යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු අඹුසැමි යුවළක් අත්අඩංගුවට

යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු අඹුසැමි යුවළක් අත්අඩංගුවට


රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

(17.03.2024 – 20:29 +0530 – sinhala.adaderana.lk)

යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (17) පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර අඹුසැමි යුවළ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම පුරුෂයා වෘත්තීයෙන් ආර්ථික විද්‍යා ගුරුවරයෙකි.

යුක්‍රේන හමුදාවේ රැකියා ලබාදෙන බව පවසා ඔවුන් මෙරටින් පිටත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55 කි.

යුද හමුදාවේ සේවය කළ පිරිසක්ද ඒ අතර වන අතර යුක්‍රේන හමුදාවේ කපිතාන්වරයෙක් වශයෙන් සේවය කර දැනට මියගොස් සිටින රනීෂ් හේවගේ නැමැත්තාගේ සම්බන්ධීකරණයෙන් අදාළ පිරිස එවකට යුක්‍රේනයට යැවීමට සැකකරුවන් පියවර ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටත්වන පිරිස් ඉන්දියාව හරහා පෝලන්තයට යොමුකර ඉන් පසු යුක්‍රේනයට ඇතුළු කර ඇති බවය.

එලෙස පිටත් කරවන එක් අයෙකුගෙන් ජාවාරම්කරුවන් රු. ලක්ෂ 2 ත් 5 ත් අතර මුදලක් අය කරගෙන ඇති බවද අනාවරණ කරගෙන තිබේ.

මෙරටින් පිටත්ව ගිය අය අතුරින් පිරිසක් යුක්‍රේනයට ගොස් ඇති අතර පෝලන්තයට ඇතුළුවීමට නොහැකිව යළි මෙරටට පැමිණි අයද වෙයි.

විමර්ශකයින් පෙන්වා දෙන්නේ තවත් පිරිසක් අසර්බයිජානයට ගොස් ඇතැයි වාර්තා පළවන නමුත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවය.

එමෙන්ම යුක්‍රේන හමුදාවේ සේවයට ගිය පිරිස අතුරින් තිදෙනෙකු (3) මියගොස් ඇති බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි ‘තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය’ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

+


සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(18.03.2024 – 14:05 +0530 – sinhala.adaderana.lk)

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් අද (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴


මහ බැංකු අධිපතිගේ කැරට් අලය අමු වැඩිලු.. දිරවන්න අමාරුලු.. – උදය ගම්මන්පිල

(19.03.2024 – 08:40 +0530 – lankacnews.com)

‘අත්තනෝමතිකව වැටුප් වැඩි කර ගැනීමට නොහැකි වීමටත් අපි ඉදිරිපත් කළ පනතට බය වෙලා මහ බැංකුව වැටුප් අඩු කර ගන්න තීරණය කරලා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“මහ බැංකුව සිය නිලධාරින්ට වැඩි කළ අසාමාන්‍ය වැටුප් වැඩිවීම අහෝසි කරන්නත් ඉදිරියට අත්තනෝමතිකව වැටුප් වැඩි කර ගැනීමට නොහැකි වීමටත් අපි ඉදිරිපත් කළ පනතට බය වෙලා අපිව නතර කරන්න 25% කින් වැටුප් අඩු කර ගන්න තීරණය කරලා. මහ බැංකු අධිපතිතුමනි, ඒ කැරට් අලය නම් අමු වැඩියි. දිරවා ගන්න අමාරුයි. 25% කින් වැටුප් අඩු කරගෙන අපිව රවට්ටලා මේ උත්සාහ කරන්නේ අපේ පනත සම්මත වෙන එක වලක්වන්නයි.

70% වැටුප් වැඩි කිරීම අපට දැවැන්තව පෙනුනත් මහ බැංකුවේ මෑත ඉතිහාසයේ සිදු වුණු අඩුම වැටුප් වැඩිවීම පසුගිය අවස්ථා දෙකේ දී වැටුප් වැඩි කරගෙන තිබෙන්නේ 73% කින් සහ 93% කින්. මේ පනත සම්මත වුණොත් නැවත කවදාවත් මේ වගේ දැවැන්ත වැටුප් වැඩි කර ගැනීම් කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තුව රවටලා මේ පනත පමා කර ගත්තොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනවා. මේ සිද්ධිය අමතක වෙනවා. අත්තනෝමතික ලෙස වැටුප් වැඩි කර ගැනීමේ අයිතිය සදාකාලයටම මහ බැංකුවට හිමි වෙනවා. තෙල් සංස්ථාව, විදුලිබල මංඩලය, වරාය 25% – 30% වැටුප් වැඩකර ගැනීමේ පුරුද්දක් තිබුණා. ආර්ථික අර්බූදය නිසා ආණ්ඩුව මේක නතර කලා. නමුත් මහබැංකුවට මේ අත්තනෝමතික බලය පනතකින් ලබාදීලා තියෙනවා.

හේලීස්, ජෝන් කීල්ස් වැනි සමාගම් සම්පත්, කොමර්ෂල් වැනි බැංකු සිය සේවකයින්ට 100% කින් වැටුප් වැඩි කළත් අපි විරුද්ධ නෑ. මොකද ඒ ආයතන සතුව තිබෙන්නේ සේවකයින් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරපු සල්ලි. මහ බැංකුව ලාභ උපයන්නේ පාර්ලිමේන්තුව පනතකින් ලබා දුන් ඒකාධිකාරියක් තුලයි. මුදල් අච්චු ගහන්න වෙන කාටවත් බෑ. රජයේ දළ විදේශ සංචිත කලමනාකාරණය වෙන කාටවත් බෑ. බැංකු තමන් ලඟ මුදල් තැන්පත් කළ යුතුයැයි විධාන නිකුත් කරන්න වෙන කාටවත් බෑ. ඒකාධිකාරියෙන් උපයන ලාභ අයිති මහජනයාටයි කියන එක අපි මහ බැංකුවට සිහිපත් කරනවා.”

+


ජේතවනාරාම ස්ථූපයේ පැලුම් කිහිපයක් (18.03.2024)

+


කපුවන් දෙදෙනාට (2) රුහුණු මහා කතරගම දේවාලය තහනම් කෙරේ

(19.03.2024 – 07:12 +0530 – hirunews.lk/sinhala)

රුහුණු මහා කතරගම දේවාලයට ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැහැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් දෙදෙනා (2) ගේ ‘කපු ධුරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් ඊයේ (18) පියවර ගෙන තිබෙනවා.

ඒ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ ‘සොමිපාල තිඹිලත් රත්නායක’ සහ ‘මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත’ යන අයගේ තනතුරු විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවයි ඔහු නිවේදනයක් මඟින් සඳහන් කරන්නේ.

ඒ අනුව ඊයේ (18) සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු හෝ වක්‍රාකාරයෙන් හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අදාල චෝදනාව එල්ලවී තිබෙන කපුවන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණා ෴


මෙවරත් වැඩිම තේ මිල මාතරින්

(19.03.2024 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මෙවරත් දිවයිනේ වැඩිම තේ මිල මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ තේ කම්හල් අමු තේ දළු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 285 ක් ගෙවා ඇති බවයි තේ මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 11 කුඩා තේ වතු හිමියන් ලක්ෂ 5 කට අධික පිරිසක් තේ වගාවේ නිරතව සිටිනවා ෴


කොළඹ, ගම්පහ, රත්නපුර ඇතුලු දිස්ත්‍රික්ක රැසක අදත් (19) උණුසුම ඉහළට

(19.03.2024 – 09:20 +0530 – hirunews.lk/sinhala)

වයඹ, උතුරුමැද, නැගෙනහිර යන පළාත්වලට මෙන්ම කොළඹ, ගම්පහ, රත්නපුර, මොනරාගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අද (19) දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වසරේ (2024) මේ දක්වා වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 ඊයේ (18) කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතිනවා.

නමුත් ඊයේ (18) කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබුණා.

අධික උණුසුම් කාලගුණ තත්වය හමුවේ පළමු (1) පාසල්වාරයේ පැවැත්වීමට සැළසුම් කර ඇති වාර්ෂික ක්‍රීඩා උත්සව, තරග ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් කල් දැමීමට අදාළ උපදෙස් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (18) යලි නිකුත් කර තිබුණා.

මේ අතර පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ප්‍රධාන ජල මූලාශ්‍ර 18 ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම තවත් මාස දෙකක් (2) සඳහා ප්‍රමාණවත් බවද මුර ක්‍රමය යටතේ ජල සම්පාදන ක්‍රම 16 ක ජලය සැපයීම සිදුකරන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

එමෙන්ම බේරුවල, අලු‍ත්ගම, නිවිතිගල, නාරම්මල, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, අංකුඹුර, මීවතුර, පුස්සැල්ල, රත්තොට, හැටන්, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර යන ප්‍රදේශ සඳහා ද මුර ක්‍රමයට ජලය සපයනු ලබනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශවලින් දිනකට මිලිමීටර 08 ක පමණ ඝනත්වයෙන් යුතු ජල ධාරිතාවක් වාෂ්ප වන බවයි මධ්‍යම පළාත් කලාප වාරිමාර්ග කාර්යාලය සදහන් කළේ ෴


පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු ‍පාසල් සඳහා දැනුම් දීමට දුරකථන අංක

(19.03.2024 – 09:22 +0530 – hirunews.lk/sinhala)

රජයේ සියලු‍ පාසල් සිසුන් වෙත 2024 වර්ෂය‍ට අදාළව පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බවත්, ඒ අනුව සියලු‍ පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල්පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු‍ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ‍වෙත මේ වනවිටත් ලබාදී අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේ වෙතත්, මෙතෙක් පාසල් පෙළපොත් සහ නිල ඇදුම් රෙදි නොලද කිසියම් පාසලක් වෙතොත් ඒ පිළිබද පහත දුරකථන අංක අමතා හෝ ෆැක්ස් හෝ ඊමේල් මඟින් වහාම දැනුම් දෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ විදුහල්පතිවරුන් වෙත දන්වා සිටිනවා. ඒ අනුව,

පෙළපොත් සඳහා :
දුරකථන අංක – 011 278 4815 / 011 278 5306
ෆැක්ස් – 011 278 4815
විද්‍යුත් ලිපිනය –
epddistribution2024@gmail.com

නිල ඇදුම් රෙදි සඳහා :
දුරකථන අංක – 011 278 5573
ෆැක්ස් – 011 278 5573
විද්‍යුත් ලිපිනය –
schoolsupplymoe@gmail.com


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්

(19.03.2024 – 10:28 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ අනු කමිටුව විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ සහ වෙනත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව නිර්දේශ සහිත වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 160 දෙනෙකු මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් තෝරා ගැනීමටත් ඉතිරි 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතිකව හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමටත් බහුතරයගේ එකඟතාව පළ වී ඇති බව සඳහන්.

ඒ අනුවයි අදාළ අනු කමිටුවේ වාර්තාව ද සැළකිල්ලට ගෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *