රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට

රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට


රට වටේම මත්ද්‍රව්‍ය බෙදූ ‘කරාටේ ධම්මික’ අත්අඩංගුවට

(18.03.2024 – 21:23 +0530 – sinhala.adaderana.lk)

ප්‍රදේශ ගණනාවකට ‘අයිස්’ සහ ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම් කරුවෙකු වන ‘කරාටේ ධම්මික’ නැමැත්තා සහ ඔහුගේ ගෝලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19 යි මිලිග්‍රෑම් 200 ක් ද පොලීසිය සොයාගෙන ඇත.

එසේම එහිදී ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක්, දුරකථන කිහිපයක් සහ සිම් කාඩ්පත් කිහිපයක් ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාම (2) යුද හමුදාවෙන් ඉවත්ව සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

දඹුල්ල මූලසථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොළ මහතාට ලද තොරතුරකට අනුව මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම සිදුකළ අවස්ථාවේ සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන් යටකර පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොරබැදීමක් ද සිදුව ඇත.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ප්‍රධාන සැකකරුට කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර පහක (5) බරපතළ වැඩ සහිත අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇති බවද අනාවරණය වී ඇත.

එසේම T-56 ගිනි අවියට යොදන පතොරම් ගැබ් 10 ක් සහ ජීව උණ්ඩ 44 ක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද වාර්තා වී තිබේ.

එසේම මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ද සැකකරුට එරෙහිව කෑගල්ල අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බවද අනාවරණය වී ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දකුණේ පාතාල ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවයක් ඇත්ද යන්න පිළිබඳව සොයාබැලීමට මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


තරුණ හිමිනමක් අපවත් වෙති

(18.03.2024 – 21:41 +0530 – sinhala.adaderana.lk)

තබ්බෝව ජලාශයේ දියේ ගිලී තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබේ.

මෙලෙස අපවත්වී ඇත්තේ රජරට භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය සංඝානන්ද හිමි බවට අනාවරණය වී ඇත.

හබරාදුව කොග්ගල තලාතුඩුව විවේක සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් වන හිමිනම වනාතවිල්ලුව ශ්‍රී ධර්මරාජ විහාරය වෙත පැමිණ සිටියදී විහාරස්ථ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග තබ්බෝව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙම ඉරණමට මුහුණ දී ඇති බවට වාර්තා වෙයි.

හිමිනමගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (19) සිදුකිරීමට නියමිත අතර කරුවලගස්වැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


මෙරට ධීවරයින්ට හදිසි අනතුරු ඇඟවීමක්

(18.03.2024 – 20:15 +0530 – sinhala.adaderana.lk)

අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ.

ඒ පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේදී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමගය.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කොල්ලකරුවන් පිරිසක් ඉරාන යාත්‍රාවක් රැගෙන අදාළ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවය ෴


වැඩිකරගත් වැටුප ගැන මහ බැංකු සේවකයින් ගැනීමට යන තීරණය

(18.03.2024 – 19:40 +0530 – sinhala.adaderana.lk)

තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ මහ බැංකු වෘත්තිය සමිති ඊට විරෝධය පළකර ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් 70% කින් පමණ වැඩිකර ගැනීම හා ඒ වෙනුවෙන් මාසිකව අමතර රුපියල් මිලියන 232 ක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වුණි.

එවන් පසුබිමක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට මහ බැංකු ප්‍රධානින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද පසුගියදා කැඳවනු ලැබීය.

+


රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් වරාය සිරවෙයි

(18.03.2024 – 19:32 +0530 – sinhala.adaderana.lk)

රේගු නිලධාරීන් ආරම්භකර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ ඇතුළත් බහාලුම් තුන්දහස් පන්සියයක් (3500) පමණ මේ වනවිට දින හතරක (4) සිට කොළඹ වරායේ සිරවී ඇති බව වාර්තා වෙයි.

රේගු නිලධාරීන් මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, රේගු ත්‍යාග අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමිනි.

රේගු ත්‍යාග අරමුදල යොදාගනිමින් රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කරයි.

එම අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවත්, එය අසාධාරණ බවත් පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් අතිකාල සේවයෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට මාර්තු 15 වනදා පස්වරුවේ සිට එළැඹුණි.

මේ අතර, මෙවැනි තීරණාත්මක සමයක් තුළ ක්‍රියාත්මක කර ඇති රේගු වර්ජනය හේතුවෙන් සැලකිය යුතු ව්‍යාපාරික අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇතැයි ආනයන හා අපනයන ක්ෂේත්‍රයේ පිරිස් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දැනුම්වත් කර තිබේ.

එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ, වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නැව්ගත කිරීම් සඳහා ප්‍රවේශයක් නොමැතිව තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ කර්මාන්ත ශාලා මෙහෙයුම් නවතා දැමීමට සිදුව ඇති බවද ජනාධිපතිවරයා වෙත ඔවුන් යොමුකළ ලිපියේ සඳහන් වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ඒ අනුව ජනපතිවරයා ලබාදුන් උපදෙස් මත ගැටලුව සම්බන්ධයෙන් හෙට (19) දිනයේ වෘත්තිය සමිති සමඟ යළි සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

+


අනියම් පෙම කෙළවර වූ හැටි – දෙදෙනාටම බරපතළයි

(18.03.2024 – 19:18 +0530 – sinhala.adaderana.lk)

ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉංගිරිය, පෝරුව දණ්ඩ, පැල්පිටිගොඩ පදිංචි කාන්තාවක් සහ හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.

ඊයේ (17) පෙරවරු 10 ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමරයක් වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැයකට (1) පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී මඳ වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව එම කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලීසිය කියයි.

අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එම සිද්ධිය වී පැයක් (1) යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාරේ කැලෑබද ප්‍රදේශයක ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවට ඉංගිරිය පොලීසිය ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් එම පුද්ගලයාව ද ‘1990 සුවසැරිය ගිලන් රථයෙන්’ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම (2) බිරිඳගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත ෴


හෙරොයින් ජාවාරම්කරුට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

(18.03.2024 – 18:31 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් ග්‍රෑම් 2.42 ක් තම සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.

අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන්නේය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි ෴


ගාල්ල බන්ධනාගාර ජේලර්ගේ නිවසට මල් වඩමක්

(18.03.2024 – 17:45 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකුගේ නිවස ඉදිරිපිට මල් වඩමක් සහ ඉටි පන්දමක් යමෙකු විසින් තබා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එම සිද්ධිය අද (18) උදෑසන වාර්තා වී තිබුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ අදාළ ජේලර්වරයා ගාල්ල බන්ධනාගාරයේ විනය අංශයේ සේවය කරන නිලධාරියෙක් බවයි.

ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසිකරන පාර්සල් කිහිපයක තිබී ජංගම දුරකථන 13 ක් සහ දුම්කොළ මෙම නිලධාරියා විසින් සොයාගෙන ඇති බවත් ඊයේ (17) සවස ද පිටතින් විසිකළ පාර්සලයක් මෙම නිලධාරියා විසින් සොයාගෙන තිබුණි.

ඒ අවස්ථාවේ රැඳවියෙක් එම නිලධාරියා සමග බහින්බස් වීමක් ඇතිකර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙයි.

මෙම සිද්ධියට මුහුණදුන් නිලධාරියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගෙන ඇති බවද දිසානායක මහතා පැවසීය ෴


ජල මූලාශ්‍ර 18 ක් අවදානම් තත්ත්වයේ

(18.03.2024 – 17:37 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18 ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය මෙම අදහස් පළකළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙස ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම තවත් මාස දෙකක් (2) සඳහා ප්‍රමාණවත් බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය පැවසුවේ මුර ක්‍රමය යටතේ ජල සම්පාදන ක්‍රම 16 ක ජලය සැපයීම සිදුකරන බවය.

බේරුවල, අලුත්ගම, නිවිතිගල, නාරම්මල, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, අංකුඹුර, මීවතුර, පුස්සැල්ල, රත්තොට, හැටන්, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර යන ප්‍රදේශ සඳහා මේ අයුරින් මුර ක්‍රමයට ජලය සපයනු ලබයි.

මේ අතර වාද්දුව, ඇහැළියගොඩ සහ රදම්පළ ප්‍රදේශ සඳහා මේ වනවිට අඩු පීඩන තත්ත්වයෙන් ජල සැපයීම සිදුවන බැවින් එම ප්‍රදේශ සඳහා බවුසර මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි ෴


විදුලිබල මණ්ඩලයෙන් නව ගෙවීමේ ක්‍රමයක්

(18.03.2024 – 16:09 +0530 – sinhala.adaderana.lk)

නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25 ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතී ෴


මොරටුවේදී කාන්තාවක් මරුට

(18.03.2024 – 16:05 +0530 – sinhala.adaderana.lk)

මොරටුව ඉඳිබැද්ද බැක්වත්ත ප්‍රදේශයේදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඝාතනය සිදුකළ පුද්ගලයා මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවී ඇති බවටය.

මීට මාස කිහිපයකට පෙර මෙලෙස ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටියදී අභිරහස් ලෙස මියගියේය.

මියගිය සැමියාගේ ඥාතියෙකු විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි ෴


හොර පාස්පෝට් හැදූ බවට සැක ලොක්කාට ලැබුණු නියෝගය

(18.03.2024 – 16:02 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකුට රටින් පළායාම සඳහා විදෙස් ගමන් බලපත්‍ර සකසාදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පාලකවරයා ඇප මත මුදාහැර තිබේ.

සැකකරු අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ වර්තමානයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත උසස් නිලධාරියෙකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *