ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම්

ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම්


ඵල දැරූ ‘හිරු’ අනාවරණය : ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම්

(27.03.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මාස කිහිපයක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ ‘කොහුවල ගුවන් පාලමේ’ අවසන් අදියරේ ඉදි කිරීම් අද (27) යළි ආරම්භ කෙරුණා.

පාලමේ ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් රියැදුරන් සහ මගී ජනතාව දැඩි අසීරුතාවට පත්වන බව අප ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් පසුගිය සඳුදා (25) අවධානයට ලක්කළ අතර ඊයේ (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා.

හංගේරියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 2640 ක වියදමින් කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2021 වසරේදීයි.

දිගින් මීටර 297 ක් වන මෙම පාලම ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබුණේ කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමයි.

පසුගිය වසරේදී වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණද මෙතෙක් එහි වැඩ අවසන් නොවීම සම්බන්ධයෙන් අප පසුගිය සඳුදා (25) වාර්තා කළා.

පාලමේ වැඩ නතර කිරීම හේතුවෙන් ඉදිකිරීම් සඳහා යොදා ඇති යකඩ කම්බි ද දිරාපත් වී ඇති අයුරුද අප පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් ඊයේ (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන්ද විමසීමක් කළා.

ඒ අනුව අද (27) පෙරවරුවේ සිටම යළිත් කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

+


නැකැත් අවුල යළි ඇවිලේ

(27.03.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala)

‘රාජ්‍ය නැකත් කමිටුව’ විසින් සිංහල – දෙමළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් සකස් කළ නැකත් සීට්ටුවේ දෝෂ පිළිබඳව ‘ජාතික නැකත් කමිටුව’ අද (27) යළිත් වරක් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ දැනුවත් කළා.

කෙසේ වෙතත් අමාත්‍යාංශය පසුගියදා ජනතාවට දැනුම් දුන්නේ ‘රාජ්‍ය නැකැත් කමිටුව’ සකස් කළ නැකත් සීට්ටුවට අනුව මෙවර අලු‍ත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටු කරන ලෙසයි.

එම නැකත් පත්‍රයේ දෝෂ පවතින බවට ‘ජාතික නැකැත් කමිටුව’ පසුගියදා ප්‍රකාශ කළ අතර ඒ අනුව ඔවුන් විසින් විකල්ප නැකැත් පත්‍රයක් එළිදැක්වීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුව සඳහන් කළේ මේ වනවිට ‘රාජ්‍ය නැකත් කමිටුව’ විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති නැකත් සීට්ටුව ශාස්ත්‍රානුකූලව වඩාත් නිවැරදි බවයි.

එහි අලු‍ත් අවුරුදු උදාව අප්‍රේල් 13 වන සෙනසුරාදා අපරභාග 09:05 ටත්, ආහාර පිසීම එදිනම අපරභාග 11:06 ටත් වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ඊට පසුදින (14) අළුයම 12:06 ටත් යෙදී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ නැකැත් ප්‍රායෝගික නොවීම, සම්ප්‍රදායට පටහැනි වීම, ශ්‍රාස්ත්‍ර විරෝධී වීම හා සංක්‍රාන්ති දෝෂ භංග නොවීම යන කරුණු මුල්කර ගෙන එම නැකත්වලට විරුද්ධ බව ‘ජාතික නැකත් කමිටුව’ යළි ප්‍රකාශ කරනවා.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒ පිළිබඳ ඔවුන් අද (27) පෙරවරුවේ ලිඛිත දැනුවත් කිරීමක් සිදු කළ බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ‘ජාතික නැකැත් කමිටුවේ’ සාමාජික ජ්‍යෝතීර්වේදී රොෂාන් චානක තිසේරා කියා සිටියා ෴


රජයේ වාහන සල්ලි කන හැටි මෙන්න

(27.03.2024 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ධාවන තත්ත්වයේ පවතින රජයේ වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් 300ත් 500ක් අතර පිරිවැයක් වැය වන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණ පත්‍රිකාවක් මගින්.

ඊට අනුව 2022 වසර වන විට රාජ්‍ය ආයතන සතු වාහන 82,000 කින් 76,000ක් ධාවන තත්ත්වයේ පවතිනවා.

ඒ සඳහා අධික පිරිවැයක් වැයවීම වැළැක්වීමට රජයේ වාහන ක්‍රමානුකූලව ඉවත් කරමින් කුලී පදනම මත හෝ බදු පදනම මත පෞද්ගලික අංශයෙන් වාහන ලබා ගැනීම සිදු කළහොත් රුපියල් 100ක් හෝ ඊට වඩා අඩු පිරිවරයකින් කිලෝමීටරයකට ගෙවීම් කළ හැකි බවයි අදාළ පර්යේෂණයේ සඳහන් කර ඇත්තේ.

එමගින් ඉතිරි කර ගත හැකි මුදල රුපියල් බිලියන 20ක්.

ඒ අනුව මෙම පර්යේෂණ පත්‍රිකාව ගැඹුරින් අධ්‍යනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා ෴


ඊයේ (26) බැල්ටිමෝර් වරායේ පාලමෙහි නෞකාවක් ගැටී පාලම කඩා වැටීමෙන් කම්කරුවන් 06 දෙනෙකු මියයයි

(27.03.2024 – 06:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට පැමිණෙමින් තිබූ බහලු‍ම් නෞකාවක් ගැටීමෙන් ඇමරිකාවේ ස්කොට් කී පාලම විනාශ වන අවස්ථාවේ එහි නඩත්තු කටයුතුවල නිරතව සිටි 06 දෙනෙකු ජලයට වැටීමෙන් මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම නෞකාවේ විදුලිබලය එක් වරම ඇණහිට ඇති අතර නැව තම පාලනයෙන් ගිලිහී ඇති බව රෝඩියෝ පණිවුඩ හරහා බලධාරීන් දැනුවත් කර තිබුණා.

ඒ අනුව මිනිත්තු දෙකක් (2) වැනි කාලයක් තුළ පාලමේ දෙපසින් පැමිණෙන සියලු වාහන නතර කිරීමට බලධාරින් කටයුතු කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව සිදුවීමට ගිය විශාල විනාශයක් වැලකී තිබෙනවා. කිලෝමීටර් 2.6 ක පමණ දිගින් යුත් වානේ ආරුක්කු සහිත මෙම පාලම මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර්හි පැටපිස්කො නදිය හරහා ඉදිකර එළි දක්වනු ලැබුවේ 1977 වසරේදීයි.

එය සවි කර ඇති කොන්ක්‍රීට් කනුවක ගැටී තිබුණේ බහලු‍ම් 4900 ක් පමණ රැගෙන බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරාය දක්වා ගමන් ගනිමින් තිබූ සිංගප්පූරු ධජය සහිත ‘ඩාලි’ නැමති නෞකාවක්.

මීටර 300 ක් පමණ දිගින් යුත් මෙම නෞකාව ලබන 22 දා කොළඹ වරායට ළගා වීමට සැලසුම් කර තිබුණා. මෙහි කාර්ය මණ්ඩලයේ වැඩි දෙනා ඉන්දීය ජාතිකයන් බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ ෴

+

අමෙරිකාවේ බැල්ටිමෝර්හී සුප්‍රකට ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ හැපුණු නැවේ සුලමුල එළියට : 6 ක් මරුට

(27.03.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාවේ බැල්ටිමෝර්හී සුප්‍රකට ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම කඩා වැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

අනතුර පිළිබඳ මුලික විමර්ශන වාර්තාව ද මේ වන විට නිකුත් වී ඇති අතර එහි දැක්වෙන්නේ නෞකාව කාර්ය මණ්ඩල පාලනයෙන් ගිලිහීම මෙම අනතුරුට හේතුව බවයි.

සිංගප්පූරු ධජය සහිතව යාත්‍රා කළ ඩාලි බහාලුම් නෞකාව අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූයේ පෙරේදා (25) අළුයමයි.

නෞකාව ගැටීමත් සමග ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලම ‘පැටප්ස්කෝ’ ගඟට සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

නෞකාවේ අනතුරු ඇඟවීමේ පණිවුඩ හේතුවෙන් පාලමට වාහන ඇතුළුවීම නැවැත්වීමට මේරිලෑන්ඩ් බලධාරීන් පියවර ගත්තත් ඒ වනවිටත් පාලමට ඇතුළුකර තිබූ වාහන 07 ක් පමණ පැටප්ස්කෝ ගගට ඇද වැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පාලමෙහි ඉදිකිරීම් සේවකයින් පිරිසක් ද රැඳී සිට ඇති අතර මේවන විට පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

අතුරුදන්වූ සෙසු පිරිස් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මෙම අනතුරින් නෞකාවේ සිටි තපිතාන්වරයා ඇතුළු ඉන්දීය කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් නොමැති බව විදෙස් වාර්තාවල සඳහන්.

‘ඩාලි’ බහාලුම් නෞකාව ලබන මස 22 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ අතර මෙම අනතුර පිළිබඳව මුලික විමර්ශන වාර්තාව මේ වන විට නිකුත්වී තිබෙනවා.

+


රාත්‍රී සේවා තැපැල් කාර්යාල මගින් දඩ පත්‍රිකා ගෙවීම පුළුල් කෙරේ

(27.03.2024 – 15:28 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි රාත්‍රී සේවා වාර සහිත තැපැල් කාර්යාලය මගින් වාහන දඩ පත්‍රිකා භාර ගැනීම සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පසුගිය 18 වනදා සිට එම සේවා ක්‍රියාත්මකයි.

මීට පෙර තෝරා ගත් තැපැල් කාර්යාල මගින් පමණක් රාත්‍රී කාලයේ දඩ පත්‍රිකා ගෙවීමට හැකියාව ලැබී තිබූ අතර මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 37 කින් එම පහසුකම් ලබා ගත හැකියි ෴


‘නන්දසේන’ නුවරඑළියේදී අත්අඩංගුවට

(27.03.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කහනවිටගේ දොන් නන්දසේන’ හෙවත් ‘නන්දසේන’ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලක සිය දෙවන බිරිද සමඟ සැඟව සිටියදීයි.

පසුගිය දෙවනදා (02) කිරිබත්ගොඩ සහ කටුනායක යන ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකින් යුත් කිලෝ ග්‍රෑම් 10 ක් පමණ බරැති ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය මොහුට අයත් බවට අනාවරණය වී තිබෙනවා.

ඉන්දියාවේ රැඳී සිටි මොහු පසුගිය මස 29 වනදා මෙරටට පැමිණ ඇති අතර මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් උපයාගත් මුදල්වලින් සැකකරු ඉදි කළ බව කියන ගණේමුල්ල සහ වත්තල ප්‍රදේශයේ නිවාස දෙකක් (2) ද පසුගියදා පොලිස් භාරයට ගැණුනා ෴

+


මියගිය පුද්ගලයෙකුගේ පෙනහැල්ලේ දතක්

(27.03.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේදී ඔහුගේ පෙනහැල්ලේ තිබී දතක් සොයාගෙන තිබෙනවා.

ඒ බලන්ගොඩ මුලික රෝහලේදී.

නිව්මෝනියාව සහ වකුගඩු රෝගි තත්ත්වයෙන් පෙළුණු (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ දී මෙලෙස පෙනහැල්ලේ තිබී මෙම දත සොයාගෙන තිබෙනවා.

මිට වසර කිහිපයකට පෙර මෙම දත ගැලවී ගොස් මෙලෙස පෙනහැල්ලේ තැන්පත් වී ඇති බවයි මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරීන් අනුමාන කරනු ලබන්නේ ෴


මා ඔයේ ගිලී සිසුන් සිව් (4) දෙනෙක් ජීවිතක්ෂයට

(27.03.2024 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අලව්ව වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය සිසුන් පිරිසක් දියේ ගිලී අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී පාසල් සිසුන් සිව් (4) දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් එක් (1) සිසුවෙක් රෝහල් ගත කර ඇති බවද සඳහන් ෴

+


කෙහෙළියගේ දියණිය මානව හිමිකම් කොමිසමට

(27.03.2024 – 18:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල අද (27) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ සිය පියා අත්අඩංගුවට ගැනීමේදී අසාධාරණයක් සිදු වූ බව පවසමින්.

මේ පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන ‘චමිත්‍රි රඹුක්වැල්ල’ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

+


සහල් සහ ලූනු සඳහා පනවා තිබූ බද්ද පහළට

(27.03.2024 – 21:16 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා තිබූ රුපියල් 65 ක් වූ වෙළඳ බද්ද රුපියලක් දක්වා අඩුකර තිබෙනවා.

ඒ අද (27) සිට අප්‍රේල් 03 වැනිදා දක්වායි.

මෙය 2024 ජනවාරි 21 හෝ ඊට පෙර ආනයන පාලන බලපත්‍රය ලබාගෙන ඇති ආනයනකරුවන්ට අදාළ වනු ඇති.

එමෙන් ම ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද පනවා තිබූ බද්ද පහළ දමා තිබෙනවා.

ඒ රුපියල් 10 කින්.

2024 අප්‍රේල් 30 දක්වා මෙය වලංගු බවයි වාර්තා වෙන්නේ.

+


ජානකී සිරිවර්ධනට ඇප

(27.03.2024 – 22:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වකර්ස් චතුරශ්‍රයේ මහල් නිවාස සාදා අවසන් කර භාර නොදීම සහ ඒ වෙනුවෙන් ගෙවූ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට එරෙහිව ගැනුම්කරුවන් විසින් ගොනු කළ නඩුව අද (27) කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා.

එහිදී විත්තිකරුවන් වන අදාළ ඉන්දිය සමාගමේ අධ්‍යක්ෂක අමිත් කට්‍යාල් සහ එම සමාගමේ දේශීය අධ්‍යක්ෂකවරිය වන ජානකී සිරිවර්ධන නඩුවට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි පියවර ගැනුනේ ෴


‘පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය’ ජපානයට

(27.03.2024 – 23:12 +0530 – hirunews.lk/sinhala)

‘පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය’ කළමනාකරණය කරමින් පවත්වාගෙන යාම සඳහා ජපන් ආයෝජකයෙකු සහ නාගරික සංවර්ධන අධිකාරිය අද (27) ගිවිසුමකට අත්සන් තැබුවා.

ඒ අනුව ජපන් නගරය සහ පාවෙන වෙළෙඳපොළ නමින් පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සංවර්ධනය කෙරෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේයි.

වෙළෙඳ කුටි 92 කින් සමන්විත මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ජපන් ආයෝජකයාට වසර 30 කට බදු දෙන අතර, අද සිට මාස 6 ක් තුළ එය සංවර්ධනය කිරීමට නියමිතයි.

රුපියල් මිලියන 352 ක වියදමකින් ඉදිකළ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරුණේ, 2014 වසරේ අගෝස්තු 25 වැනිදායි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *