විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ


විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

(18.04.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala)

‘විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත’ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා.

නමුත් එහි දෝෂ රැසක් පවතින බවට වරෝධතා එල්ලවීමත් සමග එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන බවටයි විෂය භාර අමාත්‍යවරයා සඳහන් කළේ.

සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළේ ඒ අනුවයි.

විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණයකිරීම, බෙදා හැරීම, වෙළදාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය මෙහි පරමාර්ථය වී තිබෙනවා.

මීට අමතරව ‘ජාතික විදුලිබල උපදේශක සභාවක්’ පිහිටුවීමට යෝජනා කර ඇති අතර එහි සාමාජිකයින් 07 දෙනෙකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර ඉන් එක් (1) අයෙකු සභාපතිවරයා ලෙසද පත් කිරීම සඳහා යෝජනා වී තිබෙනවා.

එමෙන්ම ‘විදුලි බල මණ්ඩලය’ ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට අදාළව සීමාසහිත සමාගමක් සංස්ථාගත කිරීමට මෙමගින් යෝජනා වී තිබෙන අතර එම සමාගම විසින් ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සිදුකළ යුතු බවද එහි සඳහන් විදුලි බල කර්මාන්තයේ ව්‍යුහය මෙම පනත් කෙටුම්පතින් සමාගම් කිහිපයක් වෙත පවරා තිබෙන අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදන වත්කම් පවරා ගැනීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් 100% ක කොටස් දරනු ලබන සමාගමක් පිහිටුවීමටද යෝජිතයි.

එමෙන්ම ‘ලංකා විදුලි බල මණ්ඩලය’ මෙන්ම ‘ලංකා ගල් අඟුරු සමාගම’ විසින් හිමිකාරිත්වය දරන ගල් අඟුරු විදුලි පිරියතය පවරා ගැනිම සඳහා තවත් සමාගමක් පිහිටුවනු ලැබේ.

මීට අමතරව ‘තාප විදුලි උත්පාදන වත්කම්’ පවරා ගැනීම සඳහාද තවත් සමාගමක් පිහිටුවන අතර ‘සුළං විදුලි පිරියතය’ පවරා ගැනිම සඳහාද සමාගමක් පිහිටුවීමටද යෝජිතයි.

විදුලි බල මණ්ඩලයේ භෞතික යටිතළ පහසුකම් වැඩි දියුණු කිරීම, පවත්වාගෙන යාම, විදුලි බල මණ්ඩලයේ කර්තව්‍යන් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය විසින් 50% කට වඩා කොටස් දරණ එක් සමාගමක් පිහිටුවීමට පනතේ යෝජිත අතර ලංකා විදුලි බල මණ්ඩලයේ අනාගත විදුලිය සහ සම්ප්‍රේෂණ දාරිතාව සැලසුම් කිරීම සහ එහි කර්තව්‍යන් පවරා ගැනිමට ලංකා රජය විසින් 100% ක කොටස් දරණ සමාගමක් පිහිටුවීමටද යෝජනා කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව’ විදුලි බල කර්මාන්තයේ නියාමක විය යුතු බවටයි පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ මෙම පනත්කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

මේ අතර මේ සම්බන්ධව විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ඇතුළු පාර්ශව අදහස් පළ කළා.

++++++++++

+


ස්වයං රැකියාවල නියුතු අයට විශ්‍රාම වැටුපක්

(18.04.2024 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ස්වයං රැකියාවල නියුතු අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බවත් දක්ෂතා ඇති සහතිකපත් නොමැති වෘත්තිකයන්ට සිය අමාත්‍යාංශය යටතේ කෙටි පුහුණුවකින්, පරීක්ෂණයකින් සහතිකපත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

ස්වයං රැකියාවල නිරත වන අයට විශ්‍රාම වැටුප් ලබා දීමේ වැඩපිළිවෙල මේ වනවිටත් මුදල් අමාත්‍යංශයට ඉදරිපත් කර ඇති බවයි අමත්‍යවරයා සඳහන් කළේ.

ලක්ෂ 12 ක ජනතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


මෛත්‍රීගේ සභාපති ධූරයට පැනවූ වාරණය දීර්ඝ කෙරේ

(18.04.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබූ වාරණ නියෝගය මැයි මස 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 04 වැනිදා වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ ඔහු පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

දින 14 ක් දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කළ එම වාරණ නියෝගය අද (18) පෙරවරුවේ යළි සළකා බැලුනා.

ඒ අනුව එම වාරණ නියෝගය ලබන මැයි මස 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමටයි කොළඹ දිසා අධිකරණය නියෝග කළේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත් කරමින් පසුගිය 08 වැනිදා පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සිදුකළ නව පත්කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මැතිවරණ කොමිසම හමුවේ විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අද (18) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පවතින නීතිමය තත්ත්වය සළකා බලන බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+

+

+


ගමේ අවුරුදු උත්සවයේදී කලින් පෙම්වතියත් එක්ක සූප්පුවෙන් කිරි බිව් සැමියාට අත්වූ ඉරණම

(18.04.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ගමේ අවුරුදු උත්සවයේදී සූප්පුවෙන් කිරි බීමේ තරගයේදී, කාලයක සිට අමනාපකමක් ඇති අසල්වැසි කාන්තාවක ලවා කිරි පොවා ගත්තා යැයි පවසා කාන්තාවක සිය සැමියා නිවෙසින් එළවා දැමීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේන් වාර්තා වනවා.

කෑගල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි දෙදරු පියකු සිය බිරිය හා දරු දෙදෙනා (2) සමඟ නි‍වෙසේ පදිංචිව සිට ඇති අතර මොහු මීට වසර 11 කට පෙර විවාහ වී ඇති අතර, මෙම විවාහයට පෙර තරුණ අවධියේදී මොහු ගමේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඊට මවුපියන් දැඩි අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව තරුණයා සම්බන්ධය නතර කර ඇති අතර පසුව මවුපියන් විසින් මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක 2013 වසරේ සොයාගෙන තරුණයාට විවාහ කර දී කෑගල්ලේ නිවෙසට කැන්දාගෙන පැමිණ තිබුණා.

ඉකුත් දිනක ගමේ වෙල්යායේ අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර මෙම අවුරුදු උත්සවය නැරඹීමට 36 හැවිරිදි දෙදරු පියා ද පෙරවරුවේ වෙල්යායට ගොස් තිබෙනවා.

‘සූප්පුවෙන් කිරි බීමේ තරගයට’ ඉදිරිපත් වීමට කැමැති තරගකරුවන්ගේ නම් කාර්යාලයට ලබා දෙන ලෙස ශබ්දවාහිනී යන්ත්‍රයෙන් සංවිධායක මණ්ඩලයට ඉල්ලීමක් කර ඇති අතර 36 හැවිරිදි දෙදරු පියා ද සූප්පුවෙන් කිරි බීමේ තරගයට සහභාගි වීමේ අරමුණින් තම නම කාර්යාලයට ලබා දීමක් සිදු කර තිබුණා.

36 හැවිරිදි දෙදරු පියා ඇතුළු තරගකරුවන් 12 දෙනා සංවිධායක මණ්ඩලය විසින් පෝලිමට තබා ඇති අතර 36 හැවිරිදි දෙදරු පියා 12 වැනියාට සිටි ඇති අතර ඔහුට සූප්පුවෙන් කිරි පෙවීමට සිටියේ තරුණ අවධියේදී ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන තරුණියයි.

කාන්තාව දෙදරු පියා සමඟ කතාබහක් නැතිවම කිරි පොවා ඇති අතර දෙදරු පියා ද කතාබහක් නැතිව සූප්පුවෙන් කිරි පානය කර තිබුණා.

අවසානයේ දෙදරු පියා සූප්පුවෙන් කිරි බීමේ තරගයේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

ඔහුට ත්‍යාගයක් ලෙස ‘උණුසුම් වතුර බෝතලයක්’ පිරිනමා තිබුණා.

අවුරුදු උත්සවයේ සිටි ගමේ කාන්තාවක දෙදරු පියාගේ බිරියට දුරකතනයෙන් කතා කොට සූප්පුවෙන් කිරි බීම සම්බන්ධයෙන් දන්වා තිබෙනවා.

අවුරුදු උත්සවය අවසන් වීමට පෙර නි‍වෙසට ගිය දෙදරු පියාට බිරිය යකින්නියක් ලෙස ඇඟට කඩා පැන අඬා දොඩා වැළපෙමින් විවිධ චෝදනා එල්ල කර අවසානයේ කාන්තාව තම සැමියා නිවෙසින් එළවා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව දෙදරු පියා මවුපියන් පදිංචිව සිටින නි‍වෙසට ගොස් තිබෙනවා ෴


මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනා දිවයිනට

(18.04.2024 – 11:08 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලින් මුදාගෙන පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් 8 දෙනා අද (18) දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් තායිලන්තයේ සිට කටුනායකට පැමිණ ඇත්තේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර සඳහන් කළේ අනෙක් 48 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

+


රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවූ විශ්‍රාමික යුධ හමුදා මේජරයෙකු සහ තව එකෙකු (1) අත්අඩංගුවට

(18.04.2024 – 11:39 +0530 – hirunews.lk/sinhala)

රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුධ හමුදා මේජරයෙකු සහ තව එකෙකු (1) CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජරයා සහ අනෙකා මැයි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ රුසියාවේ ආරක්ෂක අංශයේ සිවිල් රැකියා ලබාදෙන මුවාවෙන් ශ්‍රී ලාංකිකයින් රුසියානු යුක්රේන යුද්ධයට යැවීම සම්බන්ධයෙන් ෴

+++++++++

+


ගෙවුණු දශකයේ මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ

(18.04.2024 – 12:26 +0530 – hirunews.lk/sinhala)

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශය පවසනවා.

2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

සෞඛ්‍යයට අහිතකර ආහාර, ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය හෘදයාබාධ වැළදීමට ප්‍රධාන හේතුව බව සඳහන්.

බෝනොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා වයස අවුරුදු 18 කට වැඩි සෑම අයෙකුම සතියකට විනාඩි 150 ක් ව්‍යායාමවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි බෝනොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරිල් බාලසූරිය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

අප්‍රේල් මාසයට යෙදෙන ශාරීරික යෝග්‍යතා මාසය වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *