වෛද්‍ය සමන් රත්නායක පැය 4 කට ආසන්න කාලයක රහස් ප්‍රකාශයක් ලබා දෙයි

වෛද්‍ය සමන් රත්නායක පැය 4 කට ආසන්න කාලයක රහස් ප්‍රකාශයක් ලබා දෙයි


වෛද්‍ය සමන් රත්නායක පැය 4 කට ආසන්න කාලයක රහස් ප්‍රකාශයක් ලබා දෙයි

(06.03.2024 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ‘වෛද්‍ය සමන් රත්නායක’ අද (06) මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ පැය 4 කට ආසන්න කාලයක රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව පෙරවරු 9 ට පමණ අධිකරණයට රැගෙන එනු ලැබූ අතර ඔහුව පෙරවරු 11 ට මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමගේ නිල කාමරයට කැඳවනු ලැබු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කිරීමට අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සිය නීතිඥවරයා මාර්ගයෙන් පසුගියදා අධිකරණයට දැනුම් දුන්නා.

පසුව පෙරේදා (04) අධිකරණයට රැගෙන ආ නමුත් ඔහුගේ නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා එදින රහස් ප්‍රකාශයක් ලබා නොදුන් බවයි. අදාළ පාපොච්චාරණය අද (06) දිනයේ සිදු කරන ලෙසයි අධිකරණය එහිදී දැනුම් දුන්නේ.

ඒ අනුව අද (06) පාපොච්චාරණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යළි මහර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු 8 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර සිටිනවා ෴


විදේශිකයන්ට පහරදීමේ සිද්ධියට දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු (2) සහ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කෙරේ

(06.03.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

‘පොඩි මැණිකේ’ දුම්රියේ අනවසරෙන් ගමන් කළ විදේශිකයන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහකාර දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු (2) සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩ තාවකාලිකව තහනම් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින්ද විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

ඊයේ (05) දිනයේදී වාර්තාවූ මෙම සිද්ධියේදී පැයකට (1) ආසන්න කාලයක් අදාළ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තිබුණා.

එම විදේශිකයින් දෙදෙනා (2) ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රිය නැරඹුම් මැදිරියට ඇතුලු වී ගමන් කර තිබූ අතර, ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දුන්නද ඉන් ඉවත් නොවීම හේතුවෙන් අදාළ පහරදීම සිදුකර ඇතැයි සඳහන් ෴

+

ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියට ගොඩ වූ විදේශිකයින් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (05) වැඩ තහනමට ලක්වූ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සහකාර ස්ථානාධිපතිවරුන් දෙදෙනා (2) සහ දුම්රිය නියාමකවරයෙකු සේවා අවශ්‍යතා මත විනය ක්‍රියාමාර්ගවලට යටත්ව යළි සේවයේ පිහිටුවීම දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

+


අභාවප්‍රාප්ත අමාත්‍ය රොනී ද මැල්ගේ නිවසට සොරු පනී

(06.03.2024 – 12:04 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල්ගේ පෞද්ගලික ලේකම් විසින් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයක්.

ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අලි සබ්රි රහීම්’ගේ පාර්ලිමේන්තු සේවය මසකට අත්හිටුවයි

(06.03.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අලි සබ්රි රහීම්’ගේ පාර්ලිමේන්තු සේවය අද (06) සිට මාස 01 ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය කථානායකවරයා පවසා සිටියේ ෴


කලවාන – මීපාගම විදුහලක සිසුවියක් පාසල තුළ ඇද වැටී මියයයි

(06.03.2024 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කලවාන – මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ සිසුවියක් පාසල තුළ ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ, විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙලෙස මියගොස් ඇති බවයි.

ඇය තම පන්ති කාමරයේ සිට පිටතට ගමන් කරන අතරතුර පය ගලක පැටලී බිම ඇද වැටී තිබෙනවා.

අනතුරුව ඇය කලවාන මූලික රෝහලට ඇතුළත් කළත් පසුව මියගිය බව පොලිසිය සදහන් කළා.

+


‘හරක්කටා’ තවත් දින 5 ක් රඳවා ගැනේ

(06.03.2024 – 14:59 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ තවත් දින පහක් (5) රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත අද (06) දැනුම් දුන්නා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරක් රඳවා ගත හැකි අතර, දින 90 බැගින් ලබා ගත් රැඳවුම් නියෝග ප්‍රකාරව ඔහු දින 360 ක් රඳවා සිටි බවයි.

ඒ අනුව ඉතිරි දින පහ (5) රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති බව ද එහි නිලධාරින් අධිකරණයට ප්‍රකාශ කළා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ එය තාක්ෂණික තත්ත්වයක් බැවින් තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් බවයි.

එමෙන්ම, ‘හරක් කටා’ වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (06) දින ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා ෴


ගෝඨාභය රාජපක්ෂගේ කෘතිය හෙට (07) එළිදකී

(06.03.2024 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ධුරයට පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශව තමන්ව බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමින් හෙට (07) එළි දක්වන කෘතියෙන් මෙම කරුණු අනාවරණය කර ඇති බවයි.

නිදහස ලබා ගත වූ පළමු 60 වසර තුළ අත්විද නොතිබූ අන්දමින් අද වන විට රට තුළ විදේශ මැදිහත් වීම් හා අභ්‍යන්තර දේශපාලනය, බාහිර පාර්ශ්ව විසින් හැසිරවීම සිදු කරමින් පවතින බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ තමන් ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විද තිබූ මෙරට දේශපාලයට නව මානයක් එක් කර ඇති බවයි.

එබැවින් 2022 වසරේ සිදු වීම් මෙරට දේශපාලන අනාගතයට බරපතල නිශේධනාත්මක අනිශංස ඇති කරන කරුණක් බවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථය හෙට (07) සිට ප්‍රමුඛපෙළේ පොත් අලෙවිසැල් මගින් මිලදී ගත හැකි බව අදාළ නිවේදනයේ සඳහන් ෴

++++++++++

+


අන්තරේට ජල ප්‍රහාරයක් : අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

(06.03.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පුංචි බොරැල්ලේදී පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක්ම මුල්කර ගනිමිනුයි මෙම විරෝධතාවය පැවැත්වූයේ.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක සිසුන් එක්ව කොළඹ විශ්වවිද්‍යාලය අසළ ඊයේ (05) සිදුකළ විරෝධතාවට සම්බන්ධ වූ සිසුන් දෙදෙනෙකු (2) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුලු‍ ගෑස් ප්‍රහාර එල්ල කළා.

‘පෞද්ගලීකකරණය නවතනු, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 06 ක් අධ්‍යාපනය සදහා වෙන් කරනු’ මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථවාහන ධාවනය කොළඹ විශ්ව විද්‍යාලය අසළින් අවහිර වී රථවාහන තදබදයක් ද පැවතුණා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අසලින් විරෝධතාව ආරම්භ කළ අතර තුන්මුල්ල මංසන්ධිය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය කදුලු‍ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා ෴

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ තවත් පුද්ගලයෙකු විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


රත්නපුර අධිකරණ සංකීර්ණය අසලදී ඇසිඩ් ප්‍රහාරයක් : පස් දෙනෙකු (5) රෝහල් ගත කෙරේ

(06.03.2024 – 15:54 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර අධිකරණ සංකීර්ණය අසලදී එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පස්දෙනෙකු (5) රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය දා රත්නපුර සමන් දේවාලය අසළදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුවූ අතර එහිදී යතුරුපැදිකරු මියගොස් තිබුණා.

මිය පුද්ගලයාගේ පියා විසින් අදාළ මෝටර් රථයේ හිමිකරුට මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ඊට අදාළ නඩුව සඳහා අද (06) අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයී.

එහිදී සැකකරුට, ඔහුගේ බිරිඳට, මිතුරෙකුට සහ අසලින් ගමන් ගත් තරුණියන් දෙදෙනෙකුට (2) ඇසිඩ් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

+


දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයක් තාවකාලිකව වැසෙයි

(06.03.2024 – 18:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – පින්නදුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවට අධිවේගි පිව්සුම් මාර්ගය හරහා ඇති දුම්රිය මාර්ගයේ හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (06) රාත්‍රි 10:00 සිට හෙට (07) අලුයම 05:00 දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම කාලය තුල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ගයක් ලෙස නුගදූව හංදියෙන් කටුගොඩ – අකුරැස්ස මාර්ගය භාවිතා කරන ලෙසයි එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ ෴


පොලිස් වැටලීමක් අතරතුර පුද්ගලයෙකු මරුට

(06.03.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය සිදු කළ වැටලීමක් අතරතුර පුද්ගලයෙකු මිය යෑමේ සිදුවීමක් මාදම්පේ – පම්බල ප්‍රදේශයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට වාර්තා වුණා.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී ඇති දෙදෙනෙකු (2) ත්‍රිරෝද රථයකින් යමින් සිටිය දී පොලිසිය ඔවුන් ලු‍හු බැඳ ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරුවන් ත්‍රිරෝද රථයෙන් බැස පළා ගොස් තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් ඔවුන් ලු‍හු බැද ගොස් ඇති අතර එම අවස්ථාවේදී දිව ගිය එක් සැකකරුවෙකු අවස්ථා දෙකකදී (2) ඇද වැටී තිබෙනවා.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ හලාවත – රත්න උයන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

+


ජම්පටාවීදියේ වැරදුණු කුරුමානම – සිව් දෙනෙක් (4) අත්අඩංගුවට

(06.03.2024 – 16:06 +0530 – sinhala.adaderana.lk)

පසුගිය 25 වනදා ජම්පටාවීදිය ප්‍රදේශයේදී පුද්ගයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු (1) හා ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු (3) කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සහ ගිනි අවිය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයද සිය භාරයට ගත් පොලීසිය, සැකකරුවකු සතුව තිබී අදාළ අපරාධය සඳහා භාවිත නොකළ වෙනත් ගිනි අවියක් ද සොයාගත් බව පොලීසිය පැවසුවේය.

මේ වෙඩික්කරුවන් වෙඩි තැබීමෙන් අනතුරුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ගිනි අවිය සැඟවීම සඳහා අදාළ ත්‍රිරෝද රථයට ලබාදෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද හමුවී තිබේ.

සැකකරුවන් අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයට අවසර හිමිවුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති රේණුක චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකරයි.

https://www.youtube.com/watch?v=H_NuYA_ca7A

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Beating up the foreigners. It is not beating up but a struggle get those unruly and law breaking foreigners under control and into custody. These foreigners think they still rule the country and us, local residents and law enforcers, are their slaves. That is why they have this attitude, and time that such attitude is quashed. Please reinstate the railway officials immediately and stop harassing them for doing their job properly. I tell you that if any Sri Lankan behaves like them in their countries, then you would not only be beaten up by their policemen, but also no one would know where you were taken.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *