බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්


බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

(17.04.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු (9) සමඟ පසුගිය සති තුනක (3) පමණ කාලයක් පැවැති සාකච්ඡා අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරවයි.

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප්‍රමාණයෙන් 28% ක් කපා හැරීම ඇතුළු යෝජනා මාලවක් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.

එය ප්‍රතික්ෂේප කල බැඳුම්කරහිමියන් යෝජනා කර තිබෙන්නේ අතිරේක පොලියක් සහිතව අදාල බැඳුම්කර යළි නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

ඊට අනුව දැනට ශ්‍රී ලංකාව ගෙවිය යුතු අමරිකානු ඩොලර් බිලියන 12.5 ක් වන ණය ප්‍රමාණය සදහා අතිරේක ඩොලර් බිලියන 1.6 ක් ගෙවීමට සිදුවනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ට ඉදිරිපත් කර ඇති යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුකූල වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට පෙර අදාළ බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

+++++++++

+


ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21 ක් බේරා ගනී

(17.04.2024 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ නෞකාව ‘කුක් දූපත් ධජය’ යටතේ යාත්‍රා කළ නැවක් බවයි ෴


ගෝඨාභයගේ පොරොන්දුවලට රැවටුණු බව කාදිනල් හිමි පිළිගනී

(17.04.2024 – 22:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තා දුන් පොරොන්දුව හුදු රැවටිමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවනසවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි (5) අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

මේ අතර පාස්කු ඉරුදින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා වන ‘ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව’ අද (17) මාධ්‍ය වෙත නිකුත් කළා.

+++++++++

+


රාජ්‍ය වතු සේවකයන්ගේ EPF සහ ETF ගැන තීරණයක්

(17.04.2024 – 20:42 +0530 – sinhala.adaderana.lk)

‘රාජ්‍ය වැවිලි ව්‍යවසායන්’ යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ‘ව්‍යවස්ථාපිත ගෙවීම්’ (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව ‘සේවක අර්ථසාධක අරමුදලේ’ සහ ‘සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ’ අධිභාරයන් සමග රුපියල් කෝටි 500 කට අධික මුදලක් ගෙවීමට නියමිත බවය.

වසරේ පළමු රාජකාරිය ලෙස තමන් ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරැඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යානුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවය.

මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2000 කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස ද විශාල මුදලක් වැය වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය ෴


රැඳවියෙක් බලන්න ආ පුද්ගලයෙකුව සැකපිට අත්අඩංගුවට

(17.04.2024 – 21:10 +0530 – sinhala.adaderana.lk)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

අද (17) දින පස්වරු 01:40 ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීම සඳහා පුද්ගලයෙකු පැමිණ තිබුණි.

එහිදී සැකකරු වෙත ලබාදීමට ගෙනඑන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස ‘හෙරොයින්’ යැයි සැක කළ හැකි පැකට් 01 හා ‘අයිස්’ මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි පැකට් 01 ක් සඟවා තිබී සොයාගෙන ඇත.

අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සැකකරුගේ මිතුරෙකු වන අතර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි ෴


හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොතීසි

(17.04.2024 – 21:47 +0530 – sinhala.adaderana.lk)

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙනි ෴


පාලිත තෙවරප්පෙරුමගේ දේහය නිවසට රැගෙන එයි

(17.04.2024 – 22:02 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය අද (17) රාත්‍රියේ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

විදුලිසැර වැදීමකින් ඔහු ඊයේ (16) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණි.

තෙවරප්පෙරුම මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 19 වන සිකුරාදා සිදුකරන බවය.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය සැලවූ මොහොතේ සිට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයට සහ ඔහුගේ නිවසට රැස්වී තිබුණි.

ඔහු ජීවත්ව සිටියදීම සිය සොහොන නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි.

අභාවප්‍රාප්ත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඔහු ජීවත් වු මතුගම යටදොළවත්ත පිහිටි නිවස වෙත මෙලෙස රැගෙනවිත් තිබේ.

+++++++++++

+


ඉන්දියාව, අමෙරිකාව ප්‍රමුඛ බලවේගවලට ලංකාව අත්පත්කර ගැනීමට අවශ්‍ය ඇයි? – වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි

(17.04.2024 – lankaleader.com)

අමෙරිකානු අධිරාජ්‍යය බිඳවැටෙන සෑම විටම ඔවුන් විසින් ලෝකයේ යුදමය තත්ත්වයක් නිර්මාණය කරන බවද, ඊශ්‍රායලය ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස අමෙරිකාව භාවිත කළේ ඛනිජ තෙල් වෙනුවෙන් අරාබි මුහුදේ, රතු මුහුදේ ගැටලුවක් නිර්මාණය කිරීමට බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ‘දෙරණ වාද පිටිය’ දේශපාලන සංවාදය හා එක් වෙමිනි.

ලංකාව පිහිටා ඇත්තේ ලෝකයේ වැදගත් උපායමාර්ගික මරමස්ථානයක බවත්, ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ගයේ පිහිටා ඇති රටක් නිසාම බලපෑම් කිරීමට හා අත්පත් කරගැනීමේ උවමනාව ඉන්දියාව අමෙරිකාව ප්‍රමුඛ විදෙස් බලවේගවලට ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

+


කළුතර නිවසක කාන්තා සිරුරු දෙකක් (2)

(18.04.2024 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දකුණු කලුතර – ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ (2) මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා.

119 හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (17) රාත්‍රියේ මෙම සිරුරු දෙක (2) සොයාගෙන තිබුණා.

අදාළ නිවසේ දොරගොලු දමා තිබි ඇති අතර, නිවස තුළින් හැමූ දැඩි දුර්ගන්ධයක් හේතුවෙනුයි ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක සහ 79 ක වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු (2) බවයි සඳහන් වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *