නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට

නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට


නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට

(27.03.2024 – 06:36 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල රුක්මලේ ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු මෙලෙස වෙඩි වැදී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) එම අවස්ථාවේදී පළා ගොස් තිබෙනවා.

ජංගම දුරකථන අලෙවිකරන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ඒ හරහා ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමේ ජාවාරමක් මෙම සිද්ධියට මුල් වී තිබුණා.

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සදහා පොල්ගහවෙල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ ඇති අතර ඔවුන්ට ඇති වූ සැකයක් හේතුවෙන් ඒ පිළිබදව පොලිසියට ද දන්වා තිබුණා.

ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ද ඔවුන් සමග ගොස් තිබුණා.

නාරම්මල රුක්මලේ ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දීමකට අනුව ඔවුන් අදාළ ස්ථානයට පැමිණීමත් සමග ඔවුන් පැමිණි මෝටර් රථයට කොල්ලකරුවන් පිරිස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් අනතුරුව පොලිස් නිලධාරීන් කොල්ලකරුවන්ට වෙඩි තබා ඇති අතර එහිදී එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මංකොල්ලය සඳහා පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා (2) ද තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

+


යුවළක් මෙරටට රැගෙන ආ සත්තු 88 ක් රේගු භාරයට

(27.03.2024 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත, සත්ත්ව රෝග පනත සහ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් තායිලන්තයේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හතළිහක් (40) පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු සමඟ තරුණ ව්‍යාපාරික යුවළක් පෙරේදා (25) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී සිදු කරන ලද වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණ ව්‍යාපාරික යුවළ වයස අවුරුදු 35 තරමේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා (2) පෙරේදා (25) පස්වරු 04:35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වාතාශ්‍රය ලැබෙන පරිදි සකස් කළ කුඩා ප්ලාස්ටික් පෙට්ටි තුළ ඉබ්බන්, ගෙම්බන්, මාළු, ඉත්තෑවන්, ලේනුන්, කැස්බෑවන්, කටුස්සන්, හැම්ස්ටර්, සැලමැන්ඩා හා තවත් පණුවන් විශේෂයක් සහ මීයන් අසුරා ගෙන පැමිණ තිබුණා.

මෙම ජීවී සතුන් තොගය තායිලන්තයේ බැංකොක් නුවර ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හෝ රේගු නිලධාරීන්ට ඇස නොගැටීම ගැටලුවක් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පවසනවා ෴


බල්ලා බේරන්න ගිහින් මෝටර් රථය ඇළේ ගිහින්

(27.03.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

නාත්තන්ඩිය – මීගමුව ප්‍රධාන මාර්ගයේ හලාවත සිට දංකොටුව දිශාවට ගමන් ගත් මෝටර් රථයක් නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ හැමිල්ටන් ඇළට වැටී පෙරේදා (25) අනතුරක් සිදුව තිබෙනවා.

එම ප්‍රදේශයේදී මෝටර් රථය ගමන් කිරීමේදී මාර්ගය හරහා සුනඛයකු පැනීමෙන් සුනඛයා බේරීමට ගත් උත්සාහයේදී මෝටර් රථය පාලනය කරගත නොහැකිව හැමිල්ටන් ඇළට වැටී ඇති බව මාරවිල පොලිසියේ රථවාහන අංශය පවසන්නේ.

මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නෑ.

දොඹකර සහිත වාහනයක් උපයෝගී කරගනිමින් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මෝටර් රථය ගොඩගැනීමට කටයුතු කර තිබෙනවා ෴


‘අතුරුගිරියේ මුතුවා’ගේ නිවසට වෙඩි

(27.03.2024 – 09:20 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිටින සංවිධානාත්ම අපරාධකරුවෙකු වන ‘දනුක අමරසිංහ’ හෙවත් ‘මුතුවා’ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.

අද (27) අලුයම නවගමුව – කොරතොට ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවකක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය වන අවස්ථාවේ නිවැසියන් එහි සිට ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

+


දර්ගා නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) පහරදුන් 4 දෙනෙකු අත්අඩංගුවට

(27.03.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කිසියම් අපරාධයන් සිදු කිරීම සදහා යමින් සිටි ත්‍රීරෝද රථ දෙකක් (2) අලු‍ත්ගම – දර්ගා නගරයේ දී පරික්ෂා කිරීමට යාමේ දී පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට (2) පහර දුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රීයේ සැකකරුවන් හය දෙනෙකු (6) පැමිණි ත්‍රී රෝද රථ දෙකක් (2) පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමට යාමේ දී ඇතිවූ බහින් බස්වීමකින් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථ වලින් පැමිණි පිරිස පොලිස් නිළධාරින්ගේ නිල ඇඳුම් ඉරා දමා පහරදී පලායාමට සූදානම් වී තිබෙනවා.

පසුව එම අවස්ථාවේ දී අවට සිටි පිරිස් සැකකරුවන් හතර දෙනෙකු (4) අල්ලා පොලිසියට භාරදී ඇති තිබෙන අතර ඔවුන් ඉදුරුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 ත් 29 ත් අතර වයස් වල පසුවන්නන්.

අදාළ ත්‍රිරෝද රථයක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය, කඩු සහ පොලු කිහිපයක් පොලිසිය සොයාගෙන තිබෙනවා ෴


දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

(27.03.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන ‘ගාල්ල කරාපිටිය – ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (27) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඇඳන් 640 ක්, ශල්‍යාගාර 6 ක්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක සහ ළමා රෝග ඒකකයන්ගෙන් එය සමන්විතයි.

ගාල්ල මහමෝදර මාතෘ රෝහල සුනාමි ව්‍යසනයට මුහුණ දීමෙන් පසු මෙම රෝහල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුණේ 2005 වසරේ දෙසැම්බර් 26 වනදායි.

මේ අතර රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇති බවයි.

+


බස් රථයක් ගිනිගනී

(27.03.2024 – 12:29 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකක් බවයි පොලසිය සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබි ඇති අතර පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සමපූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා ෴


පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වවුචරපත්

(27.03.2024 – 12:31 +0530 – hirunews.lk/sinhala)

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට (8) ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර, එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බවයි.


මීගමුවේ ‘ස්පා’ වටලයි : කාන්තාවන් දෙදෙනෙකුට (2) ඒඩ්ස්

(27.03.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53 ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට (2) එඩ්ස් වැළදී ඇති බව හෙලිව තිබෙනවා.

එසේම ඒවායේ සේවය කළ කාන්තාවන් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අතර වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක්ද සිටින බව සදහන්.

අත්අඩංගුවට ගත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුවයි ඉන් දෙදෙනෙකුට (2) එඩ්ස් වැලදී ඇති බවට හෙළි වී ඇත්තේ.

මෙම වැටලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ද සිටින බවයි.

මේ අතර, දිවයින පුරා විවිධ ස්ථානවල මේ වන විට සිඟමන් යදින බාල වයස්කාර වීථි දරුවන්ගේ සංඛ්‍යාව 30,000 කට ආසන්න බවට අධ්‍යනයකදි අනාවරණය වී තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ මෙම දරුවන් ඉන් මුදා ගැනීම සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි.

+


නිලන්ත ජයවර්ධනට නඩු පවරන්නැයි ඉල්ලීමක්

(27.03.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ‘රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන’ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන මැයි මස 28 වැනිදා කැඳවන්නැයි අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.

ඒ, අභියාචනාධිකරණය හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙම කරුණට අදාළව තවත් රිට් පෙත්සම් දෙකක් (2) අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.

මෙම පෙත්සම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම මැයි මස 28 වැනිදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළා.

සාමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඞ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් වූ දේවගේ සූරාච් නිලංග යන අය පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ‘රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන’ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් නියෝග නිකුත් කරන් ලෙසයි.

පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *