කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය

කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය


කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය

(09.04.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ වසරේ (2024) සිට එම වෛද්‍ය උපාධි වැඩසටහන සඳහා දේශීය සිසුන් ගෙවීම් පදනමින් සහ උසස් පෙළ ‘ඉසෙඩ්’ ලකුණු සහ අනෙකුත් සුදුසුකම් මත පදනම්ව ඇතුළත් කර ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව ඇත්තේ.

එම යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා ෴

+++++++++

කොතලාවලින් දේශීය සිසුන්ට මුදලට වෛද්‍ය උපාධිය දීමට අන්තරේ විරුද්ධයි

(09.04.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

දේශීය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගෙවීමේ පදනම මත හැදෑරීමට අවස්ථාව සළසා දීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සිය විරෝධය පළ කරනවා.

කෙසේ වෙතත් මේ වසරේ (2024) සිට දේශීය සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගෙවීමේ පදනම මත හැදෑරීමට අවස්ථාව ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබුණා.

එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය මේ වනවිට දේශීය සිසුන් සදහා හැදෑරිය හැකි වන්නේ, ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්වීමෙන් පමණයි.

එමෙන්ම විදේශීය සුදුසුකම්ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත එම අවස්ථාව හිමි වනවා.

ඒ අනුව, මෙරට අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුගමනය කරන ඉසෙඩ් අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක්ද සහිත නිර්ණායක අනුව දේශීය සිසුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

එම්.බී.බී.එස්. හෙවත් වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය යන උපාධි හැදෑරීමට ඒ අනුව දේශීය සිසුන්ට අවස්ථාව සැළසෙනු ඇති.

කෙසේ වෙතත් මෙය, අධ්‍යාපනය පෞද්ගලීකකරණය කිරීමක් බවයි කොළඹ අද (09) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කළේ.

+


කාබයිඩ් ටැංකියක් පිපිරී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

(09.04.2024 – 07:20 +0530 – hirunews.lk/sinhala)

කාබයිඩ් (Calcium Carbide) ටැංකියක් පුපුරා ගොස් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හුණුපිටිය ප්‍රදේශයේ ගරාජයක තිබූ කාබයිඩ් ටැංකියක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවලගම, දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක පුද්ගලයෙක්.

මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර කිරිබත්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


රැඳවියන් බලන්න 11, 12, 13 දිනවල විශේෂ අවසර

(09.04.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala)

රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවට තොරතුරු වාර්තා වෙනවා.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ ලබන 11, 12 සහ 13 යන දිනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එමෙන් ම රාමසාන් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ විශේෂ වැඩසටහනක් 11 වැනිදා ක්‍රියාත්මක බවද ඔහු පවසා සිටියා.

‍රැඳවියන්ගේ ඥාතින්ට නිවසින් රැගෙන එන ආහාර, රස කැවිලි සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ෴


රාමසාන් උත්සවය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

(09.04.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 11 වනදාට යෙදෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආරක්ෂාව සදහා පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් නිළධාරීන් 5,580ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා භටයන් 1,260 දෙනෙකු යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

සෑම පොලිස් වසමකම මුස්ලිම් පල්ලිවල මව්ලවිතුමන්ලා හමුවී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ යටතේ දේව මෙහෙයන් පැවැත්වෙන පල්ලි 2,453 ක ආරක්ෂාව තහවුරු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ෴


‘කණා මුට්ටිය’, ‘වාසනා මුට්ටිය’ ලෙසත් ‘අන්ධයාට කිරි කැවීම’, ‘සගයාට කිරි කැවීම’ ලෙසත් වෙනස් වෙයි

(09.04.2024 – 08:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ‘කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම’, ‘වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම’ ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089 ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව‍යි එහිදී ඔහු සඳහන්කර සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා :

“මෙම වසරේ අවසන් කාර්තුවෙන් පසු මෙරට ආර්ථික සංකෝචනය අඩු වී 2024 වසරේදී ධන ආර්ථිකයකට යොමු වීමේ හැකියාවක් අපට ලැබී තිබෙනවා. පාරිභෝගිකයාට දරා ගත නොහැකිවූ ජීවන වියදමට විසඳුම් ලබා දීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණක් වුණා. නමුත් ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටිනවා. එමෙන්ම මෙම වසරේ අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089 ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ‘කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම’ යන විශේෂාංග මේ වන විට සමාජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය අප අමාත්‍යාංශය විසින් ද පිළිගෙන තිබෙනවා. ඒ වෙනුවට ‘වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම’ යන නම් යොදන ලෙස සංවිධායකයින් දැනුවත් කර තිබෙනවා. එමඟින් අප බලාපොරොත්තු වන්නේ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීමයි. ඒ වගේම සියලුම අවුරුදු උත්සව සඳහා ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ද අප විසින් සංවිධානය කර තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය පසුගිය සමයේ කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් ජනාධිපතිතුමාගේ නව වැඩපිළිවෙලට අනුව මෙම වසරේ අද දක්වා කාලය තුළ සංචාරකයින් 635,784 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1025 ක් උපයා තිබෙනවා.

සියළුම අමාත්‍යංශ විසින් සමාජය සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. එමඟින් පවුල් 10,000 ක් සඳහා ගම් කුකුළු නිෂ්පාදන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම වැඩසටහන මැයි මාසයේ ආරම්භ කිරීමට ආදාළ සියළු කටයුතු සූදානම් බව ද පැවසිය යුතුයි. ඒ සඳහා ණය සහ ආධාර ලබා දීමට ද නියමිතයි. තේ වගාව වෙනුවෙන් පවුල් 14,000 ක් සඳහා තේ පැල ලබාදීමට ද අප කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම ‘අස්වැසුම’ ලාභීන් වෙනුවෙන් තේ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. 36% ක්ව පැවති පොලී අනුපාතය අඩුකරමින් 12% ක් වශයෙන් සහන ණය ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම කාන්තා ‘ලිය සවිය’ වැඩසටහනට සමගාමීව 12% පොලී අනුපාතය යටතේ ඕනෑම නිෂ්පාදනයක් වෙනුවෙන් සහන ණය ලබාදීම, මැයි මාසයේ සිට ආරම්භ කරනවා.”

+
‘දේසපාලුවා මුට්ටිය බිඳීම’ සහ ‘දේසපාලුවාට කිරි කැවීම’
+

+


විභාග දෙපාර්තමේන්තුව දෙකට කැඩීමේ තීරණයක්

(09.04.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට (2) වෙන් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එහි දී එක් අංශයක් සඳහා ‘පාසල් විභාග පමණක්’ භාරදීමටත්, අනෙක් අංශය ‘පාසල් විභාග හැර අනෙක් විභාග’ සඳහා වෙන් කිරීමටත් අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

පාසල් විභාග හැරුණු විට අනෙක් විභාග සියයකට (100) ආසන්න සංඛ්‍යාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන බව සඳහන් කළ ජනාධිපතිවරයා අවධාරණය කළේ, රජයේ විභාග සඳහා වෙන ම අංශයක් නිර්මාණය කරන බවයි.

මේ අතර 2025 හෝ 2026 සිට උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ, “මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ. මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න.” යනුවෙන්.

ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ෴


මෛත්‍රී තායිලන්තයට යයි

(09.04.2024 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය වර්ධනය වී ඇති පසුබිමක එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව තිබෙනවා.

ඔවුන් අද (09) අලුයම 12:55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++

+


‘සුපිරි සන්නායකයා’ බොරු කියා හසුවේ

(09.04.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

= සුපිරි සන්නායකයක් සොයා ගත් බව කියු රංග ඩයස් බොරු කරලා =

ඉකුත් සමයේ දී ‘සුපිරි සන්නායකයක්’ සොයා ගැනීම සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් උසුලමින් සිටි ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයෙකු වන ‘ආචාර්ය රංග ඩයස්’ විද්‍යාත්මක විෂමාචාරයේ යෙදුණු බව සුප්‍රකට ‘නේචර්ස් සඟරාව’ ප්‍රකාශ කරනවා.

එහි දැක්වෙන්නේ, ‘නිව්යෝර්ක් නුවර රොචෙස්ටර් සරසවිය’ විසින් කරන ලද විමර්ශනයකට අනුව ඒ බව තහවුරු වී ඇති බවයි.

ආචාර්ය රංග ඩයස්ට එරෙහිව චෝදනා 16 ක් යටතේ විමර්ෂනය කළ රොචෙස්ටර් සරසවියේ ස්වාධීන විද්‍යාඥ කණ්ඩායම ඒ බව පිටු 124 කින් සමන්විත වාර්තාවකින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව, ආචාර්ය රංග ඩයස්, විද්‍යාත්මක විෂමාචාරයක් සිදු කර ඇති බවයි ඔවුන් නිගමනය කර ඇත්තේ.

එම විමර්ශන මාස දහයක (10) කාලයක් පුරා සිදුකර ඇතැයි පවසන නේචර්ස් සඟරාව සඳහන් කරන්නේ, 2024 – 2025 අධ්‍යයන වර්ෂය අවසානයේ ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර රොචෙස්ටර් හි (ධුරකාල) පීඨ සාමාජිකයෙකු වන ආචාර්ය ඩයස් සේවයෙන් පහ කිරීමට විශ්වවිද්‍යාලය උත්සාහ දරමින් සිටින බවයි ෴


කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට

(09.04.2024 – 11:46 +0530 – hirunews.lk/sinhala)

‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකය’ට ලැබුණ තොරතුරකට අදාළව කල්ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් අතුරුගිරිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් පමණ වන බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අදාළව කළ විමර්ශනයක දී තහවුරු කරගත් තොරතුරු අනුව විශේෂ වට්ටම් සහිතව විකිණීමට ප්‍රදර්ශනය කර තිබු අදාල කල් ඉකුත් වූ භාණ්ඩ තොගය සොයාගත් බවත් මේ පිළිබඳ ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එම අධිකාරිය පැවසුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *