මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක්

මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක්


මහ බැංකු නිලධාරීන්ට පක්ෂ නායකයන්ගෙනුත් දැඩි අප්‍රසාදයක්

(05.03.2024 – 23:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් සිය වැටුප 70% කින් ඉහළ නංවාගෙන ඇත්තේ නීතියට පටහැනි ආකාරයෙන් බවට පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ඒ මහ බැංකු නිලධාරීන් අද (05) එම කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමටද කැඳවූ මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට එහිදී දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබෙනවා.

ඊයේ (04) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පවසා ඇත්තේ තමා දැනුවත් නොකර සිදු කර ගත් මෙම වැටුප් වැඩිකර ගැනීම බරපතළ කරුණක් බවයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛ පවා නිකුත් කර තිබෙන පසුබිමක රුපියල් ලක්ෂ ගණනින් මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කර ගෙන තිබුණා.

ඇතැම් නිලධාරීන්ගේ වැටුප 70% කින් පමණ ඉහළ නංවා ගැනීම පාර්ශ්ව රැසකගේ විවේචනයට ලක්වුණා.

එවන් පසුබිමක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩලය හමුවට ඊයේ (04) කැඳවා තිබුණේ මෙම වැටුප් වැඩි කරගැනීමේ සිද්ධිය පිළිබඳව කරුණු විමසීම සඳහායි.

මහ බැංකු සේවකයින් වැටුප් 70% කින් වැඩි කිරීම සම්බන්ධයෙන් තමාවද දැනුවත් කර නොතිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ තමාව පවා දැනුවත් නොකර සිදු කර ගත් මෙම වැටුප් වැඩිකර ගැනීම බරපතළ කරුණක් බවයි.

එහිදී මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අවසානයේදී කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන් අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගි වුණා.

මේ සඳහා මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ට දැඩි අප්‍රසාදයක් එල්ලවී තිබෙනවා.

පක්ෂ නායකයින් එහිදී තර්ක කර ඇත්තේ මෙලෙස වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඔවුනට නෛතික බලයක් නොමැති බවටයි.

මෙම වැටුප් වැඩි කිරීම හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 232 කට ආසන්න අමතර මුදලක් වැයවන බවද එහිදී අනාවරණය වී තිබුණා.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පැවති අතර මහ බැංකු අධිපතිවරයා, මුදල් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්, නීතිපති දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද මේ සඳහා සහභාගී වී තිබෙනවා.

මෙහිදී මහ බැංකු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මහ බැංකුව යනු ස්වාධීන ආයතනයක් වන බැවින් පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට හෝ රජයට ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැනීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට මැදිහත් විය නොහැකි බවයි.

එහිදී වැටුප් වැඩි කර ගැනීම පවතින නීතියට පටහැනිව සිදු කර ඇති බව මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් පෙන්වා දී තිබෙනවා.

+


උසස් පෙළින් පසුව වෘත්තිය පුහුණුව ඇරඹෙයි

(05.03.2024 – 23:21 +0530 – hirunews.lk/sinhala)

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් විතැන්ව දරුවන්ට පාසල තුළදීම මාර්ගෝපදේශය ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ උසස් පෙළ සිසුන් සඳහා වන වෘත්තීය අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

උසස් පෙළ විභාගය අවසන් කළ පාසල් සිසුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන දීපව්‍යාප්තව අද (05) ආරම්භ වුණා.

එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අද (05) ආරම්භ වූයේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී.

2024 ජනවාරි මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් 25,000 ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිතව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් හා න්‍යායාත්මක පෙරහුරුවක් මේ යටතේ ලබා දෙන අතර මෙම පාඨමාලා සකස් කර ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනය විසින්.

+


‘පරාටේ නීතිය’ අහෝසි කරන්න රජය තීන්දු කළාට බැංකු පද්ධතිය ඒවා අහන්නේ නෑ – විපක්ෂ නායක

(05.03.2024 – 23:30 +0530 – hirunews.lk/sinhala)

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ ද බැංකු පද්ධතිය එය ක්‍රියාත්මක නොකරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ චන්ද්‍රසිරි මුතුකුමාරණ අද (05) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ, කථානායකවරයා ඉදිරියේයි.

+


මාස දෙකට (2) මාරක රිය අනතුරු 324 ක් – මරණ 341 ක්

(05.03.2024 – 21:25 +0530 – sinhala.adaderana.lk)

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 01 වනදා දක්වා මාරක රිය අනතුරු 324 ක් වාර්තාවී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ ඉන් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 651 ක් බවත් සුළු තුවාල ලැබූ පිරිස 1,355 ක් බවත් ය.

ඉහත කී මාරක රිය අනතුරු 324 න් පුද්ගලයන් 341 දෙනෙකු මුල් මාස 02 ක තුළ මියගොස් ඇත.

සිදුවූ අනතුරු පිළිබඳ සැලකිලිමත්වීමේදී යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

පදික මාරුවකින් යම් පුද්ගලයෙක් ගමන් කරනවා නම් ඔහු පදික මාරුව මතට පාදය තබනවාත් සමගම එහි අයිතිය හිමි වෙන්නේ පදිකයාට බවත් ඒ අනුව අදාළ මාර්ගයේ ගමන් කරන වාහන එම පුද්ගලයාට ඉඩදිය යුතු බවත් පොලීසිය දැනුම්දෙයි.

සියලුම රියදුරන් මේ ගැන දැඩි අවධානයක් යොමු කළයුතු බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් පදික මාරුවකින් ගමන් කරන පුද්ගලයන් ද මාර්ගයේ ගමන් කරන වාහන පිළිබඳව සැලකිලිමත්වෙමින් මාර්ගය හරහා මාරුවීම සිදු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

“ඊයේ (04) දිනයේ දිවයිනේ මාරක රිය අනතුරු 08 ක් සිදුවෙලා තිබෙනවා. ඉන් මාරක රිය අනතුරු 04 ක් ම සිදුවෙන්නේ පදිකයන් මාර්ගය හරහා මාරුවන පදික මාරුව මත.”

“පිටකොටුව බැස්ටියන් මාවතේ පදික මාරුවෙන් ගමන් කරන 74 හැවිරිදි පුද්ගලයෙක් බස් රථයට ගැටී මිය ගිහින් තිබෙනවා.”

“නවගමුව කොරතොට ප්‍රදේශයේදී 55 හැවිරිදි කාන්තාවක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා… පදික මාරුවෙන් ගමන් කිරීමේදී.”

“ඇල්ල ප්‍රදේශයේදී 89 හැවිරිදි පුද්ගලයෙක් වෑන් රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා. ඒත් පදික මාරුවකින් ගමන් කරන අවස්ථාවේදී.”

“බෙලිඅත්ත ප්‍රදේශයේදී පදික මාරුවෙන් ගමන් ගත් 75 හැවිරිදි පුද්ගලයෙකු කාර් රථයක ගැටීමෙන් මියගොස් තිබෙනවා.”


නිව්හැම් වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

(05.03.2024 – 19:25 +0530 – sinhala.adaderana.lk)

මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන මහවත්ත පර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 100 ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

පෙබරවාරි මස 25 වනදා වෙරළබඩ පොලිස් වසමේ නිව්හැම් චතුරස්‍රය ආසන්නයේ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් ගිනි අවිය අපරාධය සිදුකිරීමට පෙර මෙම සැකකරුගේ නිවසේ තබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එසේම මෙහිදී සැකකරුගේ නිවසේ සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ පතොරම් 03 ක් පොලීසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (05) අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴


ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු : මේ වගේ සල්ලි අතට ආවොත් කල්පනාවෙන්

(05.03.2024 – 18:28 +0530 – sinhala.adaderana.lk)

පොතුහැර ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 45 ක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා ව ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබුණි.

එබැවින් මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවට දැනුම් දෙයි ෴


සිසුවියක් අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයාට සිරදඬුවම්

(05.03.2024 – 17:28 +0530 – sinhala.adaderana.lk)

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලබාදී තිබේ.

ඒ, නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසිනි.

මෙසේ බරපතළ වැඩසහිතව සිරදඬුවම් නියම කෙරුණේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් නමැත්තෙකුට ය.

චුදිතයා 2010.01.01 – 2010.01.31 අතර දිනයක 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණි.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතයාට රුපියල් 5,000 ක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමටත්, වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර 02 ක කාලයක් සිරදඬුවම් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ ෴


‘රත්මලානේ සිඟිති’ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

(05.03.2024 – 15:57 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘රත්මලානේ සිඟිති’ නමැති කාන්තාවක් ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 7 ක් බවට සැක කෙරෙයි.

සැකකාරිය 40 හැවිරිදි තැනැත්තියකි.

ඇය විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන ‘කුඩු අංජු’ගේ ඥාතියෙක් බවද වාර්තා වෙයි.

රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එලෙස ඝාතනය වූ රත්මලානේ ‘මස් කඩේ කලුවා’ නම් පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය ලෙස ද මෙම කාන්තාව හඳුනාගෙන ඇති බවද පොලීසිය පවසයි.

මෙම වැටලීම සිදුකර තිබුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසිනි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *