‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය

‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය


‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය

(20.03.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala)

‘එට්කා ගිවිසුම’ මෙරට රැකියා වෙළෙඳපොල ඉන්දියාවට විවෘත කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක් බව ‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ පවසනවා.

කොළඹ දී අද (20) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සම්මේලනය පැවසුවේ ගිවිසුමට එරෙහිව ජනතා අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි.

+


අපේක්ෂා රෝහලේ අවශ්‍යම යන්ත්‍රයක් බිඳවැටෙයි

(20.03.2024 – 14:38 +0530 – sinhala.adaderana.lk)

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය පෙබරවාරි 29 වනදා සිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා භාවිත කරන ‘ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය’ පෙබරවාරි 29 වනදා බිඳ වැටී ඇති අතර එය මේ වනතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පැවසීය.

ඒ හේතුවෙන් දිනකට කුඩා දරුවන් 10-15 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව සඳහන් ය.

පිළිකා රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් මෙම පිළිකා ප්‍රතිකාරක ලබාගැනීමට රුපියල් ලක්ෂ 7-17 ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවද ඔහු පැවසීය ෴


විශේෂ මෙහෙයුමෙන් කොටු කරගත් පාතාල සාමාජිකයෝ

(20.03.2024 – 10:38 +0530 – sinhala.adaderana.lk)

අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) රාත්‍රී සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘කෙසෙල්වත්තෙ දිනුක’ යන අයගේ සමීපතමයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම ‘කංජිපාන ඉම්රාන්’ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන ‘අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන්’ නොහොත් ‘ගෝඩා රිස්වාන්’ යන සැකකරු ද හෙරොයින් මිලිග්‍රෑම් 6,400 ක් සමග මාළිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඊට අමතරව කජිමා වත්ත ක්‍රීඩාංගණය අසලදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,620 ක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘පූකුඩිකන්නා’ගේ ගෝලයකු වන ‘මුණවිර අරච්චිලගේ සුසන්ත’ නැමැති සැකකරුවෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ ෴


කෙහෙළියට දුන් සැප වාහනේ පත්තුවෙයි

(19.03.2024 – 19:27 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට රැගෙන ඒමට, බන්ධනාගාරයට ළමයින් ප්‍රවාහනයට යොදාගන්නා වෑන් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම වෑන් රථය දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල’ මගින් පරිත්‍යාග කෙරුණු වෑන් රථයකි.

එම වැන් රථය අමාත්‍යවරයාව අධිකරණයට රැගෙන ඒමට යොදාගැනීම සම්බණ්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් ය.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ දිනයේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් බස් රථ නොතිබුණු බැවින් එම වෑන් රථය යොදාගත් බවට නිලධාරීන් දැනුම්දුන් බවයි.

+


අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ‘ලන්ච්ෂීට්’ කිලෝග්‍රෑම් 5377 ක් විනාශ කෙරේ

(20.03.2024 – 20:00 +0530 – hirunews.lk/sinhala)

‘මධ්‍යම පරිසර අධිකාරිය’, ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 5377 ක් පුත්තලම ප්‍රදේශයේ කර්මාන්තශාලාවකදී ඊයේ (19) විනාශ කරනු ලැබුවා.

මෙහිදී නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය පැවරූ නඩු 12 කට අයත්, නඩුභාණ්ඩ ලෙස ගබඩාකර තිබූ නීතිවිරෝධී පොලිතීන් ලන්ච්ෂීට් මෙලෙස විනාශ කළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

අදාල නඩු අවසන් වනතෙක් දොම්පේ සනීපාරක්ෂක කසළ රඳවනයේ මුද්‍රාතබා නඩු භාණ්ඩ ලෙස තැම්පත් කර තැබූ මෙම ලන්චිෂීට් තොගය ඊයේ (19) මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේයි විනාශ කරනු ලැබුවේ.

එමෙන්ම පරිසර සංරක්ෂණය උදෙසා පනවා ඇති නීති රෙගුලාසි නිසි ලෙස පිළිපදිමින් පරිසරය සුරැකීම සියලුදෙනාගේ වගකීමක් කොට සළකා පරිසර සුරක්ෂිතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴


දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් නව සන්ධානයක් එළි දකී : ‘මානුෂීය ජනතා සන්ධානය’

(20.03.2024 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් අද (20) නව සන්ධානයක් එළිදක්වනු ලැබුවා.

මානුෂීය ජනතා සන්ධානය ලෙස එය නම් කර ඇති අතර පක්ෂ සහ සිවිල් සංවිධාන 22 ක් සමග ගිවිසුම් ගත වීමද මෙහිදී සිදු කෙරුණා.

‘එක්සත් ලංකා පොදු ජන පක්ෂය’ වෙනුවෙන් අජන්ත හේවගේ, ‘එක්සත් කොංග්‍රස් පක්ෂය’ වෙනුවෙන් නායක අබ්දුල් මජීර්, ‘ජාතික පෙරමුණ’ වෙනුවෙන් එහි නායක රංජිත් පීරිස් ඇතුලු පක්ෂ කිහිපයක් සන්ධාන ගත වූ පක්ෂ අතරට අයත්.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රවුෆ් හකීම්, පී. දිගම්බරම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

‘මානුෂීය ජනතා සන්ධානය’ ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ජනතාව ඒකරාශී කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවයි.

++++++++

+


‘Money Bouquet’ තෑගි දෙන අයට දඬුවම්

(20.03.2024 – 21:36 +0530 – hirunews.lk/sinhala)

නෝට්ටු විකෘති කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ වර්තමානයේ නව ප්‍රවණතාවක් ලෙස දැකිය හැකි විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම උදෙසා වලංගු මුදල් නෝට්ටු භාවිතා කිරීමත්, ඊට සමාජ මාධ්‍ය තුළ ලබා දී ඇති ඉහළ ප්‍රවර්ධන දායකත්වයත් සැලකිල්ලට ගනිමින්.

එම ප්‍රකාශයෙන් දැඩිව අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය පිළිබඳ සම්මතයන් ඉක්මවා යන්නන් හට දැඩි දඬුවම් හිමිවන බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනය පහතින් :


IMF නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

(20.03.2024 – 23:04 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින එම අරමුදලේ නියෝජිත පිරිස අද (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කළා.

එම සාකච්ඡාවට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් නියෝජනය කරමින් පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වෙත විපක්ෂයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ ගන්නා සෑම පියවරක්ම රට බංකොළොත්භාවයෙන් මුදා ගැනීමටත් ආයෝජන සවිමත් කිරීමටත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හේතු විය යුතු බවයි.

රටෙන් හරි අඩකට ආසන්න පිරිසක් දුප්පත් වී ඇති තත්ත්වයක් තුළ කුටුම්භවල ආදායම් මට්ටම ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ළදරුවන්, ගැබිනි කාන්තාවන්, මව්වරුන්, ලක්ෂය 41 ක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වයක් වර්ධනය වී ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය මැඩපවැත්වීම සඳහා ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ සහය අවශ්‍ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස IMF නියෝජිතයින් වෙත අවධාරණය කළේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට තමන් කළ යෝජනාවට ආණ්ඩුව මීට පෙර ප්‍රතිචාර දැක්වූවා නම් වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය නිර්මාණය නොවන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ මාර්ග සිතියමට සහ ඉලක්කවලට තම පක්ෂය එකඟ නමුත් ඇතැම් යෝජනා සංශෝධනය විය යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

ආදායම් ලබාගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවටත් එය ජනතාවට පීඩාවක් නොවන සමාජ සාධාරණත්වය ඇති කළ හැකි ආකාරයෙන් සිදුකළ යුතු බවටත් විපක්ෂ නායකවරයා පැහැදිලි කළා.

දේශපාලන ආවරණ ලබා ගන්නා ව්‍යාපරිකයින් මෙන්ම කළු කඩ ව්‍යාපාර තුළින් රටට අහිමි වන ආදායම යළි ලබාගැනීම සඳහා වූ ක්‍රමවේදයක් ඇතිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කර රට බංකොළොත්භාවයෙන් මුදාගෙන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් තුළට පිවිසීමේ වැදගත්කම තම පක්ෂය අවබෝධ කරගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා IMF නියෝජිතයින් වෙත පෙන්වා දුන්නේ.

එමෙන්ම විපක්ෂ නායකවරයා පැවසුවේ යම් ණයක් අවභාවිත කර ඇත්නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමටත් ඊට වගකිව යුතු පාර්ශ්වයන්ට නීතියම ක්‍රියාමාර්ග ගැනීමටත් පැකිළීමකින් තොරව ක්‍රියාකරන බවයි.

රටේ සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී ඇති බැවින් විශේෂයෙන් අඩු ආදායම්ලාභී ජනතාව සඳහා වූ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ කිසිදු බලපෑමකට යටත් නොකොට පුළුල් පරාසයකට ප්‍රතිලාභ ලැබෙන සේ ක්‍රියාත්මක කළ යුතු බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *