ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්


ඥාණසාර හිමියන්ට වසර 4 ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

(28.03.2024 – 10:28 +0530 – hirunews.lk/sinhala)

‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහධිකරණ විනිසුරු ‘ආදිත්‍ය පටබැඳිගේ’ අද (28) නියෝග කළා.

ඒ 2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයක් මත
නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2016 වසරේ මාර්තු 30 වැනිදා කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාසයක් වන අයුරින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර ‘අසාද් සාලි’ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘මුජුබර් රහුමාන්’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ල ගොනු කර තිබුණා.

ඊට අදාළ නඩුව වසර 8 කට ආසන්න කාලයක් නඩුව විභාග කෙරුණේ කොළඹ මහධිකරණයේදීයි.

ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක (100,000) දඩයක් නියම කිරීමට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (28) නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව අධි චෝදනා 2 ක් යටතේ නඩු පවරා තිබූ අතර, එම එක් (1) චෝදනාවකට වසර 2 ක බැගින් මෙලෙස බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණේ.

නියෝගය ලබා දෙමින් මහධිකරණ විනිසුරුවරයා කියා සිටියේ භික්ෂුවක් ලෙස අන්අයට වඩා ජාතික සහ ආගමික සහජීවනය පිළිබඳව මීට වඩා දැඩිව අවධානය යොමු කළ යුතු බවයි.

මෙහිදී පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ, එම කාල වකාවනුවේ රට තුළ පැවති වාතාවාරණය අනුව තම සේවාදායකය මෙම ප්‍රකාශය කර ඇති බවයි.

මෙලෙස භික්ෂුවක් වගකීම් විරහිතව කටයුතු කිරීම හරහා අනාගතයේදී දිනක අපරට තුළ පෙර පැවති ආකාරයෙන් ජාති සහ ආගම් අතර යළි ආරවුල් ඇතිවීමේ ප්‍රවණතාවක් මතුවිය හැකි බවද මහධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙහිදී අවධාරණය කර සිටියා.

අනතුරුව බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැළිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

+

+


දමිතාගේ ඇප අවලංගුයි

(28.03.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි ‘දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා’ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලිම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි කියා සිටීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයෙන් පෙන්වා දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එසේම ඔවුන් දෙදෙනාට (2) අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇති අතර නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනා (2) වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඬුල්ලක් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔවුන් දෙදෙනාට (2) එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පරිගණක අපරාධ කොට්ඨාසය අධීකරණයේ පෙනී සිටිමින් පෙර දින අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ඊයේ (27) නිකුත් කිරිමට නියමිතව තිබූ අතර එම නියෝගය නිකුත් කරමින් ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කලා.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළ බවට දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට චෝදනා ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම ප්‍රසිද්ධ රංගන ශිල්පිනි ‘දමිතා අබේරත්න’ සහ ඇයගේ සැමියා වන ‘ලෙන්ලි ජොන්සන්’ යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ඊයේ (27)රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන නිවස වෙත ගිය ද ඔවුන් දෙදෙනා (2) නිවසේ නොසිටි බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරේ ෴


රූපවාහිනියෙන් ඩයනාට නඩු පවරන්න සුදානම් වෙයි

(28.03.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

2023 සැප්තැම්බර් මස පැවැති නවගමුව පෙරහර සඳහා සජීවී ලෙස විකාශය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ නවයක (9,00,000) මුදලක් ගෙවීම පැහැර හැරි සංචාරක රාජ්‍ය අමාත්‍ය ‘ඩයනා ගමගේ’ට එම හිඟ මුදල ගෙවන ලෙසට සිහිකැඳවීම් ගණනාවක් කර ඇතත් තවමත් එම මුදල ගෙවා නැති බවට ජාතික රූපවාහිනි සංස්ථාව පවසනවා.

එම හේතුවෙන් එම හිඟ මුදල නොපමාව ගෙවීම් නොකළහොත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි සංස්ථාවේ ගිණුම් අංශයේ උසස් නිලධාරියකු පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති පැවසූවේ රාජ්‍ය අමාත්‍යවරිය එම මුදල නොගෙවීමෙන් සංස්ථාවට විශාල ගැටලුවක් මතු වී ඇති බවයි.

එම සජීවී විකාශය ලබාදී තිබුණේ විකාශය සඳහා වැයවන මුදල තමාගේ අතින් ගෙවන බවට ඇය රූපවාහිනි සංස්ථාවට ලිඛිතව දැන්වීමෙන් පසුව බව සඳහන්.

මේ අතර මෙම හිඟ මුදල වහාම අයකර ගැනීමට කටයුතු කරන ලෙසට රූපවාහිනි සංස්ථාවේ සේවකයින් බලපෑම් කරන බවටද වාර්තා වනවා ෴


මා ඔයේ දිය නෑමට ගොස් මියගිය සිසුන්ගේ දේහයන් අද (28) ඔවුන්ගේ නිවෙස් වලට

(28.03.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala)

අලව්ව වළකුඹුර ප්‍රදේශයෙන් ‘මා ඔයේ’ දිය නෑමට ගොස් දියේ ගිලී මියගිය සිසුන්ගේ දේහයන් අද (28) පස්වරුවේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ඒමට නියමිතයි.

පොලිසිය පැවසුවේ එම දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මේවන විට පැවැත්වෙන බවයි.

අලව්ව- වලකුඹුර ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය සිසුන් 11 දෙනෙකුගෙන් සිව් (4) දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දියේ ගිලි මියගියා.

තවත් සිසුවෙකු (1) ගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් සමත් වු අතර එම සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුන් මෙම අනතුරුට මුහුණ පා තිබුණේ පාසල නිමවී අලව්ව වළකුඹුර ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසකට ගොස් සිටි අතරවාරයේදියි.

ඔවුන් දියනෑමට ගොස් තිබු ස්ථානය ගැඹුරු වලවල් සහිත ස්ථානයක් බවත්, එම ස්ථානයේ මීට පෙර වැලි ගොඩදැමීම් සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළා.

දියේ ගිලි මියගිය සිසුන්ගේ සිරුරු අද (28) පස්වරුවේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ඒමට නියමිතයි.

එලෙස මියගියේ අලව්ව වළකුඹුර ප්‍රදේශයේ පදිංචි විදස් දෙව්මිත එම ප්‍රදේශයේම පදිංචි කලණ ලක්ෂිත අමරසිංහ, පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ පදිංචි තවීන් තෙනුජ සහ පොතුහැර තලවත්තේගෙදර පදිංචි රවිඳු රශ්මික පද්මසිරි නමැති සිසුන් සිව් (4) දෙනායි.

+++++++++

++++++++++

මා ඔයේ ගිලී මිය ගිය සිසුන්ගේ දේහයන් නිවෙස්වලට

(28.03.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

අලව්ව වළකුඹුර ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගොස් මියගිය සිසුන්ගේ දේහයන් අද (28) පස්වරුවේ ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා.

එම දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයද අද (28) සිදු කෙරුණු අතර දිවි බේරා ගැනුණු සිසුවා මේ වන විට විට සාමාන්‍ය වාට්ටුව්‍ක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පාසල් සිසුන් 11 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ දිය නෑම සඳහා අලව්ව – වලකුඹුර ප්‍රදේශයෙන් මා ඔයට ගොස් තිබුණා.

ඒ ඔවුන් පාසල නිමවී අලව්ව වළකුඹුර ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසකට ගොස් සිටි අතරවාරයේදීයි.

පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුන් 11 දෙනා අතරින් 5 දෙනෙකු දියට බැස ඇති අතර ඉතිරි 6 දෙනා ඒ අසළ රැඳී සිට තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට ලක් වුණේ එම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.

පොලිසිය පැවසුවේ ඔවුන් දියනෑමට ගොස් තිබු ස්ථානය ජනතාව සාමාන්‍යයෙන් දිය නෑමට යන ස්ථානයක් වුවත් සිසුන් මින් පෙර වැලි ගොඩ දැමූ ස්ථානයක් වූ ගැඹුරු වලවල් සහිත ස්ථානයකට යාමත් සමඟ ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි.

දිය නෑමට ගිය සිසුන් 05 දෙනා ආපසු නිවෙස් කරා පැමිණ නොතිබූ බැවින් එම සිසුන්ගේ මව්පියන්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී දියේ ගිලී මියගොස් සිටි පාසල් සිසුන් සිව් (4) දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබුණා.

දියේ ගිලීමෙන් මියගිය සිසුන් අතර ඔවුන්ගේ පාසලේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන කළණ ලක්ෂිත අමරසිංහද වන අතර ඔහු දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුතු පවුලේ වැඩිමල් දරුවායි.

එමෙන්ම අලව්ව වළකුඹුර ප්‍රදේශයේ පදිංචි විදස් දෙව්මිණ පවුලේ වැඩමලා වන අතර ඔහුට බාල සොහොයුරෙක් ද සිටිනවා.

කවීන් ලක්ෂිත පොල්ගහවෙල සිසුවාද මෙම අනතුරින් මියගිය අතර ඔහු දරුවන් දෙදෙනෙකු (2) ගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවායි.

මියගිය අනෙක් සිසුවා පොල්ගහවෙල තල්වත්තේ ගෙදර පදිංචිකරුවෙක් වන රවිඳු රන්මිණයි.

එම දරුවන්ගේ මෘතදේශ පොල්ගහවෙල රෝහලේ තැනත්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (28) පැවැත්වුණා.

එහිදී හෙළි වුණේ දියේ ගිලීම නිසා හුස්ම සිරවී මෙම මරණ සිදුව ඇති බවයි.

+


මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිල වැඩි කිරීමට සැරසෙන බවට චෝදනා

(28.03.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි උත්සව සමයේදී උපක්‍රමශීලීව සහල් මිල වැඩි කිරීමට මහා පරිමාණ මෝල් හිමියන් කටයුතු කරමින් සිටින බවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් චෝදනා කරනවා.

ඔවුන් අනතුරු අඟවන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී සහල් හිඟයක් රට තුළ නිර්මාණය විය හැකි බවටයි.

මෙවන් පසුබිමක ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් (1) දක්වා පහත දැමීමට ද කටයුතු කෙරුණා.

මීට මාස කිහිපයකට පෙර ආරම්භ කළ මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතිනවා.

කෙසේ වුවත් එම අස්වනු මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් රුපියල් 90-100 ත් අතර මුදලකට මිලදී ගනු ලැබුවේ රජයෙන් වී මිලදී ගැනීමේ කටයුතු නිසි පරිදි සිදු නොකළ පසුබිමකයි.

කෙසේ වෙතත් මේ වනවිට රජය වී කිලෝවක් සඳහා රුපියල් 135 ක මිලක් නියම කර ඇතත් ගොවීන් පවසන්නේ මේ වනවිට තමන් සතුව අලෙවි කිරීම සඳහා වී තොග නොමැති බවයි.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් චෝදනා කරන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වී තොග මිලදී ගෙන සඟවා තබා ගනිමින්
ඉදිරියේදී රට තුළ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවටයි.

මෙවන් පසුබිමක ආනයනික සහල් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ක් ලෙස පැවති බද්ද රුපියල (1) දක්වා පහළ යනු ඇති. එම තීරණය ක්‍රියාත්මක වන්නේ ලබන අප්‍රේල් 03 වැනිදා දක්වායි.

එමෙන්ම ආනයනය කෙරෙන අනෙකුත් ළූනු කාණ්ඩයට අයත්, එනම් ‘රෝස ළූනු’ කිලෝවක් සඳහා වු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද කිලෝග්‍රෑමයකට රුපියල් 80 සිට රුපියල් 10 දක්වා අඩුකර තිබෙනවා.

මෙම තීරණය ලබන අප්‍රේල් 30 දක්වා ක්‍රියාත්මක බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ගැසට් නිවේදන සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද අදහස් පළ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *