හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක්

හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක්


හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක්

(19.04.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධික වටිනාකමක් සහිත ඛණිජ සම්පත් පවතින මන්නාරමේ ඉඩම් රහසිගතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් ‘හිරු CIA කණ්ඩායම’ පරිසරවේදීන් පිරිසක් සමග කළ සොයාබැලීමකදී සංවිධානාත්මක පිරිසක් සිදුකරන එම ඉඩම් කොල්ලය ගැන තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවුණා.

සංචාරක පක්ෂීන් වැඩි වශයෙන් මෙරටට ළඟාවන ප්‍රධාන දොරටුව වන මන්නාරම දුපත අවට ප්‍රදේශය සම්බන්ධයෙන් මෑතකදී දැඩි කථාබහට ලක්වන්නේ ‘ඉන්දියාවේ අදානි සමාගම’ විසින් මෙරට ඉදිකිරීමට යෝජිත සුලං විදුලි ව්‍යාපෘතිය හේතුවෙන්.

මේ පිලිබඳ සොයාබැලීමට මන්නාරමේ සංචාරයක නිරත ‘හිරු සී.අයි.ඒ.කණ්ඩායම’ට අදාළ ප්‍රදේශයේ රජයේ, පෞද්ගලික මෙන්ම වෙරළ ආශ්‍රිත ඉඩම් වැටවල් ගසා කොටු කර විකිණීමේ ජාවාරමක තොරතුරු ද හෙළි වුණා.

මෙම ජාවාරම සිදුකරන්නේ රාත්‍රී කාලයේ පැමිණෙන සංවිධානාත්මක පිරිසක්.

ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ විකිරණශීලී මුලද්‍රව්‍ය අඩංගු මොනසයිට් නැමැති ඛණිජ ද්‍රව්‍ය මේ අවට පරිසරය පුරා විසිරී පවතින බැවින් එම ඉඩම්වල වටිනාකම අතිමහත්.

ඉන්දියාව, මෙන්ම ඔස්ට්‍රේලියානු පෞද්ගලික සමාගම් කිහිපයක් විසින් මේ වනවිටත් මෙම ඉඩම්වල පවතින ඛණිජ සම්පත් සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටින පසුබිමකයි සංවිධානාත්මක පිරිස් බලහත්කාරයෙන් මෙම ඉඩම් මහා පරිමාණයෙන් කොටුකර විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කරන්නේ.

සංවිධානාමක ඉඩම් ජාවාරම්කරුවන් මෙම ප්‍රදේශයේ තල් ගස් දහස් ගණනක්ද මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ මෙම ඉඩම් මුඩු බිම් බවට පත්කිරීමේ අරමුණ ඇතිවයි.

අපගේ මෙම අනාවරණයෙන් පසුව හෝ මෙම ඉඩම් ජාවාරම්කරුවන්ට රටේ නීතිය ක්‍රියාත්මක නොකළහොත් තව නොබෝ දිනකින් තල් ගසක්වත් මේ ප්‍රදේශයේ ඉතිරි නොවනු ඇතී.

+


රුපියල් ලක්ෂ 75 කට අධික ‘අයිස්’ සමඟ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩරයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.04.2024 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩරයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් සන්තකයේ තබාගෙන සිටියදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහි වටිනාකම රුපියල් මිලියන 7.5 ක් පමණ වන බවට ගණන් බලා ඇති බවයි.

එමෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී වාහනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


‘අයිස්’ සමග තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

(19.04.2024 – 22:24 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800 ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අද (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

පොලීසිය විසින් සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී නොනවත්වා ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී ලුහුබැඳ ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඇත.

එහිදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ ෴


නව විදුලි පනත් කෙටුම්පත වෙනස් නොකරන බව ඇමති කංචන කියයි

(19.04.2024 – 22:55 +0530 – hirunews.lk/sinhala)

නව විදුලි බල පනත් කෙටුම්පත වෙනස් කිරීමට සූදානම් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම අමාත්‍යාංශයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කලේ මෙම පනත් කෙටුම්පත තුලින් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය හා විනිවදභාවය ඉහළ නංවා විදුලිබිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බවයි.

+


චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී ද?

(19.04.2024 – 20:26 +0530 – sinhala.adaderana.lk)

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය.

දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ (2025) පැවැත්වෙන ‘කාන්තා එක්දින ලෝක කුසලානයේදී’ තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවය.

දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2 ට 1 ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1 ට 1 ක් ලෙස සම කිරීමට සමත්වුණි.

අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමිනි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ, නායිකා, චමරි අතපත්තු :

“ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34 ක් වෙනවා. මම ඉන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් අදියරේ. මගේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිටිනවා දකින්නයි මට ඕන. පසුගිය අවුරුදු 15 ක දුෂ්කර කාලය තුළ පුද්ගලයෙකු වශයෙන් මෙන්ම ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගත්තා. නමුත් කණ්ඩායම් නායිකාව ලෙස මට තවත් දේ කරන්න තියෙනවා. මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තමයි සමුගැනීමට පෙර මගේ ඉලක්කය.”


සසරින් එතෙර වෙන්න පිං පුරන මුවා | දිඹුලාගල ආරණ්‍යට එන මිනිස්සුත් එක්ක එකතුවෙලා බණ අහනවා (19.04.2024)

+


සංජය ආරක්ෂාව ඉල්ලයි | දෙහිවල හෝටල් සිද්ධියෙන් පස්සේ තර්ජන ඇවිත් (19.04.2024)


වලිප්පුව හැදුනු සංවර්ධන නිලධාරිනිය ළිඳට වැටී මරුට…

(19.04.2024 – 19:10 +0530 – lankacnews.com)

යාපනය මාදගල් සකායපුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිණියක් ළිඳට වැටී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

මෙම කාන්තාව ගෙවත්තේ පිහිටි ළිඳට ගොස් ජලය ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී වලිප්පු රෝගය වැළඳීම හේතුවෙන් ඇය ළිඳ තුලට වැටී දියේ ගිලී ඇතැයි සිද්දිය වූ ස්ථානයට ගිය පොලීසිය සැකපලකරයි.

මිය ගිය කාන්තාව දීර්ඝ කාලයක සිට වලිප්පු රෝගයෙන් පෙලී සිට ඇති බවටද පවුලේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත.

මිය ගිය කාන්තාව 37 හැවිරිදි ප්‍රදීපන් නිත්‍යා නැමති දරුවන් දෙදෙනෙකුගේ (2) මවක්ද වන අතර ඇය වලිකාමම් නිරිතදිග ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරිණියක් වශයෙන් සේවය කොට ඇත.

මිය ගිය කාන්තාවගේ මළසිරුර යාපනය ශික්ෂණ රෝහලේ අවසන් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇතැයි පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධූෂංඛ


පාලිත තෙවරප්පෙරුම කඳුළු සයුරක් මැද මිහිදන් වෙයි

(20.04.2024 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනසමාජය තුළ මෙන්ම දේශපාලන ලෝකයේ සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කළ ජනතාවාදී දේශපාලනඥයෙකු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (19) සිය ජීවන ගමන අවසන් කළා.

ඔහු විසින්ම තනා නිමකළ සොහොන් බිමේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මැදයි.

විදුලි සැර වැදීමක් හේතුවෙන් රෝහල්ගත කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දිවි ගමනට සමුදුන්නේ පසුගිය අඟහරුවාදායි.

ජනහිතකාමී දේශපාලනඥයෙකු වූ ඔහු වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වීමට ගතවූ දින කිහිපය පුරා බොහෝ පිරිසක් එක් වුණේ පක්ෂ පාට බේද පවා මෙහොතකට අමතක කරමින්.

ඊයේ (19) පෙරවරු කාලයේත් විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියා.

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (19) පෙරවරුවේ පැමිණියා.

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආරම්භ කෙරුණේ ඊයේ (19) පස්වරු 2 ට පමණ.

ආගමික වතාවත්, දේශපාලන නියෝජිතයින්ගේ සහ හිතවතුන්ගේ ගුණකථනවලින් අනතුරුව තමන් ජීවතුන් අතර සිටියදීම සකසා ගත් සොහොන වෙත පාලිත තෙවරප්පෙරුමගේ දේහය රැගෙන ගියේ රැස්ව සිටි අතිවිශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේයි.

වසර 22 කට අධික පොදුජන හිතකාමී දේශපාලන චාරිකාවක නිමාව සනිටුහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මෙලෙස ලක්මවට සමුදුන්නේ සැබෑ ජනතා සේවයේ වටිනාකම පිළිබඳ කිසිදා නොමැකෙන මතක රැසක් ජන මනස තුළ ඉතිරි කරමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *