හලාවතදී සිදු වූ බිහිසුණු අනතුරින් මිය ගිය ගණන ඉහළට

හලාවතදී සිදු වූ බිහිසුණු අනතුරින් මිය ගිය ගණන ඉහළට


හලාවතදී සිදු වූ බිහිසුණු අනතුරින් මිය ගිය ගණන ඉහළට

(04.07.2024 – 20:34 +0530 – hirunews.lk/sinhala)

හලාවත – ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් ලංගම බස් රථ‍යේ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුණා.

එසේම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් තුන්දෙනෙකු (3) හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළේ.

ඒ අතර එම රෝහලේම වෛද්‍යවරයෙකු ද සිටිනවා.

කොළඹ සිට හලාවත බලා ධාවනය වූ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ එම අවස්ථාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව හලාවත සිට කොළඹ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටීමෙන් අද (04) උදෑසන මෙම අනතුර සිදුවුණා.

එහිදී 28 දෙනෙකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරට කාන්තාවන් 8 දෙනෙකු ද ඇතුළත්.

+++++++++

+++++++++

+

(05.07.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

හලාවත – ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් අයෙක් අද (05) පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක් වන කාන්තාවක්.

ඒ අනුව අදාළ අනතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තිදෙනෙක් (3) දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴


‘අල්ටෙයාර්’ ඛේදවාචකය ගැන තවත් කරණු රැසක් එළියට

(04.07.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

‘අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයෙන්’ වැටී මිය ගිය පාසල් සිසුවා සහ සිසුවිය මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා

ඔහු පෙන්වා දෙන්නේ මෙම සිසුවා සහ සිසුවිය අතර ප්‍රශ්නකාරි තත්ත්වයක් තිබූ බවට සී.සී.ටී.වී. පරීක්ෂණ වලින් තහවුරු නොවන බැවින් මෙම මරණවලට හේතුව සියදිවි හානිකර ගැනීමක්ද එසේ නැත්නම් මෙය අනතුරක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි මහල් 70 කින් යුත් අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් වැටී අවුරුදු 15 ක් වයසැති දරුවෙක් සහ දැරියක් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 02 වැනිදා රාත්‍රියේයි.

එම දරුවන්ගේ මළ සිරුරු මහල් නිවාස සංකීර්ණයේ 03 වැනි මහලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර තිබූ ස්ථානයේ තිබී සොයා ගැනුණා.

සිසුන් දෙදෙනාගේ (2) පවුල් දෙක (2) කලක පටන් සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර මෙම සිසුවා සහ සිසුවිය අතර ද සමීප මිත්‍රතත්වයක් පැවැති බවටයි මෙතෙක් සිදුකළ පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම අදාළ සිසුවිය උස් ස්ථාවල සිට ඡායාරූප ගැනීමට දැඩි කැමැත්තක් දැක්වූ අයෙකු වන අතර ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එවන් ඡායාරූප කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව එලෙස ඡායාරූප ගැනීමට යාමේදී ඔවුන් දෙදෙනාම (2) මහල් නිවාස සංකීර්ණයේ 67 මහලෙන් බිමට වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම අනතුර සිදු වීමට පෙර සිසුවා සහ සිසුවිය අතර බහින්බස් වීමක් ඇති වී ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.

ජීවිතක්ෂයට පත් වූ සිසුන්ගේ පන්තියේ ඉගෙනුම ලැබූ වෙනත් සිසුවෙකු අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයට ඇතුලු වීම සඳහා මෙම සිසුන්ට උපකාර කර ඇති අතර ඔවුන් මෙම මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන බවට ඔවුන්ගේ මව්පියන් දැනුවත් කර නොමැති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිය දියණිය නිවසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ඇගේ පියා ජීවිතක්ෂයට පත් වූ සිසුවාට දුරකථන ඇමතුමක් ලබා දී තිබූ අතර එහිදි ඔහු පවසා ඇත්තේ සිසුවිය තමන් සමග නොමැති බවයි.

කෙසේ වෙතත් සිසුවිය නිවසට නොපැමිණීම සමබන්ධයෙන් පොලිසියට දැනුවත් කරන බව සිසුවියගේ පියා සිසුවාට පැවසීම හේතුවෙන් ඇති වූ බියක් නිසා මොවුන් දෙදෙන 67 වන මහලෙන් බිමට පැන්නේද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සදහා සිසුන් දෙදෙනාගේ (2) දුරකථන පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ගේ මෘත දේහ ඥාතීන් වෙත භාර දී තිබෙනවා ෴

++++++++

+


ජනතාවට කවන්න හැදූ ‘පණු කඩල’ ‘හිරු CIA’ අණාවරණයෙන් නවතී

(04.07.2024 – 21:01 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබු කඩල මෙට්‍රික් ටොන් 100 ක් විවිධ රසායනික යොදා වෙළඳපොළට නිකුත් කිරීමට ගත් කූට උත්සාහයක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත ව්‍යර්ථ වුණා.

අප ලබාදුන් තොරතුරු මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් රුපියල් කෝටි 4 ක් වටිනා කඩල කන්ටේනර් 04 ක් සිය භාරයට ගත්තා අද (04) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය සේදවත්ත පෞද්ගලික කන්ටේනර් රැදවුම් අංගනයක දී සිදු කළ එම කඩල තොග වැටලීමයි.

තුර්කියේ සිට ආනයනය කර තිබු කඩල කන්ටේනර් 04 ක ගුල්ලන්, පණුවන් හා විවිධ කෘමි සතුන් සිටින අතර අදාල කඩල මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත පසුගිය දිනක රහසිගත තොරතුරක් ලැබුනා.

අදාල කන්ටේනර් තුල තිබියදීම එම කඩල තොගවල කෘමීන් මර්දනයට රසායනික යොදා දින දෙකක් (2) පමණ කාලයක් තබා කොළඹ – බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවකට බෑමටයි ආනයනකරු විසින් උපදෙස් ලබා දී තිබුනේ.

‘හිරු සී.අයි.ඒ.’ වෙත ලැබුනු මෙම රහසිගත තොරතුර පිළිබඳව කළ පසු විපරමේදී හෙළි වුයේ ගුල්ලන් සහිත අදාල කඩල කන්ටේනර් 04 සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික අංගනයක ගබඩා කර ඇති බවයි.

ඒ අනුව අදාල කන්ටේනර් සොයා අප පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් සමග එම කන්ටේනර් අංගනය වෙත මෙලෙස ලඟා වුණා.

මූලික විමර්ශන සිදුකළ නිලධාරීන් අදාල කන්ටේනර් මෙරටට ආයනයනය කළ ව්‍යාපාරිකයාව එම ස්ථානයට කැඳවා සැකසහිත කන්ටේනර් විවෘත කිරීමට කටයුතු කළා.

කන්ටේනර් 02 ක් තුල තිබූ කඩල ගුල්ලන් ගැසීම හේතුවෙන් කඩල පිටි බවට පත්ව තිබු අයුරු මෙලෙස නිරීක්ෂණය වු අතර ඒවා මුද්‍රා තැබීමටයි නිලධාරීන් කටයුතු කළේ.

පසු දින ඉතිරි කන්ටේනර් දෙක (2) ද විවෘත කළ අතර එහි තිබූ කඩල පණුවන් ගැසීම හේතුවෙන් අධික දුර්ගන්ධයකින් යුත්තව පවතින අයුරු දක්නට ලැබුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින්ගේ භාරයට ගැණුනු එම මිනිස් පාරිභෝජනයට නුසුදුසු කඩල කන්ටේනර් 04 පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

+


ළමා අපයෝජකයා සිවුරක් දරා සිටියදී අල්ලයි

(04.07.2024 – 18:16 +0530 – hirunews.lk/sinhala)

බාල වයස්කාර ළමුන් දෙදෙනෙකු (2) බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර පලාගොස් සිටි සැකකරුවෙකු සිවුරකින් සැරසී වෙස්වලාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ‘හිමිනමක ලෙස සැරසී’ අනුරාධපුර පූජා භූමියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අපයෝජනයකට ලක්කළ ළමුන් අවුරුදු 14 සහ 16 වයස්වල පසුවන්නන් බවයි පැවසෙන්නේ.

සිදුවීමෙන් පසුව සැකකරු පලාගොස් මාස අටක (8) පමණ සැඟවී සිටි බවයි නිකවැරටිය මූලස්ථාන පොලීසිය පැවසුවේ.

සැකකරු හිමිනමක් සේ අනුරාධපුරයේ පූජා භූමියක් ආශ්‍රිතව සිටින බවට ලද තොරතුරක් මත උපක්‍රමශීලීව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා.

සැකකරු පාසැල් මුරකරුවෙකු මෙන්ම උපකාරක පංති ගුරුවරයෙකු බව තහවුරු වී තිබෙනවා.

48 හැවිරිදි එක්දරු පියෙකු වන මොහු අද (04) නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසුවා ෴


රු. කෝටි ගාණක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් උසස්පෙළ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

(04.07.2024 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයෙකුට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක (1,50,00,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ‘රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක්.

අදාළ ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර ගුරුවරයා ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ව්‍යාපාරිකයා හෝටල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ හෝටලයෙන් ඉවත් කරන ලද රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා ගෘහ භාණ්ඩ තොගයක් අදාළ උපකාරක පන්ති ගුරුවරයාට විකුණා තිබෙනවා.

ඒ සඳහා ගුරුවරයා චෙක්පත් ලබා දී ඇති අතර දිගින් දිගටම ඒවා අගරුවීම නිසා ව්‍යාපාරිකයා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ජනාධිපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

(04.07.2024 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ ‘සී.ඩී. ලෙනව’ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයි රාජා අය නම් කර ඇති බවද සඳහන්.

මෙම පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවීමට නියමිත‍යි ෴


රෝහලෙන් භාර නොගත් කිරි සිරවූ කිරිකැටියා මියයයි

(04.07.2024 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික් නව රෝහලට කිරි හිරවිමෙන් රැගෙන ආ මාස දෙකක (2) බිළිදකු එම රෝහල භාර නොගැනිම නිසා වෙනත් රෝහලක් වෙත රැගෙන යන අතරතුර ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි මාස 2 ක් වයසැති ඔසද ආකිෂ් නම් නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩිමහල් බිළිදායි.

ඊයේ (3) අලුයම 3 ට පමණ මෙම දරුවා කිරි බිබී සිටින අතරවාරයේ කිරි සිරවිමකට ලක්ව ඇති අතර වහා දෙමාපියන් ත්‍රිරෝද රථයකින් මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටා ඇති මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදි ආරක්ෂක නිළධාරින් පවසා ඇත්තේ රෝගියා භාර ගැනිමට නොහැකි බවත් එම වෙලාවේ හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත්ය.

ගිලන් රථයකින් හෝ වෙනත් රෝහලක් වෙත දරුවා රැගෙන යාම සදහා රෝහලට යන්න දෙන ලෙස දෙමාපියන් ගේට්ටුව ඇර ඇතුල්විමට උත්සහ ගනිද්දි රෝහල් ආරක්ෂක අංශය එය වලක්වා තිබෙනවා.

පසුව ඔවුන් කිලෝමිටර් 10 ක් පමණ ගෙවා මාතර මහා රෝහල වෙත බිළිදා රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් දරුවා ජිවිතක්ෂයට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ විනාඩි 30 ට පමණ පෙර දරුවා රැගෙන ආවේ නම් බේරාගැනිමට තිබු බවයි.

ඒ අනුව බිළිදාගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (03) සවස මාතර පොදු සුසාන භුමියේදි සිදු කර තිබෙනවා.

මරණ පරික්ෂණ වාර්තාවේ ද සඳහන්ව ඇත්තේ කිරි සිරවිමෙන් සිදුවු මරණයක් බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *