රිමාන්ඩ් කළ වෛද්‍ය සමන් රත්නායකට ලබන 14 වනදා පාපොච්චාරණයක් කිරීමට අධිකරණයෙන් අවසර

රිමාන්ඩ් කළ වෛද්‍ය සමන් රත්නායකට ලබන 14 වනදා පාපොච්චාරණයක් කිරීමට අධිකරණයෙන් අවසර


රිමාන්ඩ් කළ වෛද්‍ය සමන් රත්නායකට ලබන 14 වනදා පාපොච්චාරණයක් කිරීමට අධිකරණයෙන් අවසර

(02.03.2024 – 18:10 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට ස්ව කැමැත්තෙන් පාපොච්චාරණයක් සිදු කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් අනුවයි.

ඒ අනුව ලබන 04 වනදා එම ප්‍රකාශය කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අවසර ලබා දුන්නා.

ප්‍රශ්නගත ‘ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මෙරටට ගෙන්වීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක් පාඩු සිදුකිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණේ අද (02) පෙරවරුවේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අතිරේක ලේකම්වරයා ඊයේ (01) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුලු හත්දෙනෙකු ද මේ වනවිට ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

++++++++

+


කඹ ඇදිල්ලෙන් ජනතාවට වැසුණු මැදිගිරිය බස් නැවතුම්පොළ

(02.03.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ජනතා මුදල් කෝටි ගණනින් වැය කරමින් ආරම්භ කරන සුදු අලි ව්‍යාපෘති පිළිබඳව අප රට හමුවේ තැබුවේ වරක් දෙවරක් නොවෙයි.

එලෙස මහජන බදු මුදල් වැය කර ඉදිකර, එහෙත් මේ දක්වා කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නොලැබෙන ව්‍යාපෘතියක් පිළිබඳවයි අද (02) රතු මිනිත්තුවේ අවධානය.

මේ මැදිරිගිරිය බස් නැවතුම් පොළ.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ 2018 වර්ෂයේදී මෙම බස් නැවතුම් පොළ ඉදිකෙරුණේ රුපියල් කෝටි දෙකහමාරක (2½) මුදලක් වැය කරමින්.

ඒ, මැදිරිගිරිය ප්‍රදේශයට එවකට පැවති ස්ථිර බස් නැවතුම් පොළක අවශ්‍යතාව ඉටු කිරීම සඳහායි.

කෙසේ වෙතත් නිසි සැලසුමකින් තොරව මෙන්ම ප්‍රධාන මාර්ගයෙන් දුරස්ව ඉදිකිරීම හේතුවෙන් මැදිරිගිරිය හරහා ධාවනය වන කිසිදු බස් රථයක් මෙහි පැමිණෙන්නේ නැහැ.

අදාළ ව්‍යාපෘතිය යටතේ බස් නැවතුම් පොළ සහිත ගොඩනැගිල්ලේ වෙළෙඳ සල් 15 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකළද මේ වනවිට ඒවාද වසා දමා ඇත්තේ ජනතාව නොපැමිණීම හේතුවෙන්.

ජනතාව පවසන්නේ, මෙම ගොඩනැගිල්ලෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වී ඇත්තේ උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ කඹ ඇදිල්ල හේතුවෙන් බවයි.

කඹ ඇදිලි පසෙක තබා මැදිරිගිරිය බස් නැවතුම් පොළ එහි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

+


කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි, කිරි තේ මිල ඉහළට

(02.03.2024 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි, කිරි තේ මිල අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ආහාරවල නිෂ්පාදන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙලෙස අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි මිළ ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය එහිදී සඳහන් කළේ.

ඒ අනුව, ප්ලේන්ටි මිල රුපියල් 5 කින්, කිරි තේ රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

තවද, ‘රයිස් ඇන්ඩ් කරී’ කෑම එකක මිල රුපියල් 25 කින්, ‘ෆ්‍රයිඩ් රයිස්’ සහ කොත්තු රුපියල් 50 කින් ආදී වශයෙන් ඉහළ දමන බවයි සඳහන් වන්නේ.

+


සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

(02.03.2024 – 20:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු වු සහරාන් හෂිම් ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙම වැටලීමේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ජනරාශිය චෝදනාව යටතේයි.

කාත්තන්කුඩි කරබලා ප්‍රදේශයේ පිහිටි නිවසකට පුද්ගලයින් 30 දෙනෙකු පමණ රැස්වී සාකච්ඡාවක නිරතවන බවට කාත්තන්කුඩි පොලිසියට තොරතුරක් ලැබි තිබුණා.

ඒ අනුව පොලිසිය, එම නිවස වටලා තිබු අතර, ඒ මොහොතේ එම නිවසේ රැස්ව සිටි පුද්ගලයින් 30 කු පමණ පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ මස්සිනා ද සිටි බවයි.

අයුතු ජනරාශිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ද ඇතිව එම නිවස පරීක්ෂාවට ලක්කර තිබුණා.

මෙම පරීක්ෂා කිරීම් සඳහා පොලිස් නිල සුනඛයින් මෙන්ම බෝම්බ සෙවීමේ උපකරණ ද යොදාගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර මෙම ප්‍රදේශයේදි යතුරු පැදි ගිනි ගැනීම් සහ පිපිරීම් වාර්තා වු බවයි.

ඒ අනුව සැකකටයුතු ස්ථාන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් පියවර ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් ඇප මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴


පාසල් බෑගයේ බර අඩුකිරීමේ චක්‍රලේඛය අනිද්දා (04)

(02.03.2024 – 20:08 +0530 – hirunews.lk/sinhala)

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අනිද්දා (04) නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන පවසනවා.

පවතින තරගකාරි අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසු සිසුවියන්ට මුහුණපෑමට සිදුව ඇති තවත් ගැටලු‍වක් වන පාසල් පොත් බෑගයේ බර සම්බන්ධයෙන් අප පසුගියදා අනාවරණයක් සිදුකළා.

මේ අතර, පාසල් පෙළපොත් වෙනුවට තාක්ෂණික සුහුරු උපකරණ ලබාදීම තුළින් සිසු දරුවන් මුහුණපා ඇති පාසල් පොත් බෑගයේ බර සම්බන්ධ ගැටලු‍වට විසඳුමක් ලබා ගත හැකි බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන කියා සිටියේ ෴


බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

(02.03.2024 – 20:15 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර දෙක (2) ද පිටවී තිබීම හේතුවෙනි.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවය ෴

+++++++

https://www.youtube.com/watch?v=7cLoewW8ylA

+


වාහන උස්සා කොටස් කරන ජාවාරමක්

(02.03.2024 – 19:22 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථ කුලී පදනම මත ලබාගෙන ඒවා කැබලි කරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු (3) එම කොඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉකුත් අගෝස්තු මස 05 වනදා පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් කුලී මෝටර් රථයක රියදුරුට මත්වන්නට යමක් දී ගිනිඅවියක් පෙන්වා බියගන්වා මෝටර් රථයක් හඳපාන්ගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තිබුණි.

ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරුණේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදිය.

එහිදී අනාවරණය වුණේ කඩවත ප්‍රදේශයේදී කුලී රථ සපයන ස්ථානයකින් අදාළ මෝටර් රථය සැකකරුවන් දෙදෙනා (2) ලබාගෙන ඇති බවය.

අනතුරුව එහි රියදුරුට එම ප්‍රදේශයේ වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදීගත් කිරි බෝතලයක් ලබාදී ඇත්තේ මත්වීමට යමක් එක් කරමිනි.

ඊට අදාළ CCTV දර්ශන පෙළක්ද මධ්‍යට නිකුත් කර තිබුණි.

පසුව පොලීසිය අදාළ සැකකරුවන් දෙදෙනාගේ (2) දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, බස් රථයක් තුළ නැතිවූ මුදල් පසුම්බියක තිබූ ජාතික හැඳුනුම්පතක් මගින් සිම්පත් ලබාගෙන ඇති බවය.

ජංගම දුරකථනවල ‘එමි අංක’ පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, රත්මලාන හා අත්තිඩිය යන ප්‍රදේශවල භාණ්ඩ උකස්ගන්නා ස්ථානයකින් ජංගම දුරකථන දෙක මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව සැකකරුවන් හඳුනාගත් කොළඹ අපරාධ කොට්ඨාසය ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද සමග ඔවුන් දෙදෙනාව (2) අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ මෝටර් රථය ‘මෝටර් රථ කැබලි කරන ස්ථානයකට’ ලබාදී රුපියල් ලක්ෂ 6 ක මුදලක් ලබාගත් බවය.

එම මුදලින් කැසිනෝ ක්‍රීඩා කළ බව ද සැකකරුවන් පවසා තිබේ.

අනතුරුව ‘මෝටර් රථ කොටස් කළ ස්ථානය’ පවත්වාගෙන යන පුද්ගලයාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සැකකරන්නේ මොවුන් තවත් මෙවැනිම ක්‍රියා සිදුකර ඇති බවටය.

ඒ අනුව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

+


කාන්තා අත්බෑග් කොල්ලකෑ සැකකරුවන් අත්අඩංගුවට

(02.03.2024 – 18:57 +0530 – sinhala.adaderana.lk)

සොරාගත් යතුරුපැදියක යමින් කඩුවක් පෙන්වා නිවාස බිඳ දේපොළ කොල්ලකෑමට හා මහමග ගමන් ගන්නා කාන්තාවන් බියගන්වා අත්බෑග් කොල්ලකෑමට පුරුදුවී සිටි සැකකරුවන් දෙදෙනක් (2) අත්අඩංගුවට පත්වී තිබේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 4300 ක් ද සමග බව මහරගම පොලීසිය පවසයි.

ඒ සමග කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය, කඩුවක්, අත් බෑග් දෙකක් (02), වටිනා ජංගම දුරකථන 05 ක්, හැඳුනුම්පත් 02 ක් ඇතුළු භාණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මහරගම පොලිස් වසමේ මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ සිද්ධින් 05 ක් සම්බන්ධයෙන් ලද පැමිණිලිවලට අනුව කළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා (2) මීගොඩදෙනිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කොට්ටාව, හෝමාගම, මහරගම, මිරිහාන පොලිස් වසම්වල කොල්ලකෑම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවට ද තොරතුරු හෙළිවී ඇති බව පොලීසිය කියයි ෴


සෞදියේ දුක් විඳින ලක් කතුන්

(02.03.2024 – 13:34 +0530 – sinhala.adaderana.lk)

ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගිය තමන් රියාද්හි නිවාසයක රඳවා විවිධ වධ හිංසාවලට ලක්කරන බව මෙරට කාන්තාවන් සිව් දෙනෙක් (4) පවසති.

ඒ, දුරකථනයෙන් පටිගත කළ වීඩියෝ දර්ශන ඔස්සේ ඔවුන් මුහුණ දෙන සිය අමිහිරි අත්දැකීම් පිළිබඳ විස්තර කරමිනි.

කොළඹ, බම්බලපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙරට කාන්තාවන් සිව් දෙනෙකු (4) සෞදි අරාබියේ ගෘහ සේවය බලා පිටත් ව ගොස් තිබුණේ 2023 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදීය.

ඔවුන් කළුතර, පානදුර, කොළඹ සහ කුරුණෑගල පදිංචිකාරිනියන් වේ.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දහසක් බලාපොරොත්තු සමග විදේශගත වූ එම කාන්තාවන් මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ ඉතා අමිහිරි අත්දැකීමකට ය.

සේවය කළ නිවාසවලින් නිසි ලෙස ආහාර පාන සහ වැටුප් නොලැබී විවිධ වධ හිංසාවලට ලක්වීමට ඔවුන්ට සිදු වී තිබේ.

ඒ අනුව රැකියා නියෝජිතායතය කටයුතු කර ඇත්තේ ඔවුන්ව සෞදි අරාබියේ රියාද්හි මහල් නිවාසයක රඳවා තැබීමටය.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට ය.

එමෙන්ම තමන් මෙන්ම වෙනත් රටවලින් ගෙනැවිත් දැමූ ගෘහ සේවිකාවන් බොහෝමයක් ද එම මහල් නිවාසයේ රැඳී සිටින අතර ඔවුන්ද ඉන් මුදාගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *