කොළඹ නව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කාලය පැය භාගයක් (½) ආපස්සට යවයි

කොළඹ නව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කාලය පැය භාගයක් (½) ආපස්සට යවයි


කොළඹ නව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කාලය පැය භාගයක් (½) ආපස්සට යවයි

(22.04.2024 – 15:04 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් සේවයට වාර්තා කිරීමට යොදා ඇති ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ආපස්සට සකස් කර තිබූ පැය භාගයක (½) වේලාව නියමිත ආකාරයෙන් සකස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එහි ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මින් පෙර අධිකරණය වෙත නිලධාරීන් බොහොමයක් වාර්තා කර ඇත්තේ පෙරවරු 09:30 ට වන අතර එහෙත් ඇඟිලි සළකුණු යන්ත්‍රයේ සටහන් වී ඇත්තේ පෙරවරු 9 බවට මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසා බැලීමේ දී එම යන්ත්‍රය බොහෝ කාලයක් තිස්සේ පැය භාගයක් (½) පසුපසින් වේලාව සකස් කර ඇති බවට නිරීක්ෂණය වී තිබුණා.

පෙරවරු 8 වනවිට නව තනතුරේ වැඩ භාරගැනීම සඳහා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ පරිශ්‍රය වෙත වාර්තා කර ඇතත් නිලධාරීන් බොහොමයක් පැමිණ ඇත්තේ පෙරවරු 9 ත් 09:30 ත් අතර බවට අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.

නව තනතුරේ වැඩ භාරගනිමින් පැවැති අවුරුදු කෑම මේසයේ දී පවා මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ ෴


හික්කඩුවට හිසරදයක් වූ කසළ

(22.04.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව ප්‍රදේශයේ කසළ බැහැර කිරීම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හමුවේ විදෙස් සංචාරකයින් මෙන්ම දේශිය සංචාරකයින් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

සංචාරක කර්මාන්තය යනු මෙරටට ආදායම් ලැබෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක්.

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයේ පහස ලැබීමට පැමිණෙන විදෙස් සංචාරකයින් බහුතරයකගේ අනිවාර්ය නවාතැන්පොළක් වන්නේ හික්කඩුවයි.

එම ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම බලධාරීන් සතු ප්‍රමුඛතම කාර්යයක් වන්නේ ය. සංචාරක ආකර්ෂණය අඩු වුවහොත්
එය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම දැඩි දුෂ්කර කාර්යයක් වනු ඇත.

+


ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නියට

(22.04.2024 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරිම හෙට (23) දිනට යෙදෙන බක් පොහෝ දිනයේදි සිදු කරන බව එම විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පවසනවා.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා වැඩම කරවනු ලබන ශ්‍රි ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රි සුමන සමන් දේව ප්‍රතිමාව පසුගිය 20 වැනි දින මහනුවර ‘සහස් උයන’ දක්වා වැඩම කළ අතර 21 වැනිදා එය නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කර තිබෙනවා.

නාවලපිටිය වරකාව සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ සිට සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර නාවලපිටිය සිට හැටන් හරහා මවුස්සාකැලේ යුධ හමුදා කදවුර දක්වා වැඩම කර හෙට (23) දින සමන් දේව ප්‍රතිමාව යුධ හමුදා කදවුරේ සිට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය දක්වා වැඩම කරවා එහි තැන්පත් කිරිමට නියමිතයි.

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක (1) බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක (1) බරකින් යුක්ත බවයි කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් කියා සිටියේ.

සමන් දේව ප්‍රතිමාව වැඩම කළ මාර්ගය දෙපස එය වැද පුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියා ෴


‘ශ්‍රීලංකන්’ මිලට ගන්න ධම්මික පෙරේරා කැමැත්තෙන්

(22.04.2024 – 17:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික ගුවන් සේවය වන ‘ශ්‍රීලංකන් ගුවන් සේවය’ මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ Hayleys PLC ආයතනය ද ඇතුලත්ව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙම අභිලාෂ කැඳවීමට අදාළ ආයතනවල නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ අනුව AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite Investment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited, Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited සහ Hayleys PLC යන ආයතන කැමැත්ත පළ කර ඇති බවයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය දැනුම් දෙන්නේ.

එම සමාගම් අතර මැලේසියානු සමාගමක් සහ මෙරට සමාගමක් ද සිටිනවා.

ශ්‍රීලංකන් ආයතනය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති Hayleys PLC ආයතනයේ කොටස්වලින් 51.01% ක හිමිකාරීත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා සතු වනවා.


බත්තරමුල්ල ලැඟුම්හළකදී ‘අයිස්’ එක්ක 5 දෙනෙක් කොටුවෙයි

(22.04.2024 – 17:32 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල ලැඟුම්හළකදී රුපියල් එක්කෝටි දාහතර ලක්ෂයකට (1,14,00,000) ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් සමග සැකකරුවන් පස් දෙනෙක් (5) පොලිසිස විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් දෙදෙනෙක් (2) කාන්තාවන් වන අතර අනෙක් තිදෙනා (3) පිරිමින් වෙනවා.

අදාළ කාන්තාවන් දෙදෙනා (2) මීගමුව සහ කටාන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

එමෙන්ම ඉතිරි සැකකරුවන් තිදෙනා (3) කොළඹ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරුවන් සහ භාරයට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලීසිය වෙත භාරදී තිබෙනවා ෴


පාසල් ළමුන්ට වෙන් කළ සහල්වල ප්‍රමිතිය ගැන රජයෙන් සහතිකයක්

(22.04.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala)

පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් වන අතර එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින්.

එලෙස ආයතන කිහිපයක් මඟින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යළි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය කේෂ්ත්‍රය නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත්, මෙම සහල් තොගය මැයි 01 වනදාට පෙර භාවිතා කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව සහල් තොගය මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මඟින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති අතර, එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර බවයි සඳහන් වෙන්නේ.

පාසල් දරුවන් සඳහා ලබා දෙන ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ගුණාත්මක තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලබාදුන් මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් පරීක්ෂා කළ යුතු බවට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන්වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බව සඳහන්.

මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් සහල් ඇසුරුම්වල ‘Not for Sale’ (විකිණීම සඳහා නොවේ) ලෙස මුද්‍රණය කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදුකළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

(22.04.2024 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මත්ද්‍රව්‍ය ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා මැයි මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රමගේ නියෝගයක් මතයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබීන්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ෴


රිය අනතුරින් 19 හැවිරිදි තරුණියක් මරුට

(22.04.2024 – 19:52 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ රජඇල මාර්ගයේ දී ඊයේ (21) සිදු වූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වන රජඇල ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

අදාළ තරුණිය පා ගමනින් ගමන් කරමින් සිටියදී වෑන් රථයක ගැටීම හේතුවෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

වෑන් රථයේ රියදුරු බීමත්ම සිට ඇති අතර කුඩා දරුවෙකු ද රියදුරු අසුනේ තබාගෙන අපරික්ෂාකාරීව රිය ධාවනය කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් පසුව වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව වෑන් රථය දමා ඔහු පළාගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


සිරිසේන පිලෙන් විජයදාසගේ නම මැතිවරණ කොමිසමට – සිරිපාල පිල අධිකරණයට

(22.04.2024 – 20:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කළ බව එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල විසින් මැතිවරණ කොමිසන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ඊයේ (21) ගත් තීරණයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

නිදහස් පක්ෂයේ විධායක රැස්වීමක් ඊයේ (21) ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක කැඳවා තිබූ අතර එහිදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ එම පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා.

ඒ, මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධ පාර්ශ්වය විසින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කරගෙන තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත් ඊයේ (21) පැවති විධායක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අද (22) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගත් බවයි නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිසන් සභාවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අභ්‍යන්තර ගැටලු අධිකරණය මගින් විසදා ගැනීම දේශපාලන පක්ෂවල කාර්යක් බවයි.

මැතිවරණ කොමිසම එම කටයුතු සඳහා මැදිහත් නොවන බවද එම උසස් නිලධාරියා අවධාරණය කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *