මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට

මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට


මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට

(18.04.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala)

බදු ගෙවන ජනතාවට පිරිසිදු නගරයක් උරුම කර දීම නගර පාලනාධිකාරියක වගකීමයි.

නමුත් බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඓතිහාසික මහනුවර නගරය කැළි කසළින් පිරි ගොස් තිබෙනවා.

මේ ඓතිහාසික මහනුවර නගරයේ ස්ථාන කිහිපයක කසළ ගොඩ ගැසී ඇති ආකාරයයි.

උත්සව සමයේදී කසළ ඉවත් කිරීමේ කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් නගරය කැළි කසළින් පිරී ගොස් තිබෙනවා.

ප්‍රධාන වෙළෙද සංකීර්ණය අවට, බස් නැවතුම් පොළ සහ ජනතාව නිතර ගැවසෙන ස්ථාන රැසක මෙලෙස කසළ ගොඩ ගැසී තිබෙනවා.

නගරය පුරා දැඩි දුර්ගන්ධයක් ද පැතිර යාම හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

මෙලෙස මහනුවර නගරය කසළින් පිරී යාම ජනතාගේ සෞඛ්‍යට ද එල්ලකරන්නේ දැඩි තර්ජනයක් මේ සම්බන්ධව අප නගර සභා සේවකයන් ගෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කසළ ඉවත් කිරීමේ ට්‍රැක්ටරය අපදාවකට ලක්ව තිබීම මීට හේතුව බවයි.

දළදා සමිඳුන් වැඩ සිටින පූජනීය නගරයක් වන මහනුවර, උත්සව සමයේ දුගඳ හමන නගරයක් බවට පත්කළ බලධාරීන් තවත් කල් නොමරා මීට නිසි පිළියම් යෙදීමට කටුයුතු කළ යුතු නොවේද?

+


රජයේ පොහොර සහනාධාරය නොලැබුණු බව ගොවීන් පිරිසක් කියයි

(18.04.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළ ද, ඒ සඳහා රජයෙන් පොහොර සහනාධාරය මෙතෙක් නොලැබීම හේතුවෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව ගොවීන් පවසනවා.

මින්නේරිය ප්‍රදේශයේ ගොවීන් චෝදනා කළේ, වී ගොවි තැනට අවශ්‍ය මඩ පොහොර, යූරියා පොහොර සපයා ගැනීමට නොහැකිව වී ඇති බවයි ෴


‘ඩයලොග්’ සහ ‘එයාර්ටෙල්’ එකට එක්වෙයි

(18.04.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

‘ඩයලොග් ආසියාටා පී.එල්.සී.’ සහ ‘භාරතී එයාර්ටෙල් ලිමිටඩ්’ යන සමාගම් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමක් අත්සන් කළ බව ‘ඩයලොග් සමාගම’ නිවේදනය කරනු ලබනවා.

මෙසේ ගිවිසුම්ගත වී ඇත්තේ ‘භාරතී එයාර්ටෙල්’ පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන ‘භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම’ සහ ‘ආසිආටා බර්හාඩ් සමූහය’ අනුබද්ධිත සමාගමක් වන ‘ඩයලොග් සමාගම’ යි.

මෙම ගිවිසුම යටතේ ‘ඩයලොග්’ විසින් ‘එයාර්ටෙල් ලංකා’ හි නිකුත් කරන ලද 100% ක් වන කොටස් සියල්ලටම හිමිකාරිත්වය දරණු ඇති.

එමෙන්ම මෙම ක්‍රියාවලිය මගින් සේවාවන් තවදුරටත් වැඩි දියුණු කිරීම සහ යටිතල පහසුකම් තවදුරටත් ඉහළ නැංවීම සිදු වීමට නියමිත බවයි ‘ඩයලොග් සමාගම’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴


පරිසර විනාශය පිළිබඳව දැනුම්දීමට අංක දෙකක් (2)

(18.04.2024 – 15:09 +0530 – hirunews.lk/sinhala)

‘පරිසරය විනාශ කිරීම’ සම්බන්ධව යම් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෙටි දුරකථන අංක 2 ක් පොලිසිය හඳුන්වා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක වෙත ඒ අනුව තොරතුරු ලබාදිය හැකි බවයි.

ලැබෙන තොරතුරු සඳහා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට කටයුතු සූදානම් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


‘සිල්වර් ටිප්ස් තේ’ දකුණු පළාතේ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්

(18.04.2024 – 16:29 +0530 – hirunews.lk/sinhala)

මිල අධික තේ වර්ගයක් වන ‘සිල්වර් ටිප්ස්’ ගෘහ කර්මාන්තයක් ලෙස දකුණු පළාත තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් හෙට (19) සිට ආරම්භ වනවා.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කියා සිටියේ ඒ සදහා 20-43 තේ ප්‍රභේදය පවුල් 300 ක ගෘහණියන් සදහා නොමිලේ ලබා දීම සිදු කරන බවයි.

‘සිල්වර් ටිප්ස් තේ’ සඳහා යොදා ගන්නා මෙම තේ ප්‍රභේදයේ තේ කිලෝග්‍රෑමයක් රුපියල් ලක්ෂයත් ලක්ෂ එකහමාරත් (100,000 – 150,000) අතර මිලකට අලෙවි වනවා ෴


සංචාරක කර්මාන්තයට ‘කණ කොකා හඬලන’ බව විපක්ෂ නායක කියයි

(18.04.2024 – 16:39 +0530 – hirunews.lk/sinhala)

රජයේ අමනෝඥ තීන්දුවක් නිසා දියුණුවන සංචාරක කර්මාන්යටත් ‘කණ කොකා හඬලා’ ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘සක්වල සුහුරු පන්ති කාමර’ ලබා දීමේ වැඩසටහනේ 159 වැනි අදියර යටතේ අද (18) කොළඹ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේවන විට ක්‍රම-ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි හැටියේම වැඩි කර ඇති බවත්, සාර්ක් රටවල විදේශිකයන්ට ඩොලර් 20 සිට 35 දක්වාත් සාර්ක් නොවන රටවලට ඩොලර් 50 සිට 75 දක්වාත් සේවා ගාස්තු සහ අමතර ගාස්තු සමඟ සාර්ක් නොවන රටවල් වීසා ගාස්තුව ඩොලර් 100 ඉක්මවා ඇති බවත් සාර්ක් රටවල ඩොලර් 58 ඉක්මවා ඇති බවයි.

මේ නිසා වර්ධනය වූ සංචාරක කර්මාන්තය පවා ඇනහිටින බවත් ඔහු පවසනවා.

මේ නිසා ‘රෙඩ් වින්ග්ස්’ කියන ගුවන්යානය හරහා රුසියාවෙන් අප රටට සතියකට 800 ක් පමණ සංචාරකයන් පැමිණිමට නියමිතව තිබුණත් එය ද මේවන විට නතර කර ඇති බවත් මෙවැනි අමනෝඥ තීන්දු තීරණ ගන්නට පෙර විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළා ද කියා ගැටලුවක් ඇතිව තිබෙන බවත් තායිලන්තය, කැම්බෝඩියාව, වියට්නාමය, මාලදිවයින, බාලි වැනි රටවල වීසා සහන මෙන්ම වීසා ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇති මොහොතක අප රට ඩොලර් 100 ඉක්මවා ගිය මුදලක් අය කරන බවත් මෙය අමනෝඥ තීන්දුවක් බවත් විපක්ෂ නායක සඳහන් කළා.

+++++++++

+


එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

(18.04.2024 – 16:47 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා උනන්දුව සපයන එක්සත් ජාතීන්ගේ මූල්‍ය ආයතනය වන එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදලේ (UNCDF) විධායක ලේකම් ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රදීප් කුරුකුලසූරිය පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර පාරිසරික මූල්‍ය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විධායක සම්බන්ධීකාරක තනතුර දැරූ අතර, එහිදී ඔහු රටවල් 140 ක් පුරා අමෙරිකානු ඩොලර් බිලියන 5 ක ස්වාභාවික, දේශගුණික සහ බලශක්ති මූල්‍ය එකතුවක් ද අධීක්ෂණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන සංවර්ධන අරමුදල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ විධායක ලේකම්වරයා ලෙස කුරුකුලසූරිය එම තනතුර භාරගැනීමේදී ප්‍රදාන, ණය සහ ඇපකර මෙන්ම අදාළ උපදේශන සේවා, විශේෂයෙන්ම අඩුම සංවර්ධිත රටවල අවශ්‍යතා උපරිම වන තැන්වල සංවර්ධන බලපෑම පරිමාණය කිරීම සඳහා සමූහයට මූල්‍ය පහසුකම් සැපයීමේ සංවිධානයේ අද්විතීය හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

ප්‍රදීප් කුරුකුලසූරිය යනු අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබූ ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෙක් ෴


‘යුක්තිය මෙහෙයුම’ ජපානය විසින් ඇගයීමට ලක් කරයි

(18.04.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)

අපරාධ මර්ධනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය මෙහෙයුම’ පිළිබඳව මෙරට ජපාන තානාපති මිසුකොෂි හිඩෙඅකී විසින් ඇගයීමට ලක් කර තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ප්‍රජා පොලිස් වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව ජපාන තානාපතිවරයා දැනුවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා ෴


‘ජාතික ජන බලවේග ප්‍රතිඥාව’ අගරදගුරු හිමියන් වෙත පිළිගන්වයි

(18.04.2024 – 19:12 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ‘ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව’ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත අද (18) පිළිගන්වනු ලැබුවා.

ඒ, ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල ඇතුළු කණ්ඩායමක් විසින් බොරැල්ල අගරදගුරු නිල නිවසේදීයි.

මෙම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල් සාමාජිකයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවකින් නීතිය ක්‍රියාත්මක කරන බවට ඇතුළු කරුණු 7 ක් මෙම ප්‍රතිඥාවට ඇතුළත් බව සඳහන් වෙනවා.

++++++++++

පාස්කු කුමන්ත‍්‍රණය හරියටම දන්නේ ජාතික ලයිස්තුවේ ඊබ්‍රාහීම් නානා…

(18.04.2024 – 15:00 +0530 – lankacnews.com)

‘පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්’ යැයි ‘ජාතික ජන බලවේගය’ විසින් කරන ප්‍රකාශය බැහැර කළ නොහැකි බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොඳටම දන්නේ ‘ජාතික ජන බලවේගය’ බවද එම පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අපේක්ෂකයකු ලෙස පත් නම්කර සිටි ‘ඊබ්‍රාහීම් නානා’ පාස්කු ප්‍රහාරය ගැන ඉතා හොඳින් දන්නා පුද්ගලයා බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ‘ජාතික ජන බලවේගයේ’ අනුර දිසානායක මහතාට ඇත්තේ ‘ඊබ්‍රාහිම් නානා’ට එක ඇමතුමක් ලබාදී පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය කුමක්දැයි හරියටම දැනගැනීම බවත් ඔහු කියා සිටියේය.

‘හිරු නාලිකාවේ පත්තරේ විස්තරය’ වැඩසටහනේදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

+


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනපති සුබ පතයි

(18.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක්කර කර තිබෙනවා.

ඇයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට කාන්තා ක්‍රිකට් ප්‍රතිරූපය ඉහල නැංවිම සඳහා චමරි අත්පත්තු ප්‍රධාන කාර්ය භාරයක් සිදුකර ඇති බවයි.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ (17) පැවති තුන්වන (3) එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195 ක් රැස් කළේ කාන්තා එක්දින පිටියේ පිතිකාරියක රැස්කළ තුන්වන (3) හොඳම ඉනිම සහ ලකුණු හඹා යාමේදි වාර්තා වු දෙවන (2) හොඳම ඉනිම ලෙස එය සටහන් කර ගනිමින්.

චමරි අතපත්තුගේ සුපිරි ඉනිම හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය එකට – එකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකි වූ අතර පන්දුවාර විස්ස තරගාවලිය දෙකට – එකක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුණා.

එසේම මෙය කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම හඹා යාම ලෙසයි වාර්තා පොතට එක් වුණේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *