ඉන්දියාවෙන් එන මත්ද්‍රව්‍ය බාරගන්න ලංකාවේ ප්‍රධානියා කවුද?

ඉන්දියාවෙන් එන මත්ද්‍රව්‍ය බාරගන්න ලංකාවේ ප්‍රධානියා කවුද?


ඉන්දියාවෙන් එන මත්ද්‍රව්‍ය බාරගන්න ලංකාවේ ප්‍රධානියා කවුද?

(06.03.2024 – 19:22 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය රුපියල් කෝටි 108 ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් යාත්‍රාවක්, පසුගිය මාර්තු 04 වනදා රාත්‍රියේ තමිල්නාඩුව ආසන්න මුහුදේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, සැකකරුවන් තිදෙනෙකු (3) ද සමගින්.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, එම මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකිකයෙකුට භාරදීමට සූදානම් කර තිබූ බවය.

එහි තිබී සොයාගත් ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 99 කි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, අදාළ මත්ද්‍රව්‍ය තොගය ‘පම්බන්’ වෙරළතීරයේ සිටින අයෙකුගෙන් ලබාගෙන එය ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන නාඳුනන පුද්ගලයෙකු වෙත භාරදීමට නියමිතව තිබූ බවය.

ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව අත්අඩංගුවට ගැනුණු එම මත්ද්‍රව්‍ය ජාලයේ මහා මොළකරු තමන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන ජාවාරමකට සම්බන්ධ බවට පිළිගෙන තිබූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

මේ අතර දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳව ද පසුගියදා අනාවරණය වුණි.

ඒ අනුව ඉන්දිය බුද්ධි අංශ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඉන්දීය රුපියල් කෝටි 180 ක වටිනාකමකින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනක් (2) අත්අඩංගුවට ගැනුණි.

එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ මදුරෙයි හි දුම්රියක ප්‍රවාහනය කරමින් තිබියදී සහ චෙන්නායිහි කසළ අංගනයක විසිකර තිබියදීය.

ඒවා මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙවන් පසුබිමක දකුණු ඉන්දියාව කේන්ද්‍ර කරගත් මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරු ‘දමිළ සිනමාපට නිෂ්පාදක ජෆර් සාදික්’ නම් පුද්ගලයා බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය අනාවරණ කරගෙන තිබේ.

‘ජෆර් සාදික්’ සහ ඔහුගේ සොහොයුරා, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය කිලෝ 3,500 ක් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු ලෝකයේ රටවල් රැසකට අලෙවි කර ඇති බව වාර්තා වෙයි.

බලධාරීන්ට අනුව මෙලෙස අලෙවි කළ රසායන ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 2,000 කි.

ඔවුන් මෙම රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබුණේ ‘සෞඛ්‍යට හිතකර පිටි වර්ගයක්’ සහ ‘වියළන ලද පොල්’ ලෙස හුවා දක්වමිනි.

මෙම අනාවරණයත් සමඟ ‘චිත්‍රපට නිෂ්පාදක ජෆර් සාදික්’ සහ ඔහුගේ සමීපතමයන් අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

‘ජෆර් සාදික්’, තමිල්නාඩුවේ පාලක DMK පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වන අතර මෙම අනාවරණය මුල්කරගෙන ඔහු පක්ෂයෙන් නෙරපා හැර තිබේ.

+++++++++++

+


උඩප්පුව සිද්ධියේ පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

(06.03.2024 – 19:16 +0530 – sinhala.adaderana.lk)

උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තාවකාලිකව ඔහුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඊයේ (05) රාත්‍රියේ සිදුවී තිබූ මෙම පහරදීමත් සමග හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලීසිය කැඳවීමටද පියවර ගැනුණි.

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රි 09:30 ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරය.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු වීඩියෝගත කර තිබේ.

උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු (2) සමග ඔහු පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමිනි.

පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු (2) උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් (1) පුද්ගලයෙකු හලාවත මහ රෝහලට මාරුකර යවා තිබුණි.

සිද්ධියෙන් පසු තමාට ද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද ඊයේ (05) රාත්‍රියේ උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබුණි.

අනතුරුව අද (06) උදෑසන ඔහු රෝහලේදීම අත්අඩංගුවට ගැණුනු අතර ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පියවර ගෙන තිබේ.

එමෙන්ම මෝටර් රථයේ සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනාද (2) අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, පහරදෙන අවස්ථාවේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීමට රුධිර සාම්පල් ලබාගෙන ඇති බවය.

++++++++++++

+


හුංගම වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මරුට

(06.03.2024 – 16:53 +0530 – sinhala.adaderana.lk)

හුංගම කහදමෝදර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු (1) මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (06) උදෑසන කාලයේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරුකර යැවීමේදී මියගොස් ඇත.

ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

කාන්තාවක් සමග පැවැති අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මරණකරු සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

හුංගම පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

මියගිය පුද්ගලයා ‘ධීවර යාත්‍රාවක ස්කීපර්වරයෙක්’ වන අතර තිදරු පියෙකි.

වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ ධීවරයා හා සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එය හේතු කොටගෙන දෙදෙනා අතර කලක පටන් ආරවුල් තිබූ බවත්ය.

මෙම පුද්ගලයා ධීවර රැකියාවට ගොස් මීට දින දෙකකට (2) පමණ ඉහතදී යළි පැමිණ සිටියදී මෙලෙස ඝාතනය වී තිබේ.

ඔහු අද (06) පෙරවරු 10:30 ට පමණ මුදල් තැන්පත් කිරීම සඳහා රන්න නගරයේ පිහිටි බැංකුවට යාමට නිවෙසින් පිටත්වී තිබුණි.

ඔහු යතුරුපැදියෙන් ගොස් ඇති අතර ඔහුට ඉදිරියෙන් තවත් යතුරුපැදියකින් මිතුරෙකු ද ගොස් තිබුණි.

ඔහු එනතුරු මඟ රැක සිටි අයෙක් වෙඩිතැබීම කර ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩිතැබීම වන අවස්ථාවේදී ස්කීපර්වරයාට ඉදිරියෙන් ගිය යතුරුපැදිකරු, යතුරුපැදිය සහ හැඳ සිටි සරමද අතහැර දිවගොස් තිබුණි.
එම යතුරුපැදිය වෙනත් පුද්ගලයකුගෙන් ඉල්ලාගත් එකක් වන අතර වෙඩික්කරු වෙඩිතැබීමෙන් පසු එම යතුරුපැදිය රැගෙන ගොස් එහි හිමිකරුට බාරදී පිටව ගොස් ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රන්න කහදමෝදර ගමේම පදිංචි ‘බෝපසිදු’ නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන පුද්ගලයකු ඝාතන සැකකරු ලෙස හඳුනාගෙන තිබේ.

එම සැකකරු මීට ඉහතදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූවකු බවද පොලීසිය කියයි.

++++++++++

+


‘මන්නා රමේෂ්’ කොටුවෙයි

(06.03.2024 – 14:46 +0530 – sinhala.adaderana.lk)

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘මන්නා රමේෂ්’ නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී තිබේ.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි ‘මන්නා රමේෂ්’ නමැත්තා ඩුබායිහි සැඟව සිටින බව වාර්තා විය.

ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබුණි.

+


15 හැවිරිදි දැරියක්ව රවටා අපහරණය කළ තරුණයා අත්අඩංගුවට

(06.03.2024 – 11:55 +0530 – sinhala.adaderana.lk)

මීගහකිවුල, කළුගහකඳුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්ව රවටා රැගෙන ගොස් ඥාති නිවසක රඳවාගෙන අපහරණය කළ බව පැවසෙන තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තරුණයාව මහියංගනය ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහියංගන පූජා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක තරුණයෙකි.

දැරියගේ දෙමාපියන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ දැරිය අද (06) බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු අද (06) බදුල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි ෴


ශ්‍රේණි අනුව මහ බැංකු සේවකයින්ගේ පඩි වැඩි වුණ හැටි

(06.03.2024 – 11:09 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇති ආකාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් එක් තනතුර අනුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එම විස්තරය පැහැදිලි කළේය.

+++++++++

+


‘ග්ලෝකෝමා’ රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක්

(06.03.2024 – 07:47 +0530 – sinhala.adaderana.lk)

මෙරට ජනගහනයෙන් සියයට 5 ක පමණ ප්‍රමාණයක් ‘ග්ලෝකෝමා’ රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඔහු පවසන්නේ, ලොව පුරා ග්ලෝකෝමා රෝගයෙන් පීඩාවිඳින ප්‍රමාණය මෙන්ම මෙරට තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවය.

“ලොකේ ගත්තත්, ලංකාව ගත්තත් අන්ධභාවයට පත්වෙන්න තුඩු දෙන එක ප්‍රධාන හේතුවක් තමා ග්ලෝකෝමා රෝගී තත්ත්වය. ලෝකයේ සියයට කීයක් ඉන්නවද කිව්වොත් 3.54% යි. හැබැයි ලංකාවේ 5% කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපේ වැඩිහිටි ජනගහනය වැඩිවීම මෙයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ 5% කට පමණ ආසන්න ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තියෙනවා මේ රෝගයෙන් පෙළෙනවා කියලා. ඒ නිසා ඇස් පරීක්ෂා කරගැනීම සඳහා යොමු කරන එක ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් අපේ රටේ තියෙන අක්ෂි ආබාධ කල් ඇතිව හඳුනාගෙන වළක්වා ගත හැකි ආබාධ වළක්වා ගැනීමට වැඩසටහන් සම්පාදනය කරලා තියෙනවා” ෴


තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණයට අවස්ථාව

(06.03.2024 – 21:17 +0530 – hirunews.lk/sinhala)

තම ඡායාරූප සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ හැකියාව මෙරට ජනතාවට ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා.

මෙහිදී රුපියල් දෙදහසකට (2000) මුද්දර 20 ක් ලබා දෙන අතර තැපැල් කටයුතු සඳහා එය භාවිතා කළ හැකි බවයි කොළඹ අද (06) පැවති උත්සවයකට එක් වෙමින් ඔහු කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *