විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය

විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය


විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය

(05.03.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමට අදාළව නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීම මත විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනවාරි මාසයේ 08 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබූ අතර ඒ අනුව ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත්කර තිබෙනවා.

එසේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


බෆල් එකෙන් මතුවූ ගිනි අවිය

(05.03.2024 – 16:04 +0530 – sinhala.adaderana.lk)

කප්පම් ඉල්ලා කඳාන ප්‍රදේශයේ මස්කඩ හිමියෙකු ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට 9 දෙනෙක්ව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ (2023) අගෝස්තු 04 වනදා එම වෙඩි තැබීම සිදුකර තිබූ අතර ඒ සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය ද සොයා ගැනුණි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි හි සැඟව සිටින ‘රසික’ නොහොත් ‘චූටි මල්ලී’ට එම ගිනි අවිය අයත් බව සඳහන් වෙයි.

එම ගිනි අවියට යෙදිය හැකි උණ්ඩ 45 ක් සහිත මැගසින් දෙකක් (2) ද සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (05) පමුණුගම පොලිස් වසමේ පුබුදුගම ප්‍රදේශයේ දී එම වැටලීම සිදුකර ඇත.

ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චුටි මල්ලි නැමැත්තාගේ පුංචි අම්මා ගේ නිවසේ ඉතාම සුක්ෂමව සඟවා තිබියදී එම අවිය සහ උන්ඩ සොයා ගැනුණි.

එම නිවසේ සිටි සැකකාරියන් තිදෙනෙකු (3) සහ සැකකරුවන් හය දෙනෙකු (6) ද එහිදී අත්අඩංගුවට පත්විය.

+


නිමක් නැති වන අලි තර්ජනයෙන් අම්පාරේ ජනතාව දැඩි පීඩාවක

(05.03.2024 – 14:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වන අලි උවදුර හේතුවෙන් පීඩාවට පත්වීම කාලාන්තරයක් තිස්සේ පවතින නොවිසඳුණු ගැටලුවක්.

අම්පාරේ ප්‍රදේශ රැසක ජනතාව ද පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුම්වත් කළත්, වන අලි ගැටලුවට තවමත් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

තම වී අස්වනු අලෙවි ගැනීමට ක්‍රමවේදයක් නොමැති පසුබිමක, මෙලෙස ගබඩා කර ඇති වී අස්වනුවලට වන අලින් හානි කරන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, වන අලි ගැටලුව ගැන බලධාරීන් කොතෙක් දැනුම්වත් කළත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවටයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.

මේ අතර, මහවැලි H කලාපයට අයත් පහළගම ගම්මානයට කඩා වැදුණු වන අලි රංචුවක් අස්වනු නෙලීමට ආසන්නව තිබූ කුඹුරු රැසක් විනාශ කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ සිටින වන අලි රාත්‍රි කාලයේදී ගම්වදින බවයි.

එමෙන්ම, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගිරාතලාන පුරාණ උස්ගල රජමහා විහාරස්ථානයේ පොල් ගස් 370 ක් පමණ වන අලින් විසින් විනාශ කර තිබෙනවා.

+


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට

(05.03.2024 – 15:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (05) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ තම රාජකාරියට පැමිණ තිබෙනවා.

එහිදී රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත්වෙමින් ඔහුට විරෝධය පළ කර ඇති බව සඳහන්.

නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එය වළක්වාගැනීම සඳහා ජාතික රෝහල අසළට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් විරෝධය එල්ලවූ අතර, ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමටද අවධානය යොමුව තිබුණා.

+


කොළඹ විශ්වවිද්‍යාලය අසල සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස්

(05.03.2024 – 16:48 +0530 – hirunews.lk/sinhala)

නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අයිතීන් සුරැකීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉදිරිපිටින් අද (05) පස්වරුවේ ආරම්භ කළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

මෙම විරෝධතාව හේතුවෙන් 138 බස් මාර්ගය ද මේ වන විට අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා පා ගමන වළක්වන ලෙස කුරුදුවත්ත පොලිසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළා.

+++++++++

+


සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය සේවකයින් කරපු කැතම කැත වැඩේ

(05.03.2024 – 17:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට (2) දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් නාවලපිටියෙන් වාර්තා වනවා.

එම සංචාරකයින් දෙවන (2) පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු (1) පන්තියේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, එම සංචාරකයින් දෙදෙනාට (2) නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් පහර දී ඔවුන් දුම්රියෙන් එළියට ඇද දමා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට (2) දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් දුම්රිය ආරක්ෂක අංශ ප්‍රධානියාගේ මුලිකත්වයෙන් මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට පැවසුවා.

මෙම පරීක්ෂණයෙන් පසුව දුම්රිය සේවකයින් වරදක් කර ඇති බවට ඔප්පු වුවහොත් ඔහුන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

විදේශීය පුරවැසියන් දුම්රියේදී කිසියම් වරදක් කළහොත් ඔවුන්ට දඩුවම් කිරීමට දුම්රිය සේවකයින්ට බලයක් නොමැති බව පවසන දුම්රිය සාමාන්‍යධිකාරීවරයා ඒ වැනි විදේශකයින්ට එරෙහිව පියවර ගන්නේ අදාළ රාජයේ තානාපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව බවයි ඔහු පැවසුවේ.

තමා මේ පිළිබඳව සියලුම දුම්රිය සේවකයින්ව දැනුවත් කර ඇති බවත් මේ සිද්ධියෙන් කිසියම් වූ විදේශකයින් පිරිසක් අපහාසුතාවයට පත්ව ඇත්නම් තමා කණගාටුව ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++

+


මව සුව කරන්න පැමිණ දියණිය කෙලෙසූ යකැදුරු භූතයාට සිර දඬුවම්

(05.03.2024 – 20:20 +0530 – hirunews.lk/sinhala)

භූත බලයෙන් මවගේ රෝග සුව කරන බව පවසා නිවසට පැමිණ ඇගේ බාලවයස්කාර දියණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරුවෙකු වූ යකැදුරෙකුට අද (05) වසර 60 ක සිරදඩුවම් නියම කර එය වසර 20 කින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේදී.

38 හැවිරිදි මෙම යැකැදුරා විසින් 2013 වසරේ දී අවස්ථා ගණනාවකදී අදාළ බාලවයස්කාර දැරියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට ජාතික ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම අධිකාරියේ දැනුම් දීම මත නීතිපතිවරයා විසින් අධි චෝදනා 3 ක් වරදකරුට එරෙහිව නඩුව ගොනු කර තිබූ අතර, එම 3 ටම ඔහු වරදකරු බවටයි තීරණය කෙරුණේ.

මෙම යකැදුරා විසින් දේවාලයක් පවත්වා ගෙන යමින් භූත බලයෙන් ලෙඩ සුව කරන බව සඳහන් කර ඇති අතර හොරණ ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එහි පැමිණ තිබුණා.

අදාළ කාන්තාවගේ නිවසේ තාවකාලික දේවාලයක් සකස් කළ යුතු බව පවසා ඇති විත්තිකරු ඒ අනුව එම නිවසට ගොස් අවස්ථා කිහිපයක දී මෙම බාලවයස්කාර දැරිය අපයෝජනය කර ඇත්තේ අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ පැවසුවහොත් මව මිය යනු ඇති බවට ඇය බියට පත් කරමින් ෴


ගම් පිටින් කැපුණු ලයිට්

(05.03.2024 – 22:47 +0530 – hirunews.lk/sinhala)

දැඩි ලෙස ඉහළ ගිය විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීමෙන් විලච්චිය, තන්තිරිමලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාවගේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඇතැම් පිරිස් වසර දෙකක (2) පමණ කාලයක සිට තම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පීඩාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ අනුරාධපුර, විලච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තන්තිරිමලේ ඉහළ ගෝන වැව, කුඩාගම, නිකවැව, දංගස්වැව සහ තම්බියාව යන ගම්මානවල වෙසෙන පිරිසක්.

එම ගම්මානවල පවුල් 300 ක් පමණ ජීවත් වනවා.

දිනකට එක් (1) වේලක් පමණක් ආහාරයට ගන්නා මෙම ගම්මානවල ජනතාව දැඩි දරිද්‍රතාවකින් පෙළෙන අතර, ඔවුන්ට ස්ථීර ආදායම් මාර්ගයක්ද නැහැ.

ඔවුන් පවසන්නේ එවන් පසුබිමක තම විදුලි බිල්පත් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *