සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ (02.04.2024) යළි අඛණ්ඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ (02.04.2024) යළි අඛණ්ඩ වර්ජනයක


සෞඛ්‍ය වෘත්තිය සමිති ලබන සතියේ යළි අඛණ්ඩ වර්ජනයක

(27.03.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala)

ලබන අගහරුවාදා (02) පෙරවරු 06:30 සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට ‘සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය’ තීරණය කර තිබෙනවා.

අද (27) පැවති එම සන්ධානයේ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇත්තේ වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ දැමීමට සමගාමීව අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා ඉහළ දැමීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීමට විරෝධය පළකරමින්.

+


විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට රටපුරා මධ්‍යස්ථාන ජාලයක් (27.03.2024)

+


පාතාලයට ‘සොරි’ කිව්ව OIC ගෙදර යවයි

(28.03.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායක ‘ඇල්ටෝ ධර්මේ’ගේ වැටුප් ලබමින් පාතාලයට සහාය දුන් බව කියන අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙස නිර්දේශ කරමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ අත්සනින් ජාතික පොලිස් කොමිසමට ලිපිගොනුව යවා තිබෙනවා.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධව ‘පොලිස් විශේෂ කාර්යාංශය’ සිදුකළ විමර්ශනයකදී හෙළිවූ කරුණු මත මෙම සේවය අත්හිටුවීම සිදුවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ලෙස සිටියදී ‘ඇල්ටෝ ධර්මේ’ ගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ කල්ලියට සහාය දුන් බවට චෝදනා කරමින් මෙම නිලධාරියාට කුණු හරුපෙන් බැණ වදිමින් තර්ජනය කරද්දීත් ‘ඇල්ටෝ ධර්මේ’ ගෙන් සමාව ඉල්ලන හඬ පටය සම්බන්ධව මෙම විමර්ශනය සිදු කෙරුණා ෴


ඊශ්‍රායල් කෘෂි රැකියා 1064 ක් මාර්තුවේදී

(28.03.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙම වසරේ මාර්තු මාසයේදී පමණක් ශ්‍රි ලාංකිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ (2023) දෙසැම්බර් මාසයේ සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666 ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

ඊශ්‍රායලයේ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රමිකයින් 83 දෙනෙකු සඳහා අද (27) ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලද අතර, ඊට කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂිත තරුණයින් 54 දෙනෙකු හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවන ශ්‍රි ලාංකිකයින් 29 දෙනෙකු අයත් වනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊශ්‍රායල් රජයේ නිළධාරීන් හමුවී කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිව තිබෙනවා ෴


ත්‍රිරෝද අංකයකට මිනි කූපරයක් ලියාපදිංචි කරලා

(28.03.2024 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පරිගණක දත්ත වෙනස් කොට ත්‍රිරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා මිනිකූපර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60 ක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු එම දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් හත්දෙනකුට (7) එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් ලබන ජුනි 18 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (27දා) නියෝග කර තිබෙනවා.

එවකට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වන රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ධර්මරත්න ජයන්ත හා අජිත් කුමාර වනිසුන්දර යන විත්තිකරුවන් හත්දෙනාට (7) එරෙහිව එම නඩුව පවරා තිබුණා.

මේ වනවිට විදේශගත වී ඇතැයි කියන හතරවන (4) විත්තිකරු හැර අනෙකුත් විත්තිකරුවන් හයදෙනාම (6) අධිකරණයෙන් නිකුත් කළ නොතිසි අනුව ඊයේ (27) මහාධිකරණය හමුවේ පෙනී සිටිය අතර විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමට සූදානම් වන අවස්ථාවේදී දෙවන (2) විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆිල් පාරිස් කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති එම අධිචෝදනා පත්‍රය අභියෝගයට ලක්කරමින් සිය සේවාදායකයා වන මේ වනවිට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කර ඇති බවයි පැවසුවේ.

එම පෙත්සම පෙරේදා (26) පස්වරුවේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ බවත් ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා වැඩිදුර කරුණු දැක්වීම ලබන ජුනි 04 වැනිදා දක්වා කල් තැබූ බවත් අධිකරණයට පැවසූ නීතිඥ හෆිල් පාරිස් මහතා තමා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ බවට මහාධිකරණයට දැනුම් දෙන ලෙසට ගරු අගවිනිසුරුවරයා තමාට දැනුම් දුන් බවද ප්‍රකාශ කළේය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති රිට් පෙත්සම කැඳවීමෙන් පසුව මෙම මහාධිකරණය හමුවේ මෙම නඩුකරය කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටි නීතිඥවරයා යම්කිසි හෙයකින් අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකළ හොත් ආයතන සංග්‍රහය අනුව සිය සේවාදායකයා වැඩ තහනමකට ලක්විය හැකි බවද අධිකරණයට පැවසුවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම විත්තිකරුගේ පෙත්සම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් ලබාදී නොමැති බැවින් එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදී නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට මහාධිකරණයට නීතිමය බාධාවක් නොමැති බැවින් විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට නියෝගයක් කරන්නැයි අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම විත්තිකරුගේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම ආරම්භ කොට වැඩිදුර කරුණු දැක්වීමට දින නියම කිරීම ඇතුළු හේතු නිසා විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීම කල් දැමීමට තම අධිකරණය තීරණය කළ බව විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙන්වා දුන්නා.

2015.05.16 හා 2015.09.23 අතර කාලය තුළදී කොළඹදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කටයුතු කරමින් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුල් වී එකී මිනිකූපර් රථය ‘අජිත් කුමාර වනිසුන්දර’ නමැති විත්තිකරුගේ නමින් ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු රුපියල් ලක්‍ෂ 26 කට අධික රේගු ගාස්තුවක් අහිමි කිරීමත් ඒ සඳහා ආධාර අනුබල දීමත් එම විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව වුණා ෴


ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට චීනයෙන් පොරොන්දුවක්

(28.03.2024 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබෙනවා.

ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන ජනාධිපති ෂී ජින්පින් ඒ බව පවසා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඒ බව සඳහන් කළේ ෴


වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය දරුවාගේ පරීක්ෂණ සී.අයි.ඩී යට

(28.03.2024 – 09:08 +0530 – hirunews.lk/sinhala)

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ තුන් (3) හැවිරිදි කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියේ ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා නියෝග කළා.

ඒ, බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් ඊයේ (27) සලකා බැලීමෙන් අනතුරුවයි. දරුවාගේ ශල්‍යකර්මය සිදුකළ බව කියන ‘නවීන් විජේකෝන්’ නමැති විශේෂඥ වෛද්‍යවරයා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු සිටින ස්ථානය සහ ඊමේල් ලිපිනය අදාළ අංශ මගින් පොලිසිය වෙත යොමු කර ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙම සිද්ධිය හා සම්බන්ධ ස්කෑන් පරීක්ෂණය සිදුකළ බව කියන ‘නුවන් හේරත්’ නමැති වෛද්‍යවරයා ද මේ වනවිට විදෙස්ගතව සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

විදෙස්ගතව සිටින එම වෛද්‍යවරුන් දෙදෙනා (2) ද මෙරටට කැඳවා සාක්ෂි ලබාගත යුතු බැවින් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසයි බොරැල්ල පොලිසිය ඉල්ලා සිටියේ.

මෙලෙස මිය ගියේ වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙලුණු කොටහේන ප්‍රදේශයේ පදිංචි ‘අම්දි පස්ලිම්’ නමැති දරුවෙකු වන අතර ඔහුගේ මියයෑම සැකසහිත බවට දරුවාගේ දෙමව්පියන් බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබුණා ෴


හතර (4) දෙනෙකුගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතා සදහා මසකට රුපියල් 68,000 ක් අවශ්‍ය බවට හෙළිවේ

(28.03.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ ජනවාරී මාසය සදහා වූ දරිද්‍රතා රේඛාව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයෙකුට දරිද්‍රතාවයෙන් මිදී අවම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය වනවා.

හතර (4) දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක් මසකට රුපියල් 68,056 ක ආදායමක් අවශ්‍යයි.

කොළඹ ඒක පුද්ගල දරිද්‍රතා රේඛාව 18,350 ක් වනවා ෴


යුක්රේන යුද්ධයට කුලී හේවායන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ දුක්බර කතාව !

(28.03.2024 – 10:44 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ පවතින ගැටුම් මධ්‍යයේ, ගැටුමේ දෙපැත්තෙන්ම ආයුධ අතට ගත් ශ්‍රී ලාංකිකයන්ගේ සම්බන්ධය පිළිබඳ එතරම් ප්‍රසිද්ධ නැති පැතිකඩක් මතුවී තිබෙනවා.

අල් ජසීරා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව දැක්වෙන්නේ යුක්රේන රුසියා යුද්ධයේ දී රුසියාව වෙනුවෙන් සටන් වැදී ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙකු (2) සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදි ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු (3) අවම වශයෙන් මියගොස් ඇති බවයි.

ඩොනෙට්ස්ක් කලාපයේ රුසියාව වෙනුවෙන් සටන් වදිමින් සිටිය දී රුසියානු බංකරයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලැබූ ශ්‍රී ලංකික කුලී හේවායෙක් වු 36 හැවිරිදි සේනක බණ්ඩාර සිය සටන් සගයා වූ නිපුන සිල්වා සමග මුහුණ දුන් මාරක අත්දැකීම පිළිබඳව අල් ජසීරා වෙත වාර්තා කර තිබුණා.

ඔහු පවසා තිබුනේ ප්‍රහාරයෙන් ඔහු තුවාල ලැබු අතර ඔහුගේ දෙපා වලින් සහ අත් වලින් රුධිරය ගලමින් තිබුණු බවයි.

තුවාල ලබා සිටි නිපුනගේ තත්ත්වය බෙහෙවින්ම බරපතල වූ අතර ඔහුගේ පපුව, අත් සහ පාදවල තුවාල සිදුව තිබෙනවා.

දරුණු වෙඩි ප්‍රහාර මධ්‍යයේ නිපුනව ද එකතු කරගත් සේනක පසුබැස ඇති අතර ඒත් සමගම තවත් යුක්රේන ඩ්‍රෝන රැල්ලක් ඔවුන් වාඩිවී සිටි ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ රුසියානු බංකර කලාපයට එල්ල වී තිබෙනවා.

“මම නිපුන එක් කරගෙන අමාරුවෙන් ඒ කලාපයෙන් පසුබසින්නට වුනා. ඒත් බංකර පෙළේ අවසාන බංකරය අසලට තවත් දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වුනා. ඒ ප්‍රහාරයෙන් නිපුන බිම ඇදගෙන වැටුණා. නැවත මට ඔහුව ඔසවාගෙන යන්න ශක්තියක් තිබුනෙ නෑ. යුක්රේන ඩ්‍රෝන යානාවලින් ඇදගෙන වැටුණෙ මරණ වරුසාවක්. ඒක පුදුමාකාර වේදනාවක්. මට නිපුන අත්හැර යැම හැර වෙන විකල්පයක් තිබුණෙ නෑ… “

නිපුන පවසන පරිදි තත්ත්වය මේ තරම් භයානක බව ඔවුන් නොදැන සිට ඇති අතර රුසියානු සහායක හමුදාවට බැඳී ඉදිරිපෙළට යෑමට පෙර ඔවුන් පුහුණු පාඨමාලා දෙකකට (2) සම්බන්ධ වී තිබුණා.

“තත්ත්වය මෙතරම් භයානක බව අපි දැන සිටියේ නෑ… ඩොනෙට්ස්ක්හිදී, අපට ‘බංකර් රාජකාරියට’ යන්න කිව්වා. නමුත් අප යන්නේ ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති තැනකට බව අපි දැනගෙන හිටියේ නෑ.” වට්ස් ඇප් හඬ පට මගින් සිද්ධිය විස්තර කරමින් සේනක බණ්ඩාර අල් ජසීරා සමග සිය අත්දැකීම් බෙදා ගෙන තිබුණා.

පසුව රුසියානු හමුදා සමඟ සටන් කරන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් විසින් නිපුනගේ සිරුර හඳුනාගෙන තිබුණා.

සේනක පවසන පරිදි, මෑත මාසවලදී රුසියාව වෙනුවෙන් සටන් කරමින් අඳුරු ඩොන්ටෙස්ක් යුධ පිටියේ මිය ගිය නිවර්තන දකුණු ආසියානු දූපතේ දෙවැන්නා (2) නිපුනය.

වාර්තා වූ මරණ දෙක (2) පසුගිය වසරේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව යුක්රේනය වෙනුවෙන් සටන් කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනාට (3) එකතු වුණා.

රුසියාවේ සටන්කරුවෙකුට මසකට ඩොලර් 3,000 දක්වා වැටුප් පිරිනැමීම සහ රුසියානු පුරවැසිභාවය පිළිබඳ අපේක්ෂාවෙන් බොහෝ ශ්‍රි ලාංකිකයන් මේ යුද්ධයට පැටලෙන අවකාශයක් නිර්මාණය වී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලාංකිකයන් දැන් යුක්රේනයේ රුසියානු හමුදාව සමඟ සේවය කරන බව රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් අල් ජසීරා වෙත තහවුරු කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *