‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?

‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?


‘ව්‍යාජ ස්ටිකර්’ ඇල්ලුවේ අල්ලස් මුදල් ලබා නොදුන් නිසාද?

(14.03.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ‘ව්‍යාජ ස්ටිකර්’ අත්අඩංගුවට ගත්තේ මත්පැන් නිෂ්පාදකයන් සහ ඇතැම් සුරාබදු නිලධාරීන් අතර වූ අභ්‍යන්තර මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින්.

එහිදී ඔහු සඳහන්කර සිටියේ ව්‍යාජ ස්ටිකර් ජාවාරම පවත්වාගෙන යෑම සඳහා ඇතැම් නිලධාරීන්ට ගෙවිය යුතු අල්ලස් මුදල් ලබානොදීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව වැටලීම් කළ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක් :

“පසුගිය සතියේ සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව සිදුකළ වැටලීම්වල තොරතුරු එළියට දුන්නේ නෑ. ඒකට හේතුව තමයි මේ වැටලීම් සිදුකළේ මේ ආයතන බයකරලා යම් මුදලක් ලබාගැනීමේ අරමුණින් වීම. ගෙවිය යුතු මුදල් නොලැබීම නිසා මේවා අල්ලලා ඊට පස්සේ යටින් මුදල් ගනුදෙනුවක් එක්ක සැලසුමක් හදාගන්නවා ‘මේවා සමථකරණයට ලක් කරලා ප්‍රශ්නය විසඳලා දෙන්නම්’ කියලා. ගිය පාර කළෙත් මේකමයි. කිසි ලෙසකින් අපි මේවා සමථකරණය යටතේ නිදහස් කරන්න දෙන්නෙ නෑ. හරිනම් අල්ලපු උදවියව ඉදිරිපත් කරන්න ඕනේ නීතිය හමුවට. තාම ඒ නිෂ්පාදකයන් ඉදිරිපත් කරලා නෑ.”

++++++++++

+


මාස 2 ට පරිගණක වංචා 423 ක්

(14.03.2024 – 07:49 +0530 – hirunews.lk/sinhala)

අන්තර් ජාල ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල පවසා තිබෙනවා.

මෙම වසරේ (2024) ගතවූ මාස දෙකේ (2) දී පරිගණක වංචා 423 ක් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.

අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා මෙන්ම ‘ක්‍රිප්ටෝ කරන්සි’ හරහා සිදුවන වංචා ද ‘පිරමීඩ වංචා’වල ද වැඩිවීමක් දක්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

2023 වර්ෂයේදී අන්තර්ජාල වංචා 1609 ක් වාර්තා වී ඇති අතර අන්තර්ජාල ඔස්සේ සිදුවන අපරාධ ඇත්නම් ඒ ගැන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ 101 ට පැමිණිලි කළ හැකි බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර අංශය සඳහන් කළේ ෴


‘සමන් කොල්ලා’ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

(14.03.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන, ‘සමන් කොල්ලා’ නැමැත්තාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහුගේ අම්බලන්ගොඩ – ඉඩම්තොට පිහිටි නිවසටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

එම වෙඩි පහරින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.

+


හම්බන්තොට සුපිරි හෝටලයක සාදයක දි ආසාත්මිකතාවයකින් 170 ක් රෝහලේ

(14.03.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක පැවති මංගල සාදයකට සහභාගි වූ එකසිය හැත්තෑ දෙදෙනකුට (170) ආසන්න පිරිසක් ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

එම සාදයට 280 ක පමණ පිරිසක් එක්ව තිබෙනවා. කෙසේවෙතත් ආසාත්මිකතාවයට ලක් වූ 14 දෙනෙකු දෙබරවැව මූලික රෝහලේත්, 18 දෙනෙකු ලු‍ණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේත්, තවත් 30 දෙනෙකු අම්බලන්තොට රෝහලේත් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයෙකුගේ මංගල සාදයකදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙස හම්බන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ඉල්ලීම් කර තිබෙනවා.

+


ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න අනතුරට ලක්වෙයි

(14.03.2024 – 09:22 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴

+++++++

අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ඔහුට නින්දයෑමත් සමග ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අද (14) උදෑසන සිදුවූ අනතුරකින් ලහිරු තිරිමාන්න, ඔහුගේ පවුලේ අය සහ ලොරි රථ රියදුරා තුවාල ලබා අනුරාධපුරය රෝහලට ඇතුලත් කෙරුනා. (14.03.2024 – facebook.com/accident1stofficial/)

+++++++

+


ක්ෂය රෝගීන් වාර්තාවීම සියයට 14 කින් ඉහළට

(14.03.2024 – 07:51 +0530 – sinhala.adaderana.lk)

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළේ, මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිසායා කාදර් මහත්මිය මේ බව සඳහන් කළාය.

“අපි මේ රෝග තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරනවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතිනවා. ඒ වගේම තමා ප්‍රතිකාර සඳහා රෝහල්වල අවශ්‍ය සියලු පහසුකම් සලසා තියෙනවා. ඒ වගේම 2035 වන විට මේ රෝගය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතිනවා. ඒ තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා රෝගීන් වීම අපි 90% කින් අවම කරගන්න ඕනේ, ඒ වගේම මරණ සංඛ්‍යාව ඇති වීම 95% කින් අවම කළ යුතුයි. ඒ වගේම ක්ෂය රෝගියෙක් සඳහා දරන පිරිවැය අවම කිරීමත් මෙයින් අපේක්ෂා කරනවා.”

+


යුද හමුදා ලුතිනන්වරයෙකු මත්කුඩු එක්ක මාට්ටු

(14.03.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා ලුතිනන්වරයෙකු මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදි පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහු සන්තකයේ හොරයින් මත්කුඩු ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ බවයි පොලිසිය සඳහන් කළේ ෴


ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම රාජ්‍ය අමාත්‍යවරියක් පැහැර හරී

(14.03.2024 – 12:09 +0530 – hirunews.lk/sinhala)

පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක (9,00,000) මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට වාර්තා වනවා.

නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887 වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල මෙලස ගෙවීම පැහැර ඇති බවයි වාර්තා වන්නේ.

එම රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව නවගමුව පෙරහර මෙසේ සජීවී ලෙස විකාශනය කර තිබුණා.

මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිප වතාවක්ම සිහිකැඳවීම කර ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළා ෴


කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන මස 19 සහ 20 වෙනිදා විවාදයට

(14.03.2024 – 12:32 +0530 – hirunews.lk/sinhala)

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන මස 19 සහ 20 වෙනිදා විවාදයට ගැනීමට අද (14) පැවතී පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එමනේම විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීම 20 වෙනිදා සවස 04:30 ට පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ ෴


දුම්රිය ආසන වෙන් කිරීම අද (14) සිට ඔන්ලයින් පමණයි

(14.03.2024 – 12:46 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ආසන වෙන් කිරීම අද (14) සිට සම්පූර්ණයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව දුම්රිය දොපර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ස්ථාන මගින් ආසන වෙන් කර ගැනීමට පහසුකම් සලසා දී තිබෙනවා.

එමෙන්ම දුම්රිය ආසන වෙන් කර ගැනිමේ පද්ධතිය මගින් දින 30 කට පෙර ආසන වෙන්කිරීම මෙතෙක් පෙරවරු 10 ට ආරම්භ වුවත් ආසන වෙන්කිරීම අද (14) සිට පෙරවරු 7 සිට ආරම්භ කරන බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉදිපොළගේ ප්‍රකාශ කළේ.

එමෙන්ම රජයේ සේවකයන්ගේ බලපත්‍රවලට ආසන වෙන් කිරීමේ දී කිසිදු සිමාවක් පනවා නොමැති බවද ඔහු සදහන් කළා ෴

+++++++++

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසේ

(14.03.2024 – 16:15 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ආසන වෙන් කිරීම සම්පූර්ණයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට විරෝධය පළ කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානම් වනවා.

එම සංගමය සඳහන් කළේ තම නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

එම සාකච්ඡාවේ තීරණය මත අද (14) පස්වරු 4 ට වෘත්තිය ක්‍රියාමාර්ගය අරම්භ කරන බව ද එම සංගමය ප්‍රකාශ කළා ෴


දරු දෙදෙනා (2) ඝාතනය කළ පියා සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි

(14.03.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේදී පියෙකු තම දරුවන් දෙදෙනා (2) ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 15 සහ 29 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනෙක්.

ඝාතනය සිදු කළ ඔහු අනතුරුව සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

63 වියෙහි පසුවන පියා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා මියයයි

(14.03.2024 – 13:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිටි අවසන් පිරිමි සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසනවා.

ඒ, රිදියගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට එම සීබ්‍රා සත්ත්වයා රැගෙන ඒමෙන් අනතුරුවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ සත්ත්වයා රැගෙන ඒමේදී අධි මාත්‍රාවෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් මෙම සත්ත්වයා මියගොස් ඇති බවයි.

+++++++++

https://www.youtube.com/watch?v=PoVDg7WYGsY

++++++++++

+


අක්කර පහක (5) රජයේ ඉඩමක් පර්චසය රුපියල් දහසකට (1000) තක්සේරු කර ඉඩම් කොමිසමේ නිලධාරීන් බෙදාගනී

(14.03.2024 – 11:20 +0530 – lankacnews.com)

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වටිනා ඉඩමකින් අක්කර පහක (5) ප්‍රමාණයක් ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ’ නිලධාරීන් අතරේ බෙදාගෙන ඇති බවට චෝදනා එල්ල වෙයි.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ අරඹා ඇත.

අදාළ ඉඩමේ අක්කර පහක (5) කොටසක් මෙම නිලධාරින් අතර බෙදාගෙන ඇත්තේ පර්චසයක් රුපියල් දහසකට (1000) තක්සේරු කරමින් බවද ලැබී ඇති පැමිණිල්ල කියා සිටී.

මාතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් තිස්තුන් (33) දෙනෙකුගේ නමට මෙම ඉඩම පවරාගෙන ඇත්තේ එක් නිලධාරියෙකුට පර්චස් විස්ස (20) බැගින් වන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *