ධාවනය වෙමින් තිබුන ත්‍රිරෝද රථයක සිටි මවගේ ඇකයෙන් ගිලිහී පාරට වැටුන දරුවා : මවට නඩු පැවරේ

ධාවනය වෙමින් තිබුන ත්‍රිරෝද රථයක සිටි මවගේ ඇකයෙන් ගිලිහී පාරට වැටුන දරුවා : මවට නඩු පැවරේ


ධාවනය වෙමින් තිබුන ත්‍රිරෝද රථයක සිටි මවගේ ඇකයෙන් ගිලිහී පාරට වැටුන දරුවා : මවට නඩු පැවරේ

(01.03.2024 – 17:00 +0530 – hirunews.lk/sinhala)

චාරිකාවක් අතරතුර ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මවකගේ ඇකයෙන් ගිලිහී ගොස් මහ මඟට වැටුණු මසක් (1) වයසැති බිළිඳා තවදුරටත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් බිළිඳාගේ මවට නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීගමුව ප්‍රදේශයේ පදිංචි පවුල් 2 ක සාමාජිකයින් ත්‍රිරෝද රථ දෙකකින් (2) කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියේ ඊයේ (29) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා.

එක් ත්‍රිරෝද රථයක මව, පියා සහ ඔවුන්ගේ අවුරුදු 6 සහ 3 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා (2) සහ මසක් (1) වයසැති බිළිඳාද ගමන් කර තිබෙනවා.

ඒ අතරතුර මවගේ ඇකයේ සිටි මසක් (1) වයසැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා.

නමුත් ඒ බව නින්ද ගොස් සිටි දරුවාගේ මව දැන සිටියේ නෑ.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක රියැදුරු අදාළ දරුවා දැක ඒ බව කිතුල්ගල පොලිසියට දැනුම්දී තිබෙනවා.

තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ටික දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ඔවුන් මාර්ගය දෙපස දරුවා සොයමින් ආපසු පැමිණෙන අවස්ථාවේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දරුවෙකු මහ මග වැටී සිටි බවත් වෑන් රථ රියදුරකු විසින් දරුවා පොලිසියට භාරදුන් බවත් ප්‍රකාශ කර තිබුණා.

මව්පියන් පොලිසියට යන විටත් පොලිස් නිලධාරින් විසින් දරුවා කිතුල්ගල ප්‍රාදේශීය රෝහලට භාරදී තිබුණේ සිරුරේ තිබූ සීරීම් තුවාල හේතුවෙන්.

අනතුරුව එම දරුවා කරවනැල්ල රෝහලට මාරුකර යැවීමට කටයුතු කෙරුණා.

ඉන් අනතුරුවයි එම බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළේ. කෙසේ වෙතත් එහි හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බිළිදාගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ.

+

+


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට

(01.03.2024 – 20:24 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (01) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

අද (01) දහවල් 12 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අවස්ථා කිහිපයකදී සිදුකළ දැනුම් දීම්වලින් පසුවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (29) විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කියා සිටියේ වෛද්‍ය සමන් රත්නායක ගැන සැකකාරිත්වය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි.

අවස්ථා කිහිපයකදී පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා සිටියත් විවිධ හේතු දක්වමින් ඔහු එය මගහැර සිටින බවටයි අධිකරණයේදී අනාවරණය වුණේ.

++++++++

+


මැරතන් තරගයේ තරගකරුවන් දිරිගැන්වූ උසස්පෙළ සිසුවා බසයට යටවී මරුට

(01.03.2024 – 18:23 +0530 – hirunews.lk/sinhala)

යාපනය, චාවකච්චේරි, මීසාලෙයි ප්‍රදේශයේදී අද (01) උදෑසන ධාවනය වූ ලංගම බස්රථයකට පාපැදියක් යටවීමෙන් එහි ගමන්ගත් 18 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකු මියගොස් ඇතැයි අප වාර්තාකරු පවසනවා.

චාවකච්චේරි හින්දු විද්‍යාලයේ වාර්ෂික මැරතන් තරගයට ක්‍රීඩාකරන තරගකරුවන් දිරිගැන්වීම සඳහා මෙම සිසුවා සිය පාපැදියෙන් මාර්ගයේ ගමන්කරමින් සිටියදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අනතුරේදී බස්රථයේ වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව අසල තල් ගසක වැදී බස්රථය නැවතී ඇති අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ යාපනය මීෂාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි එස්. ප්‍රනීදරන් නමැති උසස්පෙළ හදාරන සිසුවෙක් ෴


ලංකාවට ගන්නැයි කියා කොල්ලකරුවන්ට හසුවූ ලොරෙන්සෝ පුතා’ ධීවරයින් උපවාසයක (01.03.2024)

+


ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සජිත් හා එක්වෙයි – පරාටේ නීතිය තවමත් ක්‍රියාත්මක බවට චෝදනා (01.03.2024)

+


ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල්ගේ පුත්‍රයා තරුණියකට පහරදීලා

(01.03.2024 – 23:03 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකට බරපතල ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.‍ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා මේ වන විට සැඟව සිටින බවයි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයෙකු වන ‘මොහොමඩ් ඉෂාම් ජමල්දීන්’ විසින් කළ පහරදීමකින් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවට වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණා.

ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දි මෙම පහරදීම සිදුව තිබු බවයි අනාවරණය වුණේ.

ඊයේ (29) අලුයම එකට (01:00) පමණ එම මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඇති අදාළ පුද්ගලයා එම තරුණියට පහරදි තිබුණා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු තරුණිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ ‘අනිකා විලියම්සන්’ නමැති තරුණියක් වන අතර, ඇය එම මහල් නිවාස සංකීර්ණයේ තනිවම වාසය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සමඟ විවාහ වි සිටින ඇය මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක හිමිකරුවෙකුගේ දියණියක් බව ද වාර්තා වනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන චෝදනා එල්ලවන ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුව කොල්ලුපිටිය සහ කැප්පටිපොල ප්‍රදේශවල පිහිටි ඔහුගේ නිවාස පරීක්ෂා කළත් ඔහු සොයා ගැනීමට හැකි වුයේ නැහැ.

පොලිසිය පැවසුවේ ඔහු පොලිසිය මඟහරිමින් සැඟව සිටින බවයි.

පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබාගැනීමටද පියවර ගත්තා.

සැකකරු සොයා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙනවා.

මෙම පහරදීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.

+


ක්‍රියා විරහිතව ඇති ගුවන් යානා 08 වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 565 ක් බදු කුලී ගෙවලා

(01.03.2024 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා 08 ක් ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත්කොට තිබුනද, එම ගුවන් යානා සඳහා බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76 ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා ඇති බවයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිය ගුවන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 27 ක අවශ්‍යතාවයක් පවතින අතර, දැනට සමාගම සතුව ඇත්තේ ගුවන් යානා 24 ක් පමණයි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව මෙහෙයුම් සඳහා යොදාගනු ලබන්නේ ගුවන් යානා 18 ක් වන අතර, එලෙස සමාගම සතුව පැවති ගුවන්යානා 24 න් 08 ක් 2023 අප්‍රේල් 20 වැනි දින වනවිට ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත්කොට ඇති බවයි එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ.

මෙලෙස භාවිතයෙන් ඉවත්කොට ඇති මෙම ගුවන් යානා සඳහා 2021 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 20 දින දක්වා කාලය තුළ බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76 ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *