ලයිට් කැපුවොත් නැවත ලබාගන්න යන ගාස්තුව අඩු කෙරේ

ලයිට් කැපුවොත් නැවත ලබාගන්න යන ගාස්තුව අඩු කෙරේ


ලයිට් කැපුවොත් නැවත ලබාගන්න යන ගාස්තුව අඩු කෙරේ

(05.03.2024 – 15:21 +0530 – sinhala.adaderana.lk)

අලුතින් විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සහ විසන්ධි කළ සම්බන්ධතාවය නැවත ලබාගැනීමේදීත් ජනතාවට සහාන ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා BIG FOCUS වැඩසටහනට එක්වෙමින් ඒ බව පැවසීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා :

“විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ ගාස්තුව රුපියල් 3,000 ක්. මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා එය රුපියල් 800 දක්වා අඩු කරන්න.”

“තවත් දෙයක් තමයි නැවත විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ගෙවා ගැනීමට නොහැකි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදීලා තිබෙනවා.”

“අලුතින් විදුලි සම්බන්ධතාවය ලබාගැනීමේදී.. පෙර තිබුණේ විදුලි සම්බන්ධතාවය නතරවී තිබෙන තැන සිට අප ලබාගන්නා ස්ථානය දක්වා දුරට ගෙවන්න ඕනේ.”

“දැන් විදුලිබල මණ්ඩලය අපේ මායිම දක්වා ගෙනත් දෙනවා. එතන සිට තමයි පාරිභෝගිකයා ගෙවන්න ඕනේ.”

“විදුලි ගාස්තු අඩුවීමත් එක්ක දැන් ඒකක 30 ක් පාවිච්චි කරන පාරිභෝගිකයෙකු පෙර රුපියල් 540 ක විදුලි බිලක් ගෙව්වා. දැන් එය රුපියල් 390 දක්වා අඩු වෙනවා.”

“ඒකක 60 ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 1,620 ක් ගෙවපු එක දැන් රුපියල් 1,140 දක්වා අඩු වෙනවා.”

“ඒකක 90 ක් පාචිච්චි කරපු කෙනෙකු රුපියල් 3,990 ක් ගෙවපු එක දැන් රුපියල් 2,800 දක්වා අඩු වෙනවා.”

“ඒකක 120 ක් පාවිච්චි කරපු කෙනෙකුට රුපියල් 6,460 ක විදුලි බිලේ සිට රුපියල් 4,900 දක්වා විදුලිබිල අඩුවීමක් ලැබෙනවා.”

+


මහාචාර්ය චන්න ජයසුමනට යළි අපහාස නොකරන බව අසේල සම්පත් කියයි

(05.03.2024 – 14:46 +0530 – sinhala.adaderana.lk)

තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතාට කනගාටුව පළ කර තිබේ.

තවද , නැවත ඒ මත පදනම්ව කිසිදු අපහාසයක් සිදුනොකරන බවට පැවසීමත් සමග නඩුව සමථයකට පත්වී ඇත.

කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200 ක නිවසක් මිලදී ගෙන ඇතැයි ද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයි ද, පසුදින එම නිවස ඉදිරිපිටට පැමිණ සජීවී වීඩියෝවක් කරන බවටද 2021 වසරේ සිදු කළ ප්‍රකාශයක් සහ ඉන් පසුව ඒ මත පදනම් වෙමින් දිගින් දිගටම සිදුකළ ප්‍රකාශ මගින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම නඩුව පවරා තිබුණි.

තමන්ට කෝට්ටේ හෝ වෙනත් කවර හෝ තැනකින් එවැනි වටිනාකමක් සහිත නිවසක් හෝ වෙනත් කිසිඳු දේපොළක් අයත් නැති බවත් අසේල සම්පත් ගේ ප්‍රකාශය හුදු ද්වේශය මත පදනම්ව අපහාස කිරීම සඳහාම ගොතන ලද කතාවක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මීට පෙර දිසා අධිකරණයේදී සාක්ෂි දෙමින් පැවසීය.

වෙනත් කරුණක් සම්බන්ධයෙන් අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීම, ජයසුමන මහතා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් සිදුවී නම් ඒ ගැන කනගාටුව පළ කිරීමද මෙහිදී සිදුවිය.

පැමිණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා ද විත්තිකාර අසේල සම්පත් වෙනුවෙන් නීතිඥ තිස්ස වේරගොඩ මහතා ද පෙනී පෙනී සිටියේය ෴


පාසල් කටයුතු ගැන ආණ්ඩුකාරවරුන්ට අලුත් බලයක්

(05.03.2024 – 13:38 +0530 – sinhala.adaderana.lk)

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.

+


බලංගොඩ බස් – ලොරි අනතුර (CCTV)

(05.03.2024 – 11:10 +0530 – sinhala.adaderana.lk)

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) උදෑසන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලංගොඩ මුලික රෝහලට ඇතුළු කර තිබේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු හෝමාගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක එම ලොරි රථය ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කීය.

අනතුර සිදුවෙන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබිණි.

බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

+


අරගලකරුවන් පිරිසක් නිදොස් කොට නිදහස් කරයි – “පොලිසිය අපිට රතු පෑන් පෙන්නලා තර්ජනය කළේ”

+


මීවනපලානේ වේසිපුත්‍රයාගේ ධර්ම විකෘතිය පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව – 2024.03.05

+


සෙවනගල සීනි සමාගමේ සභාපති පැය 3 ක් සේවක අඩස්සියේ

(06.03.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සෙවණගල සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයින් ඔහුව පැය 3 කට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටියදී පොලිස් මෙහෙයුමකින් අනතුරුව ඊයේ (05) මුදාගෙන තිබෙනවා.

සෙවණගල සීනි සමාගම සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් සහ සීනි සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඇතුළු හතරදෙනකුවයි (4) ඊයේ දහවල් 12 ට පමණ සිට පැය තුනකට (3) ආසන්න කාලයක් සේවකයන් මෙලෙස සිරකරගෙන සිට ඇති බවයි වාර්තාවුණේ.

මොවුන් මුදාගැනීම සඳහා සෙවණගල පොලිසියට අමතරව තවත් පොලිසි කිහිපයකින් නිලධාරීන් පැමිණ තිබෙනවා ෴


පොතුහැර දී සිදු වූ මාරක අනතුර – තිදෙනෙකුට (3) දිවි අහිමි වෙයි

(06.03.2024 – 09:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කුරුණෑගල මාර්ගයේ පොතුහැර – බුලුගොල්ල මංසන්ධිය අසළදී ත්‍රිරෝද රථයක් සහ එළවලු පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තුන්දෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වසරේ (2024) මේ දක්වා සිදුවූ මාරක රිය අනතුරු 324 කින් පුද්ගලයින් 341 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා ෴


ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 108 ක් වටිනා මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි හතරදෙනෙකු (4) තමිල්නාඩුවේදී අත්අඩංගුවට

(06.03.2024 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රුපියල් කෝටි 108 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ඉන්දීය ජාතිකයන් හතරදනෙකු (4) තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට වාර්තා සඳහන් කළේ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 99 ක් මොවුන් ළඟ තිබී සොයාගත් බවයි.

සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි නාදුණන පුද්ගලයෙකුට මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාදීමට නියමිතව තිබූ බවයි.

අත්අඩංගුවට ගත් ඉන්දියානුවන් හතරදෙනා (4) අතර, අදාළ මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කළ, මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස සැළකෙන පුද්ගලයාද ඇතුළත් බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

+


“මෙවර අවුරුදු නැකත් වහාම වෙනස් කරන්න” – ‘ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය’

(06.03.2024 – 09:19 +0530 – hirunews.lk/sinhala)

මෙවර අලුත් අවුරුදු නැකැත් සකස් කිරීමේදී බරපතල වරදක් සිදුව ඇති බව ‘ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානය’ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ ‘රෝෂාන් චානක තිසේරා’ කියා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ලිප ගිනි මෙළවීම සඳහා දී ඇති නැකතෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි.

මේ තුළ කුමන්ත්‍රණයක් පවතින බවද ඔහු සඳහන් කළා.

එසේම අවුරුදු නැකත් රාත්‍රි කාලයට යොදාගැනීම තුළින් එම නැකැත් පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබාදිය නොහැකි තත්වයක් උද්ගතවන බවයි ‘ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංවිධානයේ’ සාමාජික පාරම්පරික ශාස්ත්‍රඥ ‘රෝෂාන් චානක තිසේරා’ වැඩිදුරටත් කියා සිටියේ.

+


VAT වලින් නිදහස් භාන්ඩ ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(06.03.2024 – 10:48 +0530 – hirunews.lk/sinhala)

වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන්කර සිටියේ.

එමෙන් ම ආර්ථික ප්‍රගතිය මේ වනවිට ජනතාවට ලැබී ඇති බව පැවසූ ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ද ශක්තිමත් වී ඇති බවයි.

විදේශ විනිමය මේ වනවිට USD බිලියන 3 ක් දක්වා, ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් අපනයන සඳහා විදේශ වෙළඳපොල විවෘත කර ගැනීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

එකතු කළ අගය මත බදු (VAT) සංශෝධනය පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. එහිදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59 ක් විපක්ෂව ඡන්ද 35 ක් ලැබී ඇති අතර ඒ අනුව එය වැඩි ඡන්ද 24 කින් සම්මත වී ඇති බවයි සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *