මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට

මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට


මුහුණු පොතෙන් තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ තරුණයා අත්අඩංගුවට

(25.03.2024 – 13:02 +0530 – sinhala.adaderana.lk)

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 50 ක් පමණ ඇති අතර ඒ ඔස්සේ තරුණියන් රැසකගෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

රාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණියකගේ ෆේස්බුක් ගිණුමේ වසර දෙකක (2) පමණ කාලයක් මිතුරෙකු ලෙස සිටි තරුණයෙක් ඇයට අවස්ථා කිහිපයකදීම ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට යෝජනා කර තිබුණු අතර ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතරවාරයේ එම තරුණිය සිය පෙම්වතා සමග ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද ෆේස්බුක් වෙත එක් කර තිබිණි.

එම ඡායාරූප දැක උරුණ වූ ඇයට කැමැත්තෙන් සිටි තරුණයා, ‘ව්‍යාජ කාන්තා ෆේස්බුක් ගිණුමක්’ ඔස්සේ තරුණියට පණිවුඩයක් යොමු කර තිබුණේ ඇගේ නිරුවත් ඡායාරූප ඇතුළත් වෙබ් අඩවියක Link එකක් සමගයි.

නමුත් එම Link එක විවෘත නොකළ තරුණිය එය සිය පෙම්වතාට යවා ඇත්තේ එය පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමිනි.

පසුව ඇගේ පෙම්වතා එම Link එක විවෘත කිරීමත් සමග පෙම්වතාගේ ෆේස්බුක් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වීමට සැකකාර තරුණයාට අවස්ථාව උදාවී තිබේ.

පසුව පෙම්වතා සිය පෙම්වතිය සමග සිදුකළ සංවාදයට පිවිස, දෙදෙනා හුවමාරු කරගත් තරුණියගේ ඡායාරූප බාගත කරගෙන ඒවා නිරුවත් ලෙස සංස්කරණය කිරීමට සැකකාර තරුණයා පියවර ගෙන තිබිණි.

පසුව සැකකරු එම නිරුවත් ඡායාරූප තරුණියට යොමු කරමින් ඇගේ නිරුවත් වීඩීයෝ දර්ශන ඉල්ලා ඇති බව වාර්තා වුණි.

නිරුවත් වීඩීයෝ, සැකකරුට ලබා නොදුනහොත් සංස්කරණය කරන ලද ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යය වෙත මුදාහරින බවට තර්ජනය කර තිබේ.

ඒ අනුව අදාළ තරුණිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබිණි.

ඉන් පසුව පොලිස් උපදෙස් අනුව සැකකරු අල්ලා ගැනීම සඳහා තරුණිය මාර්ගයෙන් සැකකරුට පිළියන්දලට පැමිණෙන ලෙස පණිවුඩයක් යවා තිබේ.

තරුණිය මුණගැසීම සඳහා ඉකුත් සෙනසුරාදා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණි අවස්ථාවේ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසියට හැකිවුණි.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 21 හැවිරිදි හික්කඩුව ගෝනාපිනුවල පදිංචි තරුණයෙකි.

සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිට ඇති මොහු කිසිදු පරිගණක දැනුමක් නොමැති අයෙකි.

නමුත් වෙනත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ප්‍රවේශ වීම පිළිබඳ ඔහු හදාරා ඇත්තේ අන්තර්ජාලයෙනි.

“ඉගෙන ගත්තේ Youtube එකෙන් බලලා.”

ඔහු ජා ඇළ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බව දෙමාපියන්ට පවසා අදාළ තරුණියට චොකලට් පැකට් කිහිපයක්ද රැගෙන පිළියන්දලට පැමිණ තිබිණි.

ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ තරුණියන් රැසකගෙන් මොහු ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවය.

ඒ අනුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත භාරදෙනු ලැබීය.

++++++++

මෙහෙම තර්ජනයක් ආවොත් ඔබ කළයුතු දේ මෙන්න

(25.03.2024 – 21:06 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ එල්ලවන විවිධ තර්ජනයන් සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

‘අද දෙරණ’ වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළකළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිවසේ සිටම ඊමේල් මාර්ගයෙන් එම පැමිණිල්ල සිදුකළ හැකි බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා :

“පරිගණක අපරාධමය වරදක් සිදුවුණ අවස්ථාවක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා නිවසේ සිටම. ඒකේ තියෙනවා ඊමේල් ලිපිනයක් dir.ccid@police.gov.lk මේ ඊමේල් ලිපිනයට ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 109 දුරකථනය… ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ක්‍රියාත්මක වෙනවා පැය 24 පුරාම.”

+


තම පාසලේම ලැප්ටොප් සොරකම් කළ සිසුන් කොටුවෙයි

(25.03.2024 – 13:09 +0530 – sinhala.adaderana.lk)

බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම පාසලේම සිසුන් දෙදෙනකු (2) ඇතුළු පස්දෙනෙකු (5) අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු (2), පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු (3) බව පොලීසිය කීය.

පසුගිය පෙබරවාරි මාසයේ පසළොස්වක පොහොය දින පාසලේ සුහුරු පන්ති කාමරය කඩා ලැප්ටොප් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පැවසීය.

එම පාසලේ සිසුන් දෙදෙනෙකු (2) ලැප්ටොප් යන්ත්‍ර අලෙවි කිරීමට සොයන බවට විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී , පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු (3) සම්බන්ධ කර ගනිමින් එම ලැප්ටොප් අලෙවි කිරීමට සූදානම් බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද ලැප්ටොප් 12 ක් පාදුක්ක ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබුණි.

+


කොටුවූ පාතාලයෝ

(25.03.2024 – 15:59 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී ඊයේ (24) දිනයේ සැකකරුවන් 07 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අතර ‘කුඩු සළිඳු’ගේ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු (2) වන පානදුර ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රසාද් මදුරංග කෝඳාගොඩ’ සහ මොරටුවේ පදිංචි ‘බලාපුවඩුගේ ට්‍රික්සි’ යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ද සිටී.

පොලීසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන ‘අංජුගේ කණ්ඩායමේ’ සාමාජිකයෙකු වන මොරටුව ප්‍රදේශයේ පදිංචි ‘පටබැඳිගේ සංජු තාරක’ නමැති සාමාජිකයා ද ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර ‘ගනේමුල්ල සංජීව’ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ‘නාවුරුන්පන්නගේ තරිඳු සම්පත් කුමාර’ නැමැත්තාද ඊයේ (24) මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම ‘දෙමටගොඩ චමින්ද’ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ‘අතුකෝරල කංකානම්ගේ දොන් අනිල් රංජිත්’ නමැති 38 හැවිරිදි සැකකරුවෙකුද පොලිස් විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර ‘කංජිපානි ඉම්රාන්’ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන කොලොන්නාවේ පදිංචි ‘මොහොමඩ් ඉන්හාම් මොහොමඩ් අෆ්රිඩීන්’ නමැති 26 හැවිරිදි වියේ පසුවන සාමාජිකයෙකුද වන බව පොලීසිය පවසයි.

එසේම 35 හැවිරිදි වියේ පසුවන කොටහේනේ පදිංචි ‘නිලක්ෂ මදුසංක ප්‍රේමසාර’ නමැති ‘පූකුඩිකණ්නා’ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුද ඊයේ (24) දින සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴


මෛත්‍රී CIDයෙන් පිටව යයි

(25.03.2024 – 16:22 +0530 – sinhala.adaderana.lk)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය ලබාදුනි ෴

+++++++++

මෛත‍්‍රි වසර හතකට (7) හිරේ යන වරදක් කර අවසන්.. ඔහුම පිලිඅරන්..

(25.03.2024 – 22:22 +0530 – lankacnews.com)

“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලඟ තියාගෙන ‘එය පොලීසියට දෙන්නෑ’ කීම හරහා එතුමන් හත්වසරක් (7) හිරේ යන්න වරදක් කරලා තියෙනවා” යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“ත්‍රස්ත ක්‍රියාවක් පිළිබඳ තොරතුරු සැඟවීම පිළිබඳ ජනපති සිරිසේනව අත්අඩංගුවට ගන්න කියලා අපි කිව්වාම පොලිසියෙන් කියනවා ‘අපේ ප්‍රකාශ පදනම් විරහිතයි. නීතිය අනුව එහෙම අත්අඩංගුවට ගන්න බෑ. සිරිසේන මහතාගේ ප්‍රකාශයක් අරගෙන ප්‍රකාශයෙන් හෙලි වෙන කරුණු අනුව තමයි ඒක කරන්න වෙන්නේ’ කියලා. ඒක වැරදියි.

ඔහු ලබා දෙන ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඉදිරියටත් ගෙන යනවා ද තවත් අය අත්අඩංගුවට ගන්නවා ද නඩු පවරනවා ද යනාදි වශයෙන් තීරණය කළ හැකියි. ඒ අනිත් අය ගැන. නමුත් ජනපති සිරිසේන දැනටමත් තමන් වරදක් කලා කියලා පිලිගෙන ඉවරයි. ඔහු ඉතාම පැහැදිලිව කියනවා පාස්කු ප්‍රහාරය කලේ කවුද කියලා මම දන්නවා. අධිකරණ නියෝගයක් ලැබුණොත් පමණක් මම හෙලි කරනවා කියලා. අපරාධයක් පිළිබඳ තොරතුරු දන්නා අය ඒක හෙලි කරන්නේ පොලිසියට මිස අධිකරණයට නොවේ. අධිකරණය ඉන්නේ විමර්ශන කරන්න නොවේ. උසාවියට ඉදිරිපත් කළ චුදිතයින් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන්න. විමර්ශනය කරන්නේ පොලිසිය. අපරාධයක් පිළිබඳ තමන් තොරතුරු දන්නවා නම් වහාම ඔහු පොලිසියට ඒ තොරතුරු හෙලි කළ යුතුයි. නැතිනම් එය දඬුවම් ලැබිය හැකි වරදක්. කොහෙද ඒක තිබෙන්නේ?

1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පස්වන වගන්නතිය. ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබද තොරතුරක් හෝ ඒ පිළිබද තොරතුරක් දන්න කෙනෙක් ගැන තොරතුරක් හෝ දැන ගෙන එය පොලීසියට ඉදිරිපත් නොකර සිටීම මේ පනත යටතේ වසර හතක් (7) දක්වා බරපතල සිරදඩුවම් ලැබිය හැකි වරදක්.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිතුමන් ත්‍රස්ත ක්‍රියාව ගැන තොරතුරු තමන් ලඟ තියාගෙන එය පොලීසියට දෙන් නෑ කීම හරහා එතුමන් හත්වසරක් (7) හිරේ යන්න වරදක් කරලා තියෙනවා. පොලිස්පත්තුමනි නීතිය පැහැදිලියි. දැන්වත් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන්ව අත්අඩංගුවට අරගන්න. එය පොලීසිය සතු පැහැර හරින්න බැරි වගකීමක්.

සාමාන්‍යෙයන් නම් කියන්නේ ‘කියන්න පෙර සිතා බලනු’ කියයලිය. නමුත් සිරිසේන මහත්තය නම් ඉතිහාසය පුරාම ‘ප්‍රකාශය කරල තමයි හිතන්න පටන් ගත්තේ’. එතුමා කිසිම නමක් කිසිම දෙයක් ගැන තොරතුරක් හෙළිකරාවි කියලා මම නම් හිතන් නැ. නීතියේ නව පිටුවක් පෙරළමින් කැබිනට් ඇමතිකෙනෙක් අත්අඩංගුවට ගත්තා. වත්මන් පොලිස්පතිවරයා ගැන අපි සතුටු වෙනවා කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගන්න පොලිසිට හැකියාව තිබීම ගැන . හිටපු ජනපති කෙනෙක් අත්අඩංගුවට ගෙන පොලීසියේ ස්වාදීනත්වය සහ පෞර්ෂත්වය පෙන්නනාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මහජන ආරක්ෂාව භාර අමාත්‍යතුමන් දිගින් දිගටම කිව්වා ‘පාස්සකු ප්‍රහාරය ගැන අප සොයාගත් තොරතුරු වලට අනුව දැනටමත් විශාල පිරිසකට නඩු දාලා තියෙන්නේ. අපි නොදන්නා දෙයක් ඔබ දන්නවා නම් පොලීසියට කියන්න’ කියලා. ඉන් පසු ප්‍රහාරය ගැන කයිවාරු ගසමින් හිටිය බොහෝදෙනෙක් නිහ‌ඬ වුනා. ඔන්න දැන් සිරිසේන මහත්තයා දන්න කෙනෙක් විදිහට ඉදිරියට ඇවිත්. කවුරු හරි එතුමාව ඉස්සරහට තල්ලු කරාද දන් නැ.

කොහොම නමුත් මාධ්‍යවලටත් මෙහි ගෞරවය හිමිවෙනවා. මොකද මාධ්‍ය ප්‍රශ්න ඇහුවේ නැත්නම් මේ රහස රැකගෙන සිරිසේන මහත්තයා මිය යන තුරුම ඉන්නවා.”

++++++++++

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *