STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට

STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට


STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට

(21.03.2024 – dinamina.lk)

පාතාල වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවෙකු ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී STF නිලධාරීන්ටවෙඩිතබා තිබේ.

එහිදී STF සාමාජිකයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් අදාළ සැකකරු මිය ගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පසුගිය 09 වන දින ජා-ඇළ, දඬුගම බස්වත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු බව වාර්තා වේ.

සැකකරු 28 හැවිරිදි ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු හමුදා සේවයෙන් පළා ආ අයෙකු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


දෙවැනි පියවර මත්පැන් – පොලිස්පති

(20.03.2024 – 21:07 +0530 – sinhala.adaderana.lk)

පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කළ පසු මත්පැන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ වසර 2025 වනවිට පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කරන්නට සැලසුමක් ඇති බවය.

“මේ රටේ පාතාලයයි මත්ද්‍රව්‍යයි… 2025 අවුරුද්ද ලබද්දී ඔය දෙකම මේ රටේ මිනිසුන්ගේ මනසින් මම අයින් කරලා පෙන්වනවා. පොලීසියත් පොලිස් විශේෂ කාර්ය බළකායත් මුලුමනින්ම පාතාලය සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව මම පෙළගස්වනවා අනෙක් වැඩ සියල්ල පසෙක තබා…. ඉදිරි කාලයේදී. සම්පූර්ණ ශක්තියම යොදවලා මම මේක නැති කරලා තමයි අනෙක් වැඩවලට අත තියන්නේ. කරන්න තව වැඩ ගොඩක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ පවුල් ජීවිත… දරුවන්ගේ අනාගතය.. විනාශ වෙන්න බලපා තිබෙන දේවල් තමයි මත්පැන් පානය. දෙවැනි පියවරේදී ඒවට අතගහනවා.”

+


කාන්තා පොලිස් නිලධාරිනිය ‘බූම් ට්‍රක්’ රථයකට යටවෙයි

(20.03.2024 – 21:20 +0530 – sinhala.adaderana.lk)

කාන්තා පොලිස් නිලධාරිනියක් අද (20) සවස ‘බූම් ට්‍රක්’ රථයකට යටවීමෙන් මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ දොඩංගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් දමයන්ති වීරසූරිය නමැති පොලිස් කාන්තා නිලධාරිනියකි.

ඇය රාජකාරී නිමවා මලබඩ හන්දියේදී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.

එහිදී ඇය මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයේ ගැටී තිබේ.

බරපතළ තුවාල ලබා සිටි ඇයව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයේ ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අධිකරණයට අපහාස කළැයි නඩුව අවසන් වන තෙක් නීතිඥයා රිමාන්ඩ්

(21.03.2024 – 06:41 +0530 – hirunews.lk/sinhala)

විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ නීතිඥවරයකුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කර තිබෙනවා.

‘ජයතුංග පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත ජයතුංග’ නමැති නීතිඥවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. අධිකරණයට අපහාස කිරීම සහ නීතිඥ වෘත්තීය ආචාර ධර්ම කඩකිරීම යටතේ චෝදනාපත්‍ර දෙකක් (2) ඔහුට එරෙහිව කඩිනමින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරුණා.

එම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානසික විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරිණි.

එසේම මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර තිබෙනවා.

අනතුරුව අප්‍රේල් මස 03 වැනිදා නැවත ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන ලදි.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියමයන් සිදු කෙරුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුපුරුදු පරිදි නඩු විභාග පවතින අතරතුර අදාළ නීතිඥවරයාගේ දේපොළ ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් ඔහුම අධිකරණය හමුවේ පෙනී සිටිමින් පෞද්ගලිකව කරුණු දැක්වීම සිදු කර තිබෙනවා.

එහිදී ඔහු කියා සිටියේ මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බැවින් මෙම විනිසුරු මඬුල්ලට එම නඩුව විභාග කිරීමට හැකියාවක් නැති බවත්ය.

වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවට එම නඩුව යොමු කරන ලෙස ඉල්ලා සිටින බව ද අදාළ ඉල්ලීම ඇතුළත් මෝසමක් අධිකරණයට ගොනු කර ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

අනතුරුව දිගින් දිගටම ඔහු විනිසුරු මඬුල්ලට බාධා වන අයුරින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නීතිඥවරයාගෙන් විමසා සිටියේ “මෙම විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් තමන් දක්වන ස්ථාවරය වෙනසක් තිබේද?” යන්නය.

එහිදී විත්තිකාර නීතිඥවරයා පවසා ඇත්තේ “මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මෙම විනිසුරුතුමන්ලා ව්‍යවස්ථාපිත යුතුකම් චේතනා‍න්විතව කඩ කිරීම යටතේ මෙම විනිසුරුවරුන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවා.” යනුවෙන් ය.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විමසා ඇත්තේ “තමන් අගවිනිසුරුතුමාටත් එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙනවාද?” යන්නය

විත්තිකාර නීතිඥවරයා සඳහන් කර ඇත්තේ “ඔව් මම අගවිනිසුරුවරයාට එරෙහිව නඩු දෙකක් (2) මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළා.” යනුවෙනුයි.

මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විත්තිකාර නීතිඥවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවන් ලබා දී ඇති බවය.

එහෙත් ඔහු එම අවස්ථාවන් වැරදි ලෙස භාවිත කරන බව ද විත්තිකාර නීතිඥවරයා නීතිපතිට විරුද්ධ නඩු දෙකක් (2) ගොනුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය ෴


මංගල ගමන්වාරයේදී බස් රථයට එල්ලවූ ප්‍රහාරයකින් රියදුරාට බරපතළයි

(20.03.2024 – dinamina.lk)

වවුනියාවේ සිට කොළඹ දක්වා ගමන් ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථයක පලමු (1) ගමන් වාරය යෙදුණු ඊයේ (19) ශ්‍රාවස්තිපුර, සුදු පාලම අසලදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එම බස් රථයේ රියදුරා බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස බර පතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, අනුරාධපුර ශාවස්තිපුර , ආමනේ ප්‍රදේශයේ පදිංචි බී.එම්. සෙනරත් බණ්ඩාර නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.

රාත්‍රී කාලයේ හෝ දිවා කාලයේ ධාවනයේදී එම 57 මාර්ගයේ කිසිදු සුඛෝපභෝගි බස් රථයක් ධාවනය නොවීම හේතුවෙන් ජනතාවගෙන් ලැබුණු දැඩි ඉල්ලීම මත මෙම බස් රථය ධාවනයට එක් කර ඇති බවද අනාවරණය වේ.

ඊයේ (19) අලුයම තුනට (03:00) පමණ ශ්‍රාවස්තිපුර , සුදු පාලම අසල දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරු හෝ පිරිසක්, රේල් පීලි වලට යොදන යකඩ ඇනයකින් ප්‍රහාර එල්ල කර ඇති බවද පොලිසිය කියයි.

මෙම ප්‍රහාරයත් සමග බස් රථය ඉදිරිපස වීදුරුව සිදුරු කරමින් රියදුරුගේ මුහුණට යකඩ ඇණ ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ගොස් ඇති බවද රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

බස් රථයේ මංගල ගමන් වාරය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දුරකථන අංක පල කිරිමෙන් අනතුරුව ආසන වෙන් කරවා ගැනීමට ඇමතූ පුද්ගලයෙකු අනුරාධපුර නව නගරයෙන් කොළඹට ආසනයක් කරවා ගෙන, ඇති බවත් ඔහු නොපැමිණීම හේතුවෙන් බස් රථයෙන් දුරකථන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී, බස් රථය තිබෙන ස්ථානය දැන ගෙන මෙම ප්‍රහාරය සූදානම් කර ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි.

බස් රථය ධාවනය නොකරන ලෙසටත්, ගිනි තබන බවටත් දුරකථන ඇමතුම් ලැබී තිබූ බව ආවරණය වූ බවත්, ඊට සම්බන්ධ දුරකථන අංක ඔස්සේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය ෴


කොරියාවට යවනවා කියා රුපියල් ලක්ෂ 30 ක් වංචා කිරීම දමිතාට-සැමියාට ඇප දුන්නාට CID විරෝධය

(21.03.2024 – dinamina.lk)

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (20) විරෝධය පළ කළේය.

ඔවුන් දෙදෙනාට එරෙහිව ආගමන විගමන පනත යටතේ වැරදි අනාවරණය වන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කී පොලිසිය දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය සම්බන්ධයෙන් විරුද්ධ වන බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ඔවුන් දෙදෙනා (2) අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් සිදු කර තිබූ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 27 වැනිදා තෙක් කල් තබන බව මහේස්ත්‍රාත‍්වරයා දන්වා සිටියේය ෴


කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමට සැකසූ දළ පනත් කෙටුම්පත අධිකරණ ඇමැති අතට

(21.03.2024 – dinamina.lk)

කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට සකස් කළ දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට භාරදීම ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විය. ශ්‍රි ලංකේය කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නව පනත් කෙටුම්පතක් සකස් කෙරිණි. එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත් මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් දුන්නේය. කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමෙන් කලාකරුවන්ගේ වෘත්තීයමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සඳහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් කළයුතු බව අධිකරණ ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතාගේ මුලිකත්වයෙන් ප්‍රවීණ කලාකරුවන් විසින් දළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා කලාකරුවන්ට තම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නව දළ කෙටුම්පත සකස් කිරීම පිළිබඳව විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් හා යෝජනා ගැනීමේ සාකච්ඡා අවස්ථා කීපයකදී පැවැත්විණි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, ප්‍රවීණ කලාකරුවන් වන සමන් ද සිල්වා, රොහාන් ද සිල්වා, නදීකා ගුණසේකර, මනීෂා ශ්‍යාමලී, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණ මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *