බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
(20.05.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)
බන්ධනාගාර නිලධාරීන් අද (20) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ‘සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව’ පවසනවා.
ඒ අනුව අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි එම එකමුතුව සඳහන් කරන්නේ.
එහිදී රුපියල් 25,000 ක වැටුප් වර්ධකයක් ඉල්ලා අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ඔවුන් සඳහන් කළේ ෴
පොළොවෙන් මතු වූ බෝම්බ
(20.05.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala)
යාපනයේ ඌර්කාවතුරේ සුරුවිල් ප්‍රදේශයේ ඉඩමකින් හමු වූ බිම් බෝම්බ තුනක් (3) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (19) පුපුරවා හැර තිබෙනවා.
මෙම බෝම්බ තුන (3) මතු වී ඇත්තේ, සුරුවිල් ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් වළක් කපමින් සිටියදී.
වහාම ඔහු ඒ පිළිබදව ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඌර්කාවතුරේ පොලීසිය දැණුවත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අදාල ස්ථානය සුරක්ෂිත කොට එම ප්‍රදේශයට ආරක්ෂාව සපයා තිබෙනවා.
පසුව ඌර්කාවතුරේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධරීන් පිරිසක් පැමිණ එම බිම් බෝම්බ තුන (3) ගොඩගෙන පුපුරවා විනාශ කළ බව අප වාර්තාකරු සඳහන් කළා ෴
මැතිසබේ කෑම ගැන මන්ත්‍රීවරු පිරිසක් පැමිණිලි කරයි
(20.05.2024 – 07:57 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය විසින් ලබාදෙන ආහාර කිසිම ගුණාත්මක තත්ත්වයක් නොමැති බව මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයාට පැමිණිලි කර තිබෙනවා.
ඔවුන් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගියදා පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්විමේ දී.
පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 12 ක පමණ මුදලක් වැය කරන බව පාර්ලිමේන්තු මුල්‍ය නිලධාරීන් ගණනය කර ඇති බව සඳහන් වෙනවා.
පාර්ලිමේන්තුවේ විදුලි බිල සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 10 ක මුදලක් වැයවන බව ද එම වාර්තාවල සඳහන් වෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ මුල්‍ය අංශයේ දත්ත පෙන්නුම් කරන්නේ පානීය ජලය සඳහා රුපියල් කෝටියක (1,00,00,000) ආසන්න මුදලක් වැයවන බවයි ෴
පාසල් පළමු (1) වාරයේ තුන්වන (3) අදියර අද (20) ඇරඹේ
(20.05.2024 – 08:39 +0530 – hirunews.lk/sinhala)
සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පළමු (1) වාරයේ තුන්වන (3) අදියර සඳහා පාසල් අද (20) ආරම්භ වෙනවා.
මේ අනුව, එය ලබන මැයි 31 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මෙම 2024 වසරේ පළමු (1) පාසල් වාරයේ දෙවන (2) අදියර පසුගිය මස 24 ආරම්භ වූ අතර, සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පසුගිය 03 වනදා පාසල් දරුවන්ට නිවාඩු ලබා දුන්නා.
කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණයත් සමග පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) වසා තැබෙන බවයි වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, නව පාසල් වාරය ආරම්භයත් සමග ගුරු විදුහල්පතිවරුන් පාසල් බාහිර කටයුතුවලින් ඉවත් වී අධ්‍යයන කටයුතු පමණක් සිදු කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ‘ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය’ පවසනවා ෴
ලොකු ලූනු කිලෝවක තොග මිල පහතට
(20.05.2024 – 09:05 +0530 – hirunews.lk/sinhala)
වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 50 කින් පහත බැසී තිබෙනවා.
මේ හේතුවෙන් ලූනු ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
‘අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය’ සඳහන් කළේ ඉන්දියාව විසින් ලොකු ලූනු සඳහා පනවා තිබූ අපනයන සීමාව ඉවත් කිරීම හේතුවෙන් වෙළඳපොළට සීමා ඉක්මවා ලොකු ලූනු තොග පැමිණ ඇති බවයි.
මීට අමතරව පසුගිය කාලසීමාවේදී රජය විසින් චීනයෙන්ද ලොකු ලූනු තොග ගෙන්වනු ලැබුවේ ඉන්දියාව ලොකු ලූනු අපනයනයට පැනවූ සීමාවත් සමග ලොකු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ෴
ලුණුගලදී දෙදරු මවකගේ අබිරහස් මරණයක්
(20.05.2024 – 11:00 +0530 – hirunews.lk/sinhala)
ලුණුගල, කුඹුකන්ඔයේ දිය නෑමට ගිය දෙදරු මවක් අබිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි ලුණුගල පොලිසිය පවසනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ලුණුගල, ජනතාපුර, තුඹපිටියවත්ත පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.
එහිදී ඇය ඊයේ (19) සවස, 11 හැවිරිදි පුතා සමග නිවසට පහළින් ඇති කුඹක්කන් ඔයේ දියනෑමට ගොස් තිබෙනවා.
අනතුරුව 11 හැවිරිසි සිය දරුවාව දිය නෑවීමෙන් අනතුරුව ඔහු නිවස වෙත පිටත්කර යවා ඇති අතර, ඉන් මද වේලාවකින් මව කෑ ගසන හඬ ඇසී 17 හැවිරිදි දියණිය එම ස්ථානයට යන අවස්ථාවේදී මව, හිසේ ලේ ගලන තුවාල සහිතව දිය නාමින් සිටි ස්ථානයේ වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය පවසනවා.
කෙසේ වෙතත්, අප කල විමසීමකදී ලුණුගල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, අදාල සිදුවීම සිදුවන අවස්ථාවේදී දැරියගේ පියා එම ස්ථානයේ සිට දුව යනු දැරිය දැක ඇති බවයි.
එලෙස පළාගිය සැකකාර සැමියා මේ වනවිට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති අතර, ඔහුව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් ස්ථානාධිපතිවරයා ‘හිරු ප්රවෘත්ති’ වෙත සඳහන් කළා.
එහිදී මෙය සැකකටයුතු මරණයක් සේ සළකා ලුණුගල පොලිසිය විසින් පස්සර මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තාකිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා පැමිණ මූලික පරීක්ෂණය සිදුකර තිබෙනවා ෴
කොට්ටාවෙන් කොටු වූ හොරණ වෙඩික්කරු
(20.05.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala)
හොරණ, ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකල වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු යුධ හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවත් පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ, දින ගණනාවක් මුළුල්ලේ සිදුකල දුරකථන විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණ වලින් පසු අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු පදිංචිව සිටි කුලී නිවසේ සිට වෙනත් ප්‍රදේශයක පදිංචියට යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගත් බවයි වැටලීමට එක්වූ නිළධාරීයෙකු සඳහන් කළේ.
පසුගිය 05 වනදා පෙරවරු 10 ට පමණ ව්‍යාපාරිකයකු සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) රථයට වෙඩි තබා පලාගොස් තිබුණා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
ඥාණසාර හිමිට නිදහස ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
(20.05.2024 – 12:42 +0530 – hirunews.lk/sinhala)
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා තෛයිනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
පසුගිය 2016 වසරේදී ‘කූරගල රජමහා විහාරස්ථානය’ සම්බන්ධ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ජාතින් අතර අසමගින් ඇතිවන ආකාරයට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩු කටයුත්තට අදාළව මාර්තු 28 වනදා උන්වහන්සේට වසර හතක (7) සිර දඬුවමක් නියම කෙරුණා.
ඇතැම් අන්තවාදී බලවේගයන් මෙරට තුළ ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ වෙත, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහයෝගය දැක්වූ බවද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් යොමුකර ඇති ලිපියේ සඳහන් ෴
ඉරාන තානාපතිවරයාට පහරදුන් පුද්ගලයා ලබන 22 දක්වා රිමාන්ඩ්
(20.05.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)
මෙරට ඉරාන තානාපති අලිරෙසා ඩෙල්ක්රොෂ්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා අනිද්දා (22) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසළ සේනාධීර හමුවට අද (20) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක රථ ගාලක් තුළදී සැකකරු ඉරාන තානාපතිවරයාට පහරදී තිබුණේ පෙරේදා (18) දිනයේදීයි.
පසුව අත්අඩංගුවට ගත් කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴
සුව සේවා වර්ජනය අද (20) ඌව පළාතේ – හෙට (21) බස්නාහිර පළාතේ
(20.05.2024 – 13:56 +0530 – hirunews.lk/sinhala)
වෛද්‍යවරුන් සඳහා අනුමත කළ ‘ඩැට් දීමනාව’ හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය’ අද (20) ඌව පළාතේ රජයේ රෝහල්වල පැය 4 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා.
ඒ, පළාත් මට්ටමින් ඔවුන් ඇරඹූ වැඩවර්ජන මාලාවේ තවත් අදියරක් ලෙසයි.
කෙසේ වෙතත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙම වර්ජනය හේතුවෙන් පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 කින් ඉහළ දැමූ ප්‍රවාහන හා නිර්බාධක දීමනාව හෙවත් ‘ඩැට් දීමනාව’ තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
නමුත්, එම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබුණු පසුබිමක පසුගිය 09 වැනිදා සිට පළාත් මට්ටමින් වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පියවර ගත් අතර ඒ අනුව අද (20) වර්ජනය ක්‍රියාත්මක වූයේ ඌව පළාත තුළයි.
ඌව පළාතේ සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල අද (20) පෙරවරු 8 ට මෙම වර්ජනය ආරම්භ වූ අතර පැය 4 ක කාලයක් වර්ජනය ක්‍රියාත්මක වුණා.
ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
හෙට (21) දිනයේ බස්නාහිර පළාත තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා ෴
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000 කින් ඉහළ දැමූ ’ප්‍රවාහන හා නිර්බාධක දීමනාව’ හෙවත් ‘ඩැට් දීමනාව’ට සාපෙක්ෂව තම දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වර්ජනය හෙට (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මකයි ෴
+
මේ අතර, ‘සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව’ අද (20) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ, රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින්. ගාල්ල බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූ වර්ජනය හේතුවෙන් බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති ආකාරය ද දක්නට ලැබුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴