සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන අත්අඩංගුවට

(13.03.2024 – 20:55 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ‘වෛද්‍ය තුසිත සුදර්ශන’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලීන්’ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ ‘වෛද්‍ය තුසිත සුදර්ශන’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත්වී ඇති බවයි ෴

++++++++

+


මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්

(13.03.2024 – 20:27 +0530 – sinhala.adaderana.lk)

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සිට දින 14 ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් එම දින 14 තුළදී මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතුවෙයි.

එසේම මෙම කාලසීමාව තුළදී කුරුණෑගල සිට මීරිගම දක්වා ගමන්කරන රථවාහන මෙලෙස අලුත්වැඩියාව සිදුකරන කොටසේ එක් මංතීරුවකට පමණක් රිය ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි ෴


රබර් වත්තක සිරුරක්

(13.03.2024 – 19:29 +0530 – sinhala.adaderana.lk)

මාතර වැලිගම උඩුකාව ප්‍රදේශයේ රබර්වත්තක තිබී කැපුම් තුවාල සහිතව සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (13) ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබේ.

වැලිගම පොලිස් නිලධාරින් සිදුකළ පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගලයාගේ කලිසම් සාක්කුවේ තිබී මුදල් හා මුදල් බැංකුගත කළ රිසිට් පතක් සොයා ගැනුණි.

මියගිය පුද්ගලයාගේ කකුලේ සහ පපු ප්‍රදේශයේ කැපුම් තුවාල තිබූ බවද වැලිගම පොලීසිය පැවසීය.

මෙම පුද්ගලයාගේ අනන්‍යඥතාව මෙතෙක් අනාවරණ වී නොමැත.

+


පාසල්වලට යළිත් දැනුම්දීමක්

(13.03.2024 – 19:16 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික උණුසුම් කාලගුණය මත පාසල් දරුවන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබියදී අදත් පාසල් දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා යොමුකර තිබෙනු දක්නට ලැබුණි.

මෙම හේතුවෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට යළිත් ලිපියක් යොමුකර තිබේ.

ඉන් අවධාරණය කර ඇත්තේ පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම විදුහල්පතිවරුන්ගේ වගකීම බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිස්ත්‍රික්ක කිහිපයකටම තවදුරටත් මෙම උෂ්ණ අධික කාලගුණ තත්ත්වය අවදානම් මට්ටමේ පවතින බවය.

ඒ අනුව අද (13) දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 35 කට ආසන්න උෂ්ණත්වයක් වාර්තා වුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.9 ක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර බස්නාහිර, සබරගමුව, උතුරුමැද සහ දකුණ යන පළාත්වලත් වව්වනියාව, මන්නාරම සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් අද (13) පැවතුණේ අවධානම් සහිත උෂ්ණාධික කාලගුණයකි.

+


දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුට දුන් දඬුවම

(13.03.2024 – 16:49 +0530 – sinhala.adaderana.lk)

බාලයවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට නුවරඑළිය මහාධිකරණය වසර 10 ක බරපතළ සිරදඬුවම් නියම කර තිබේ.

මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 52 හවිරිදී වියේ පසුවන නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා මෙම නියෝගය ලබාදී තිබුණි.

සැකකරු විසින් අතවර කළ බවට එම දැරියගේ මව්පියන් විසින් 2011 වර්ෂයේ දී නානුඔය පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි.

සිය නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා සැකකරුට නියෝග කළේ වින්දිත එවකට පාසල් දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ගෙවන ලෙසටය.

එම මුදල නොගෙවන්නේ නම් සැකකරුට වසර 3 ක අමතර සිර දඬුවමක් ද නියම කළේය.

එසේම අධිකරණය වෙත රුපියල් 15,000 ක දඩයක් ගෙවන ලෙසට නියෝග කළ අධිකරණය එය නොගෙවන්නේ නම් අමතරව මාස 03 ක සිර දඬුවමක් ද චූදිතයාට නියම කළේය.

වසර 13 තිස්සේ විභාග වෙමින් තිබූ නඩුවේ විත්තිකරුට එරෙහිව ලැබී තිබූ සාක්ෂි සලකා බලා අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය ෴


මහ බැංකුවේ පඩි කපන යෝජනාව භාරදෙයි

(13.03.2024 – 16:19 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙනඑනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදී තිබේ.

මෙය 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එයි.

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගැනීම අනිවාර්යය කිරීම මෙහි අරමුණු වෙයි.

මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාර ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බවය.


වනඅලි ප්‍රහාරයකින් මවක් මරුට

(13.03.2024 – 14:49 +0530 – sinhala.adaderana.lk)

වනඅලියෙකු කඩාපැනීම හේතුවෙන් කුඩා දරුවෙකු සමග තවත් නිවසකට දුව යමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය ඊයේ (12) රාත්‍රියේ මඩු කට්ටෙඅඩප්පන් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කට්ටෙඅඩප්පන් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සිය සැමියා සහ දරුවා සමග එම නිවසේ පදිංචිව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවා ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇත ෴


8 වන ශ්‍රේණියට අලුත් වෙනසක්

(13.03.2024 – 14:29 +0530 – sinhala.adaderana.lk)

පාසල්වල 8 වැනි ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා වු තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාව හඳුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එහි නියමු ව්‍යාපෘතිය එළැඹෙන මාර්තු 19 වන දා පාසල් 17 ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය එක්ව සිටින අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් (100) සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ ෴


‘ෆේස්බුක් පෙම්වතා’ කරලා තියෙන හරියක්

(14.03.2024 – 06:49 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණි කාන්තාවක් රවටා ඇය සතු රුපියල් ලක්ෂ දොළහකට (12,00,000) ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇය හා සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට වසර දෙකකට (2) පෙර ඕමානයේ ගෘහ සේවයට ගොස් තිබුණු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ මෙම පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

තමන් යුද හමුදා සාමාජිකයකු බව කියමින් මෙම කාන්තාව හා සම්බන්ධතාව පවත්වාගෙන ගොස් අතර මෙම පුද්ගලයා පසුගියදා රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ එම කාන්තාව රැගෙන යාමටයි.

පසුව මෙම කාන්තාව සමගින් කොළඹට පැමිණි මෙම පුද්ගලයා ඇයගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ද රැගෙන ඇය මහනුවර ප්‍රදේශයට රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

තමන්ට යුද හමුදා කඳවුරට යා යුතු බව කියමින් මෙම කාන්තාවව ගල්ගමුව ප්‍රදේශයට කැටුව විත් කිසියම් බීමක් ලබාදී ඇය සිහිසුන්කර රුපියල් ලක්ෂ හතහමාරක (7,50,000) මුදලක්ද, රන් මාලයක් හා අත්පඳනා දෙකක් (2) ද ජංගම දුරකතන දෙකක් (2) ද රැගෙන පලා ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *