ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න

ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න


ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කරන්න

(15.03.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

පවතින වියළි කාලගුණය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, කෑගල්ලේ සහ කුරුණෑගල පවුල් තුන්දහසකට (3000) දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය 15% ක පමණ අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලු‍ආරචිචි කියා සිටියේ, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06 කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බවයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඇය ඉල්ලා සිටියා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ වියළි කාලගුණයත් සමග පානීය ජල ගැටලු‍ ඇත්නම් 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.

මේ අතර, වියළි කාලගුණ තත්ත්වයත් සමග ජලාශවල ජල මට්ටම් සියයට 70 ක පමණ ප්‍රමාණයකට පහළ බැස ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ වුව ද අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ හැකියාවක් පවතින බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ෴


රජයේ වී ගබඩා තවමත් වසා ඇත

(15.03.2024 – 21:18 +0530 – hirunews.lk/sinhala)

වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 50 ක මුදලක් වෙන් කර ඇති පසුබිමක වුවත් අනුරාධපුර පොළොන්නරුව ඇතුළු බොහෝ ප්‍රදේශවල වී අලෙවි මණ්ඩලවල ගබඩා තවමත් වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් පෞද්ගලික වී මෝල් අසළ අද (15) දැඩි තදබදයක් දක්නට ලැබුණා.

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී සති කිහිපයක් ගතවන තුරුත් රජය වී මිලදී ගැනීම සඳහා කටයුතු කිරීම දිගින් දිගටම ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් මේ වනවිට රජය වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50 ක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව වී මිලදී ගැනීම සඳහා රජය සහතික මිලක් ද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 105 ක්, සම්බා වී කිලෝවක් රුපියල් 120 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල්130 ක් ලෙස මිල දී ගැනීමටයි යෝජනා කෙරුණේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු අද (15) ආරම්භ කෙරුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා වී අලෙවි මධ්‍යස්ථාන 33 ක් පිහිටා ඇතත් අද (15) දින වී මිලදී ගැනීම සඳහා විවෘත කර තිබුණේ නොච්චියාගම ගබඩාව පමණයි.

එම ගබඩාවටත් වී අලෙවි කිරීම සඳහා කිසිදු ගොවියෙකු අද (15) පැමිණ සිටියේ නැහැ.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා කිසිදු රජයේ වී ගබඩාවක් මෙතෙක් විවෘත කර නැහැ.

එවන් පසුබිමක පෞද්ගලික වී මෝල් අසළ අද (15) දැඩි තදබදයක් දැකගත හැකි වුණා.

රජයේ සහතික මිල ඉක්මවා යමින් මේ වනවිට පෞද්ගලික අංශය වී මිලදී ගැනීම සිදුකරන අතර ඒ අනුව ගොවීන් බොහෝ පිරිසක් රජයේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීම වෙනුවට පෞද්ගලික වී මෝල් වෙත වී අලෙවි කිරීමටයි පෙළඹී ඇත්තේ.

+


කොටුව පොලිස් මූලස්ථානය පොලිසියට අහිමි වෙයි

(15.03.2024 – 23:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මෙතෙක් පිහිටි කොටුව චෛත්‍ය පාරේ සිට, කොම්පඤ්ඤ විදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල වෙත යාමේ කටයුතු අද (15) ආරම්භ කෙරුණා.

ඒ අනුව ගුවන් හමුදාවට අයත් එම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසිය වෙත පැවරීමේ පැවරීමේ ගිවිසුම් අත්සන් කිරීම සහ නිල වශයෙන් පැවරීම සිදු වුණේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ගුවන් හමුදාපති එයා මාෂල් උදේනි රාජපක්ෂ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අයගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ, පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කැලුම් තිලකරත්න සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන), එයා වයිෂ් මාෂල් මනෝජ් කැප්පෙටිපොල විසින්.

ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ගොඩනැගිල්ල පැවරීමේ කටයුතු සිදු කෙරුණු අතර එය ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතරයි සිදු කෙරුණේ ෴


වනඅලි ප්‍රහාරයෙන් විදෙස් ජාතිකයෙක් මරුට

(15.03.2024 – 16:07 +0530 – sinhala.adaderana.lk)

පොතුවිල් සංගමන්කන්ද ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (15) උදෑසන සංගමන්කන්ද මනචේනි කැලෑවල ප්‍රදේශයේ දී අදාළ විදෙස් ජාතිකයා වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු බව සඳහන්ය.

ඔහු එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අයෙකු බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මැදවච්චිය ලිදවැව ප්‍රදේශයේදී ද වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

වගා කටයුතු සිදුකරමින් සිටික අතරතුර ඔහු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය ෴


සමූහ ඝාතනයෙන් බේරුණු ධනුෂ්ක සුවය ලබයි

(15.03.2024 – 19:00 +0530 – sinhala.adaderana.lk)

කැනඩාවේ ඔටාවා නුවරට තදාසන්න බාහීවන් ප්‍රදේශයේ සිය නිවසේ දී ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ‘ධනුෂ්ක වික්‍රමසිංහ’ අද (15) රෝහලෙන් පිටව යාමට නියමිතව තිබේ.

මේ අතර, ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ ඔටාවා සමූහ ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික තරුණයා ඔටාවා අධිකරණය හමුවට දෙවැනි (2) දිනටත් ඉදිරිපත් කෙරුණි.

දුරකථනය ඔස්සේ සැකකරු අධිකරණය හා සම්බන්ධ වූ අතර නඩු විභාගය පැවතියේ මිනිත්තු 4 ක කාලයක් පමණයි.

කැනඩා මාධ්‍ය වාර්තා කළේ, මූලික විමර්ශනවලදී ඔටාවා පොලිස් නිලධාරීන්ට වැරදුණු වින්දිතයින්ගේ නම්වල දෝෂ නිවැරදි කිරීමට පියවර ගෙන තිබුණත් චෝදනාවල කිසිදු සංශෝධනයක් සිදුව නොතිබූ බවය.

මෙම නඩුව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටියත් සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා අධිකරණයට රැගෙන ආවේ නැහැ.

ඔහු නීති කෘත්‍යයට සම්බන්ධ වූයේ දුරකථනය ඔස්සේය.

මේ වන විට ඔටාවාහි කාලෙටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සැකකාර ‘ෆෙබ්‍රියෝ ද සොයිසා’ පළමුවෙන් අධිකරණය හමුවේ තම අනන්‍යතාව ප්‍රකාශ කළේය.

නමුත්, සිය නම සහ උපන්දිනය කෙඳිරිලි හඬින් පවසද්දී, විශෝධන නිලධාරියා ඔහුට පවසා තිබුණේ, එය පැහැදිලිව උස් හඬින් පවසන ලෙසය.

සැකකාර ‘ෆෙබ්‍රියෝ ද සොයිසා’ට සාපරාධි මිනිමැරුම් චෝදනා 06 ක් සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවක් එල්ලව තිබුණත්, මෙම කිසිදු චෝදනාවක් ඊයේ (14) අධිකරණය ඉදිරියේ යළි කියවා නැත.

සය (6) පුද්ගල ඝාතනයේ දෙවැනි (2) දින නඩුව මිනිත්තු හතරකට (4) සීමා වූ අතර, යළි නඩු විභාගය ලබන 28 වනදා පැවැත්වෙනු ඇත.

නීති කෘත්‍යයෙන් පසු අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටි මාධ්‍යවේදීන් විත්තිකරුගේ මානසිකත්වය නඩුවේදී නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කරන්නේද සහ සිදුවු දේ ගැන ඔහුට අවබෝධයක් තිබේදැයි විත්තියේ නීතිඥවරයාගෙන් කළ විමසීමේදී ඔහු ඊට පිළිතුරු ලබාදී නැත.

විත්තියේ නීතීඥ එවන් ලයිට්ල් :

“ඔහු ආරක්ෂිත රැඳවූම් භාරයේ සිටින්නේ. ඔහු එහි හොඳින් සිටිනවා. මම ඔහු වීඩියෝ මාර්ගයෙන් මෙන්ම පුද්ගලිකවත් හමුවුණා.”

ප්‍රශ්නය – සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ ඔහුට අවබෝධයක් තියෙනව ද?

“සමාවන්න, මට ඊට පිළිතුරු ලබාදෙන්න බැහැ. මම ඔහුගේ පවුලේ අය සම්බන්ධ වුණා. ඔවුන් මේ පිළිබඳ දැඩි කනගාටුවකින් ඉන්නේ.”

කෙසේවෙතත් කැනඩා නීතී විශාරදයින් පවසන්නේ සැකකරුගේ මානසික තත්ත්වයේ ඇගයීමක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවය.

ඔටාවා සරසවියේ නීති අංශයේ, මහාචාර්ය ඩැෆේන් ගිල්බර්ට් :

“මේ අපරාධ සිද්ධියේ ස්වභාවය සැලකූවිට සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ කැපීපෙනෙන ඇගයීමක් සිදුකිරීම අවශ්‍ය යැයි පෙනී යනවා. මෙහි සංකීර්ණ බව සැලකූ විට එවැන්නක් සිදුකිරීම අත්‍යවශ්‍යයි. එසේ සම්පූර්ණ වාතාවරණය හෙළිදරව් කරගැනීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකියි.”

මේ අතර ඝාතනයට ලක්වූ ලාංකික පවුලේ සමාජිකයින්ගේ අවසන් කටයුතු ලබන ඉරිදා (17) සිදුකිරීමට නියමිතය.

+


Online දුම්රිය ආසන වෙන්කිරීමේ අවුලක්

(15.03.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk)

දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.

කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් අද (15) මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.

ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.

මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *