කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන

කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන


කඩුවෙලින් සහ මහරගමින් ඇල්ලූ මත්ද්‍රව්‍ය, එකම ජාවාරම්කරුවෙකුගේ දැයි විමර්ශන

(28.04.2024 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල – බෝමිරිය සහ මහරගම යන ප්‍රදේශවල ඊයේ (27) සිදුකළ වැටලීම්වලදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි 40 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය, එකම ජාවාරම්කරුවෙකුට අයත් බවට ලද තොරතුරු මත විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොග, ඩුබායිහි රැදී සිටින ජාවාරම්කරුවෙකු විසින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ කටයුතු කරන බව කියන ‘ඩුබායි කමල්’ නැමැත්තාට ලබාදීමට කටයුතු කර ඇති බවටයි විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත්තේ.

එම පුද්ගලයා කළක් ඩුබායි හි පදිංචිව සිට මේ වනවිට මෙරටට පැමිණ ඇති බවටද සාධක ලැබී ඇති බව සඳහන්.

බියගම – පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ වැටලීමකදී ‘අයිස්’ සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් අනාවරණ කර ගත් තොරතුරු මත එම ප්‍රදේශයේදීම තවත් සැකකරුවෙකු (1) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පදිංචි නිවස සහ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ‘අයිස්’ කිලෝ 15 ක් සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 14 ක් මෙන්ම ‘හොරොයින්’ ග්‍රෑම් 941 ක්ද සොයා ගැනුණා.

ඔහුගෙන් වැඩිදුර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය සදහා ඔහු යොදාගත් එම මෝටර් රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකුගේ පුත්‍රයෙකු විසින් ඔහුට ලබා දී ඇති බවයි.

මෙම ප්‍රධාන සැකකරු ගෙන් දින 7 ක් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන් අතර, සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම රුපියල් මිලියන 160 ක් වටිනා ‘හෙරොයින්’ කිලෝ 8 ක් සමග 45 හැවිරිදි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී ද ඊයේ (27) අත්අඩංගුවට ගැනුණා.

රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයන් සමගද සැකකරුවෙකු රාජගිරිය කළපළුවාව ප්‍රදේශයේදී ඊයේ (27) අත්අඩංගුවට ගැනුණා.

+


ආර්ථික අර්බුදය හේතුවෙන් සිසුන්ගෙන් අඩකගේ පාසල් අධ්‍යාපනයට බලපෑම්

(28.04.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට වයස අවුරුදු 03 ත් 21 ත් අතර පාසල් අධ්‍යාපනය ලබන පිරිසෙන් 54.9% කගේ පාසල් අධ්‍යාපනය සඳහා බලපෑම් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ සමික්ෂණයක දත්ත උපුටා දක්වමින් මහ බැංකුව මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන්.

සිසුන් පාසල් අධ්‍යාපනය හැර යාම, අවම කිරිම මෙන්ම ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය සඳහා යොමු කිරිමට රජය මගින් කටයුතු කර අධ්‍යාපන අංශය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇතත්, පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුද කාලසිමාව තුළ අධ්‍යාපන පද්ධතිය තුළ ඇතිවූ විෂමතාවයන් සඳහා තවමත් නිසි පිළියම් ලබා දී නොමැති බවයි එම වාර්තාවෙන් දක්වා තිබෙන්නේ ෴


මින්නේරිය සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

(28.04.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ප්‍රදේශයේදී මෙම මස(14) සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදී තරුණිය මිය ගොස් තිබෙනවා.

අදාළ සිසුවිය, පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී ඇයට මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා ෴


කන්තලේ බෙදා දීමට තිබූ සහල් තොගයක් සොරා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන

(28.04.2024 – 10:10 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදුන් සහල්වල ප්‍රමිතිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ද ලබාදුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු‍වක් මතුව ඇති පසුබිමකයි.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ රජයේ වැඩසටහන යටතේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බෙදාදුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු‍වක් මතුව ඇති බව ‘හිරු ප්‍රවෘත්ති’ පෙරේදා (26) අනාවරණයක් සිදු කළා.

එහිදී ජනතාව පෙන්වා දුන්නේ ඇතැම් සහල් මලුවල කල් ඉකුත් වීමේ දින වෙනස් කර ඇති බවත්, සහල් කැදලි බවට පත්වී භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බවටයි.

එවන් පසුබිමක හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන්ද ජනතාව චෝදනාවක් එල්ල කළා.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදා දීමට ගෙන තිබූ සහල් තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලයක් තුළ ගබඩා කර තිබූ අදාළ සහල් තොගය කිසියම් පිරිසක් විසින් ඊයේ (27) රාත්‍රියේ සොරා ගෙන ගොස් ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කන්තලේ පොලිසිය සඳහන් කළා ෴

+

තත්ත්වයෙන් බාල සහල් ගැන කඩිනම් පරීක්ෂණයක්

(28.04.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala)

රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ මුදලට ලබා දීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන කඩිනම් පරීක්ෂණ පවත්වන ලෙස පරිපාලන අමාත්‍යංශ ලේකම්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන කණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කරණු ලැබුවා.

මේ වැඩසටහන යටතේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් අය චෝදනා කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට විකිණීමක් සිදුව ඇතැයි චෝදනා එල්ල වී තිබෙනවා.

එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාන්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව සොයා බලන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරන්න අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදු කොට ඊට අදාළ වාර්තාවන් සතියක් තුළ කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙසයි.

එමෙන්ම ඉදිරියේදී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන ඛණ්ඩායමක් යෙදවීමටද අමාත්‍යංශය බලාපොරොත්තු වෙන බවයි සඳහන් වන්නේ.

+


ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරයෙකු අත්අඩංගුවට

(28.04.2024 – 10:44 +0530 – hirunews.lk/sinhala)

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ඊයේ (27) දින පස්වරුවේ සැකපිට ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගුරුවරයා රැඳී සිටින පාසලේ ගුරු නිල නිවසට, එම පොලිස් බල ප්‍රදේශයේම වෙනත් පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන ‘පාසල් සිසුවියක්’ ගෙන්වා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් ඒකකයෙන් ලද තොරතුරක් මත අදාළ ගුරුවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා දැනට සේවය කරන පාසලට පැමිණිමට ප්‍රථම, එම පාසල් සිසුවිය දැනට අධ්‍යාපනය ලබන පාසලේම වසර කිහිපයක් සේවය කර ඇති අතර, ‘පාසලේ ගුරු නිල නිවසට තමන් ගියේ බාහිර පන්තිය ප්‍රමාද වී ආරම්භ වන නිසා’ බවයි එම සිසුවිය පොලිසියට පවසා ඇත්තේ.

තවද තමන් ගුරු නිල නිවසට ගියද තමන්ට කිසිදු හිරිහැරයක් ගුරුවරයාගෙන් සිදු නොවු බවට එම පාසල් දැරිය විසින් පොලිසියට වැඩිදුරටත් පවසා තිබෙනවා.

පාසල් දැරියව වෛද්‍ය පරික්ෂණයක් සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඓතිහාසික ‘ඇහැලේපොල වලව්ව’ මෙරට පළමු ‘ඉටිරූප කෞතුකාගාරය’ වෙයි

(28.04.2024 – 11:36 +0530 – hirunews.lk/sinhala)

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ‘ඇහැලේපොල වලව්ව’ ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් ‘ඉටි රූප කෞතුකාගාරයක්’ නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසනවා.

ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළදිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේ ද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට ප්‍රෞඩත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ‘ඉටි කෞතුකාගාරය’ දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර සඳහන් කරන්නේ.

මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800 ත් 1810 ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකේ.

එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි.

මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි.

ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබෙනවා.

එහි දී ඔවුන් වලව්වේ මුල් ස්වරූපයට හානි කරමින් නව සිරි මැදිරි පරිශ්‍රයක්ද ඉදිකර ඇති බව සදහන්.

උඩරට එක්සත් කර ගැනීම සදහා විමුක්ති අරගලය මෙහෙයවන ලද මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල නිලමේතුමා ඇතුලු ජාතික වීරවරයන් 50 කට ආසන්න පිරිසක් ඉංග්‍රීසින් මෙහි සිරගත කර තිබෙනවා.

වසර දෙදහකට වඩා පැරණි පර්චස් 141 ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොල වලව්ව වර්ෂ 2013 දී ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්’ නිදහස් කර ‘නාගරික සංවර්ධන අධිකාරිය’ට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රතිසංවර්ධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

‘නාගරික සංවර්ධන අධිකාරිය’ සිදුකල මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් පල කළ ‘නාගරික සංවර්ධන අධිකාරියේ’ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක සදහන් කළේ රුපියල් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කළ බවයි.

‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව’ සහ ‘මධ්‍යම සංස්කෘතික අරමුදලේ’ මාර්ගෝපදේශයන්ට ද යටත්ව මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරිණ.

මේ අතර ‘නාගරික සංවර්ධන හා නිවාස ඇමති’ ප්‍රසන්න රණතුංග සදහන් කළේ ‘ඇහැලේපොල වලව්ව’ ‘ශ්‍රී දළදා මාලිගාව’ට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි.

එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා ෴


වකුගඩුවල ගල් ඉවත්කිරීමේ නව සැත්කමක් කළුතර ශික්ෂණ රෝහලේ දී

(28.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විසින් ලොව නවීනතම තාක්ෂණය යොදා ගනිමින් වකුගඩුවල ගල් ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය සැත්කමකදී රෝගියාට යොදන ආකාරයේ විශාල කැපුමකින් තොරව මෙම සැත්කම කිරීමයි.

කළුතර ශික්ෂණ රෝහලේ වකුගඩු සහ මෞත්‍රලිංගික ශල්‍ය ඒකකයේ 150 වැනි ශල්‍යකර්මය පසුගියදා සිදු කර තිබුණා.

කළුතර පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් එම සැත්කමට ලක් වූ අතර එහි අභියෝගය වූයේ ඔහුගේ වකුගඩු යුගළ පහළින් සම්බන්ධ වී තිබීමයි.

සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකදී සිරුරේ විශාල කැපුමක් යොදා ගල් ඉවත් කිරීම සිදු කරන නමුත් මෙම සැත්කමේදී එවැනි විශාල කැපුමක් සිදුකර නොමැති අතර ඊට හේතුව කළුතර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතිනවීන තාක්ෂණයෙන් යුත් ලේසර් උපකරණ මේ සඳහා භාවිත කිරීමයි.

දැනට ලෝකයේ භාවිත කරන නවීන තාක්ෂණයෙන් යුත් මෙම ලේසර් උපකරණය කළුතර ශික්ෂණ රෝහලට අමතරව පවතින්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පමණයි.

වකුගඩු රෝගීන්ට අස්වැසිල්ලක් වන මෙවැනි සැත්කම් කිරීම සඳහා අවශ්‍ය උපකරණ ප්‍රධාන පෙළේ රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම රජයේ වගකීමක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *