කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිතයි : පශ්චාත් මරණ පරීක්ෂණයට වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට අධිකරණයෙන් නියෝග
(08.05.2026 – hirunews.lk)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සැක සහිත බැවින්, වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාළ ස්ථානීය පරීක්ෂාව සිදුකළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පොලිසියට අද (08) නියෝග කළා.
මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබුණා.
එමෙන්ම මැයි මස 12 වැනිදා මරණ පරීක්ෂණයේ සාක්ෂි කැඳවීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරය ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරියට භාරදෙන ලෙසට ද නියෝග කළා.
පසුව මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමටයි පොලිසිය පියවර ගනු ලැබුවේ.
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව වළක්වාලීමේ මෝසමක් ඉදිරිපත් කිරීමේ කටයුත්තක් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා අද (08) උදෑසන මෙම නිවසට පැමිණ තිබුණා.
එහිදී නීතිඥවරයා සහ නිවසේ සිටි පිරිස කපිල චන්ද්‍රසේන සිටි කාමරයට ගොස් තිබූ අතර, එම කාමරය වසා තිබීම හේතුවෙන් නිවැසියන් සතු අමතර යතුරකින් එය විවෘත කර ඇති බව සඳහන්.
එහිදී කපිල චන්ද්‍රසේන බිම වැටී සිටින අයුරු දැක නිවැසියන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය අමතා දැනුම් දී තිබුණා.
2013 වසරේ මෙරටට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබුණා.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැණුනු අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
මාස 2 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු ඇප මත මුදාහරින ලෙස ඉකුත් 05 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ, රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මතයි.
කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ ඇපකරුවන් දෙදෙනකු (2) කපිල චන්ද්‍රසේන සමග කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් නොමැති බවට අනාවරණ වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා (2) පෙරේදා දිනයේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
පසුව අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේ කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
ඒ අනුව ඔහු යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඊයේ (07) වරෙන්තු නිකුත් කළා.
එවන් පසුබිමකයි කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේනගේ සිරුර අද (08) උදෑසන සොයා ගැනුණේ.
2013 වසරේ මෙරටට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගැනීම පිළිබඳව ජාත්‍යන්තරයේ ද එවකට වැඩි අවධානයක් හිමිවූ අතර, එහිදී එයාර්බස් සමාගම ද සිය කොන්ත්‍රාත්තුව තහවුරු කරගැනීම සඳහා ගැනුම්කරුවන් වෙත අල්ලස් ලබාදී දූෂිත ක්‍රියාවල නිරත වී ඇති බවට චෝදනා එල්ල වුණා.
මෙම ප්‍රශ්නගත ගනුදෙනුව පළමුවරට අනාවරණය වුණේ ප්‍රංශයේ ජාතික මූල්‍ය අභිචෝදක කාර්යාලය, එක්සත් රාජධානියේ බරපතල වංචා විමර්ශන කාර්යාලය සහ අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විමර්ශනයක් හරහායි.
මෙහිදී ශ්‍රී ලංකාවට අදාළ ගනුදෙනුව සිදුකළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් බෲනායි හි ලියාපදිංචි කර තිබූ සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 16.84 ක මුදලක් ලබාදීමට එකඟවී තිබූ බවටත්, ඉන් ඩොලර් මිලියන 2 ක් 2013 වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ සමාගමේ සිංගප්පූරුවේ තිබූ ගිණුමකට බැරවී තිබූ බවත් මෙහිදී අනාවරණ වුණා ෴
+++
කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අරවින්ද ද සිල්වාගේ නිවසේදී..
(08.05.2026 – lankacnews.com)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) අලුයම අබිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූයේ කොල්ලුපිටිය, පෙඩ්රිස් පෙදෙසේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී බව පොලිසිය පවසයි.
කපිල චන්ද්‍රසේන මහතා සහ අරවින්ද ද සිල්වා මහතා සහෝදරියන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින සමීප ඥාතීන් වන අතර, චන්ද්‍රසේන මහතා ඊයේ (07) දින මෙම නිවසට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම මරණය සිදුව ඇත්තේ, චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට නුසුදුසු ඇපකරුවන් ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට එල්ල වූ චෝදනා මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර දිනක් ගතවීමටත් පෙරය.
මෙම මරණය සියදිවි නසාගැනීමක් විය හැකි බවට සැක කෙරෙන නමුත්, ඒ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (08) දහවල් එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
ඩොලර් බිලියන 2.3 ක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබුණි ෴
+++
කපිල චන්ද්‍රසේන මරණයට පොලිසිය අධිකරණයට දුන් වාර්තාවේ තොරතුරු එලියට.. බිරිද රටින් පැනලා..
(08.05.2026 – lankacnews.com)
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වූ කපිල චන්ද්‍රසේනගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.
අද (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත. පොලිස් ‘බී’ වාර්තාවට අනුව, මරණය සිදුව ඇත්තේ එම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළය.
මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මියගිය අය කොළඹ 07, ඛාන්ස් පෙදෙසේ පදිංචිව සිටි කපිල චන්ද්‍රසේන බවට මේ වන විට අනන්‍යතාව තහවුරු කරගෙන ඇත.
මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සටහන් විශේෂඥයන් කැඳවීම, පොලිස් නිල සුනඛයන් යොදාගෙන සිදුකරන සෝදිසි කිරීම්, අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පියවර ගෙන ඇත.
මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කටයුතු අවසානයේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායකගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.
කපිල චන්ද්‍රසේනගේ බිරිඳ මේවන විට විදෙස්ගත වී සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඇයටද මෙම ගුවන් යානා ගනුදෙනුවේ චෝදනා එල්ල වී ඇත ෴
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන සෞඛ්‍ය අංශ වෙතින් පැහැදිලි කිරීමක්
(08.05.2026 – 15:27 +0530 – sinhala.adaderana.lk)
කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආශ්‍රිතව වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
ඔහු පවසන්නේ ගත වූ මාසයේදී මෙම වෛරසය ආසාදිත රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවය.
උණ, තද හිසරදය, වමනය මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන අතර පාසල් යන වයසේ පසුවන අවුරුදු 14 ත් 15 ත් අතර ළමුන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වෛරසය ආසාදනයවූවන් දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝමයක් දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම රෝගයේ පැතිරයාම මේ වනවිට පාලනය වී ඇති බවය.
අපිරිසිදු ජලය මගින් හෝ ආහාර මගින් මෙම වෛරසය පැතිරී ඇති බවත් විශේෂයෙන්ම අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසත් ඔහු මෙහිදී අවධාරණය කර සිටී.
කෙසේවෙතත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති අතර යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා :
“මෙම රෝගය මෙනින්ජයිටිස් වෛරස් එකක් විදිහට හඳුනාගෙන තියෙනවා.. මේ රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ උණ, තද හිසරදය වමනය වගේ රෝග ලක්ෂණ.. ඊයේ වෙනකොට රෝගීන් 47 ක් විතර වාර්තා වෙලා තිබුණා.. මේ රෝගින් සියලුම දෙනාම දෙනියාය මූලික රෝහලෙන් තමා ප්‍රතිකාර ලබා තිබුණේ.. මේ අය බොහෝමයක් අවුරුදු 14, 15 වගේ වයස්වල ළමුන්.. ඔවුන් ප්‍රතිකාරවලින් පස්සේ සුවවෙලා නිවෙස්වෙත ගිහින් ඉන්නේ.. ඒ වගේම අපිට පේනවා මේ රෝගය පහුගිය දින 3, 4 ක කාලය තුළ යම් අඩු වීමක් වෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර කිරීමත් එක්ක දවස් 6, 7 ක් වගේ යද්දී මේ ලෙඩේ සුව වෙනවා..
බොහෝ විට අපිරිසිදු වෙච්ච ජලයෙන් හරි ආහාරවලින් හරි තමා මේ වෛරස් එක පැතිරිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලනවා උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා.. ඒ වගේම පිරිසිදු ආහාර ගන්න එකත් වැදගත්. ඒ වගේම මේ රෝග ලක්ෂණ තිබුණොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.. විශේෂයෙන්ම දෙණියාය ප්‍රදේශයෙන් විතරයි මේ රෝගීන් වාර්තා වෙන්නේ.. ඒ නිසා අනෙකුත් ප්‍රදේශවල ඉන්න අය බියට පත් වෙන්න ඕනේ නෑ.. රෝගය පැතිරයාමේ අවදානම අඩු වෙලා තියෙනවා.. ඒ නිසා බිය විය යුතු නෑ.”
+
මාලිමාවට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නි. නගරාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
(08.05.2026 – 19:47 +0530 – sinhala.adaderana.lk)
ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 30 ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැවසෙයි.
අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30 ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර ඊට අයත් රුපියල් ලක්ෂ 30 ක මුදල ලබාගැනීමට යෑමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව හෙට (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් මොහු කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ අතර පසුව බලය පිහිටුවීමේදී මොහුගේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමෙන් පසුව ඔහු නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වී තිබේ.
+++
+
ව්‍යාපාරිකයින්ගෙන් රු. කෝටි 5 ක් වංචා කළ නගර සභා සේවකයින් තිදෙනෙක් (3) අත්අඩංගුවට
(08.05.2026 – hirunews.lk)
බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් වෙළඳසැල් කඩ කාමර අටක් (8) දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බව පවසා, ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි පහකට (5) අධික මුදලක් වංචනිකව ලබාගත් එම නගර සභාවේම සේවකයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, බණ්ඩාරවෙල පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ පිළිබඳව බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් පී. ගජේන්ද්‍ර කුමාර විසින් 2025 වසරේදී කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මූල්‍ය වංචාව 2024 වර්ෂයේදී සිදුව ඇති අතර, සැකකරුවන් විසින් කූඨ ලේඛන සකස් කර ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බව එහිදී අනාවරණය වී ඇති අතර, එලෙස ලබාගත් මුදල් නගර සභාව වෙත ගෙවා නොමැති බවට තහවුරු වී ඇත්තේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ජලාශය පාර, ධර්මපාල මාවත සහ පෙරහෙට්ටිය පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 52, 54 සහ 56 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක් (3).
අප වාර්තාකරු සඳහන් කළේ, වංචා කරන ලද නිශ්චිත මුදල් ප්‍රමාණය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විධිමත් විගණනයක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴
පල්ලේගම හේමරත්න 08.05.2026 දින මහ රෑ කොළඹ දී අත්අඩංගුවට (09.05.2026)
+
යාපනය රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි
(09.05.2026 – 07:10 +0530 – sinhala.adaderana.lk)
අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩාව තුළ බව වාර්තා වෙයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.
ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත ෴
+++
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴