) විශාලතම තාප විදුලි බලාගාරය වන කෙරවළපිටිය යුගදනවි බලාගාරය මගින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කරයි.

මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කෙරෙන දැවිතෙල් සොරාගන්නා ජාවාරමක් පිළිබඳ වත්තල, බෝපිටිය ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණය විය.

ඒ අනුව හෙළිවී ඇත්තේ, යුගදනවි බලාගාරයට රැගෙන යන දැවිතෙල් වත්තල, බෝපිටිය ප්‍රදේශයේ බවුසර් රථ අංගනයකදී සුක්ෂම අයුරින් සොරකම් කර වෙනත් ආයතනවලට විකුණන බවය.

ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (04) පස්වරුවේ එම ස්ථානය වැටලීමට කටයුතු කළේය ෴


පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී දයාසිරි ජයසේකර වැඩ භාරගනී

(05.07.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24 ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගත්තා.

ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට චෝදනා කරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා. පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+


ශ්‍රී ජයවර්ධනපුර රෝහලට විශේෂ බස් රථ සේවාවක්

(05.07.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala)

‘සුව සැරිය රෝහල් සේවා’ නමින් විශේෂ බස් රථ සේවාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් අද (05) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර අමාත්‍යවරයා, එම රෝහලේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමග රෝහලේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙනු ලැබුවා.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස කඩිනමින් මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා.

මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව (138/212/174) නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මකවන බව පැවසේ.


බදුල්ලේදී මාරක අනතුරක් : 4 දෙනෙක් ජීවිතක්ෂයට

(05.07.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සොරනාතොට මාර්ගයේ වැලිහිද ප්‍රදේශයේදී අද (05) දහවල් 12:00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්විමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම තිදෙනෙකුට (3) බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.

තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

+

facebook.com/accident1stofficial/

බදුල්ල – සොරනාතොට බුදුගේ කන්ද මාර්ගයේ අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී තිරිංග අක්‍රීය වූ ටිපර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව පෙරලීයෑමෙන් අද (05) දහවල් සිදුවූ අනතුරකින් එහි ගමන්කල 6 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුන අතර ඉන් 4 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා.

+


PHI ඝාතන සැකකරුගෙන් එළියට ආ තොරතුරු

(05.07.2024 – 19:56 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ.

වෙඩික්කරුගේ ඉලක්කය වී ඇත්තේ, ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසේ සිටින පොලිස් පරීක්ෂකවරයෙක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළ වෙඩික්කරුගෙන් ගල්කිස්ස පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තාවකාලික වැඩතහනමකට ලක් ව සිටි පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කළේ ද තමන් බවය.

පසුගිය වසරේ (2023) ඔක්තෝබර් 09 වනදා එම පොලිස් නිලධාරියාව ඝාතනය කර තිබුණේ නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදීය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් ඝාතන රැසක් පිළිබඳව පවසා ඇති බව පොලීසිය පැවසීය.

එක් වරෙක රුපියල් 50,000 ක මුදලකට කුඩා දරුවෙකු ඝාතනය කිරීමට ගොස් ඇති වෙඩික්කරු තම දරුවා සිහිවීම හේතුවෙන් එය සිදුකර නොමැති බවද පාපොච්ඡාරණය කර තිබේ.

මේ අතර මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුවට භාරදීමට නියමිතය.

ඒ ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුලී ඝාතකයාට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසක සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනයට බවය.

අදාළ පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ, ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදා නොහැරීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අඩු නොකිරීමට කටයුතු කිරීම නිසා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *