වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක්

වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක්


වස කවන පාන් පිටි ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණයක්

(28.03.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala)

අළුත් අවුරුදු උත්සව සමයේ පාන් පිටි ඉල්ලුම ඉහළ යන්නේ බොහෝ දෙනා කැවිලි පිස ගැනීම සඳහා ඒවා භාවිත කරන බැවින්.

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙරට ජනතාවට උග්‍ර වස මිශ්‍ර පාන් පිටි අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ‘හිරු CIA’ මැදිහත්වීම මත නීතියේ රැහැනට කොටු කර ගැණුනා.

පාන් පිටිවලට කෘමි නායක යොදා නැවත සකස් කර වෙළඳපළට එවීමේ මෙම මහා පරිමාණ ජාවාරම වටලනු ලැබුවේ කැකිරාව – ඇඹුල්ගස්වැව ප්‍රදේශයේදී.

සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිතයට ගන්නා පාන් පිටි සඳහා උග්‍ර විස සහිත කෘමි නාශයක වර්ගයක් ස්ප්‍රේ කර දින 05 ක කාලයක් කැකිරාව ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක ඝන ඉටි කොළ යොදා ආවරණය කර ඇති බවට ‘හිරු CIA’ වෙත රහසිගත තොරතුරක් ලැබුනා.

අදාළ තොරතුර සමග ක්‍රියාත්මක වු ‘හිරු CIA’ කණ්ඩායම මේ පිළිබදව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඔවුන් සමග අදාළ ගබඩා සංකීර්ණය සොයා ගියා.

එහිදී පාන් පිටි ගබඩා කර තිබු විශාල වපසරියකින් යුත් මෙම ගබඩා සංකීර්ණයේ ජනෙල් පවා ආවරණය කර තිබුනා.

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් මෙහි සේවකයන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුයේ කල් ඉකුත් වූ, ගුල්ලන් සහිත පාන් පිටිවල ගුල්ලන් මර්දනයට මෙම කෘමිනාශක යදීමෙන් පසු එම පාන් පිටි තොග දැඩි ලෙස ආවරණය කර ඇති බවයි.

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මෙම පාන් පිටිවල කෘමීන් මර්දනය කළ පසු යන්ත්‍රානුසාරයෙන් නැවත පිටි හැලීම් සිදු කර අළුත් උරවල බහා වෙළඳපලට එවීමටයි කටයුතු යොදා තිබුනේ.

මෙරට සාමාන්‍ය ජනතාවට පාන් පිටි හරහා වස කැවීමට අමතරව ශ්‍රි ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් කිරීමට ද මෙහි ක්‍රියාත්මක තවත් ජාවාරමක් ගැන මෙම වැටලීමේදී තොරතුරු අනාවරණය වුණා.

+


වහපු සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳ විමසා පොලිසියට දුරකථන ඇමතුම්

(28.03.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53 ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට (2) එඩ්ස් වැළදී ඇති බවට ඊයේ (27) හෙළිදරව් වුණා.

මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමත් සමඟ එඩ්ස් වැළදී ඇති කාන්තාවන් සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ දැනගැනීම සඳහා පොලිසිය වෙත දුරකථන ඇමතුම් රැසක් ලැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

පොලිසිය විසින් සිදු කළ වැටලීම හරහා ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අතර වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.

අත්අඩංගුවට ගත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකුට (2) එඩ්ස් වැළඳී ඇති බවට හෙළි වී ඇත්තේ.

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ද සිටින බවයි ෴

+++++++++++

ඇතුගල්පුර Spa යුවතියන්ටත් HIV පරීක්ෂණ

(28.03.2024 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන්ද එච්.අයි.වී. වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන බැවින් ඔවුන් සියලු‍ දෙනා පරීක්ෂාවට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ වන විටත් කුරුණෑගල නගරය ආශ්‍රිතව සම්බාහන මධ්‍යස්ථාන 60 පමණ පවත්වාගෙන යනු ලබන අතර එම සියලු‍ සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් පරික්ෂාවට ලක් කිරීමට පසුබිම් වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් දෙදෙනෙකුට (2) එච්.අයි.වී. ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

ඒ අනුව පොලිසිය ‘කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ’ සහය ඇතිව සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ ෴

++++++++++++

HIV බෙදපු මීගමුවේ SPA රටම අවුළුවයි | ඔබත් මිගමුව පැත්තේ SPA වලට ගියාද..? | එහෙනම් ඉතින් මේක බලන්නම වෙනවා (28.03.2024)

+

https://know4sure.lk/

+


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට

(28.03.2024 – 16:04 +0530 – hirunews.lk/sinhala)

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටහේන, දෙමටගොඩ, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, පානදුර, රත්මලාන, කොළොන්නාව, වලපනේ ප්‍රදේශවල ඊයේ (27) සිදු කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මේ දක්වා පසුගිය දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම්වලදී අපරාධ කල්ලි සාමාජිකයන් 171 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත්කර ගනී

(28.03.2024 – 16:14 +0530 – hirunews.lk/sinhala)

වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කළේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළඳසැල්වලින් ලබා දෙන සිලි බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.

මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇති බව පෙන්වා දුන් පෙත්සම්කාර සංවිධානය, ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි බවත් සඳහන් කළා.

ඒ අනුවයි අදාළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අවන්ති පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ෴


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු පිරිස යළි රිමාන්ඩ්

(28.03.2024 – 16:14 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයන කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 09 දෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම හමුවේ අද (28) යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිසට සෞඛ්‍ය අමාත්‍යාංශය් හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත, එහි අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ද ඇතුළත්.

නඩු විභාගය ආරම්භයේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කොට පිළිතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර දෙන ලෙසයි.

ඒ අනුව ‘ඉමියුනෝග්ලොබියුලීන්’ සහ ‘රිටොක්ෂිමැබ්’ යන ඖෂධ බෙදා හැර ඇත්තේ කවර රෝහල් සඳහාද යන්න මෙන්ම එම රෝගීන්ගේ වාට්ටු අංක සහ රෝගීන්ගේ නම් සහ ඖෂධය ලබා දීමෙන් පසු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති රෝගීන් සම්බන්ධ ප්‍රශ්නාවලියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට යොමුකරන බව ඇය කියා සිටියා.

එම ප්‍රශ්නාවලියේ ඇතුළත් කෙරෙන සෙසු ප්‍රශ්න වන්නේ අදාළ ඖෂධ ලබා දීමෙන් පසු මරණයට පත්වී ඇති රෝගීන්, ඖෂධ ලබාගත් රෝගීන් ජීවත් වන්නේ නම් ඔවුන්ගේ වර්තමාන තත්ත්වයයි.

මරණයට පත්වූ රෝගීන් ගේ මරණ පරීක්ෂණ වාර්තා ද ලබා ගැනීමට නියමිත බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළා.

එම වාර්තා ලබන මැයි මස 30 වනදාට පෙර ලබාගත යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.

එමෙන්ම ‘ඉමියුනෝග්ලොබියුලීන්’ සහ ‘රිටොක්ෂිමැබ්’ යන ද්‍රාවණ දෙක (2) වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම පිළිබඳව ආයතන මට්ටමින් සිදුකරන ලද පරීක්ෂණ, එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන්, ඒ සම්බන්ධ ලිපිගොනු, එහි වර්තමාන ප්‍රගතිය ඇතුළත් ප්‍රශ්නාවලියක්ද ලබන මස 30 වනදාට දිනට පෙර සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කරනු ඇති.

+++++++

+++++++++++

එන්නතකින් පසු ඇති වූ සංකූලතා නිසා සිසුන් 11 ක් රෝහලට

(28.03.2024 – 23:13 +0530 – hirunews.lk/sinhala)

කළුතර පාසලක අවුරුදු 12 සහ 13 වයස් සීමාවේ සිසු සිසුවියන්ට ලබාදුන් එන්නතකින් පසු හුස්ම ගැනිමේ අපහසුතාවක් සිදුව තිබෙනවා.

සිසු සිසුවියන් 11 දෙනෙකු මෙම අපහසුතාවය සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔවුන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තවද මෙම සිසු සිසුවියන්ට ක්ලාන්තය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි සඳහන් වන්නේ ෴


අප්‍රේල් 04 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

(28.03.2024 – 19:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අප්‍රේල් 04 වැනිදා අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට ඔහු මහනුවරදී පසුගිය 22 වනදා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙනුයි.

කෙසේවෙතත්, ඊට පසුදින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ සති 03 කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.

මෙම ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එවන් පසුබිමක් හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කරනු ලැබුවා ෴


මහරගම නගරයේ බෝ ගසක අත්තක් කඩා වැටී දෙදෙනෙකුට (2) තුවාල

(28.03.2024 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.

මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *