පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා

පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා


පහේ (5) හපනෙකුට අලුත් පාසලේදී සිසුන් පිරිසක් බරපතළ ලෙස පහර දීලා

(28.02.2024 – 18:01 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ නෙල්ලිඅඩි මධ්‍ය විද්‍යාලයට අළුතින් හය (6) වන ශ්‍රේණියට ඇතුළත් වූ සිසුවෙකුට එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් පහර දි ඔහුගේ මුදල් පැහැර ගැනීමක් සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව එම සිසුවා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත්තේ වඩමරච්චි ප්‍රදේශයේ ගම්බද පාසලකින්.

ඔහු පාසලට ඇතුළත් කළ මුල්ම දිනයේදී මෙසේ පහර කෑමට ලක්ව ඇතත් ඔහු ඒ පිළිබදව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ සිසුවා නිවසට පැමිණ සිටියදී ඊට පසුදින ඔහුගේ කම්මුල් හා පිට ඉදිමෙන්නට පටන් ගැනීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතළ නිසා ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට මාරු කිරීමෙන් පසුව සිසුවා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහු තදබල පහර කෑමකට ලක්ව සිටින බවටයි අනාවරණය වී ඇත්තේ ෴


කිඹුලාපිටිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(28.02.2024 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කටාන – කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිනිකෙළි නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) මිය ගොස් තිබෙනවා.

පෙරේදා (26) මෙම ගින්න හට ගත් අතර එහිදී කර්මාන්ත ශාලාවේ සේවකයන් තුන්දෙනෙකු (3) පිළිස්සුම් තුවාල ලබා ඇතුලත් කෙරුණේ මීගමුව මහ රෝහලටයි.

පසුව ඔවුන් බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

එහිදී එක් (1) අයෙකු ඊයේ (27) පස්වරුවේ මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අද (28) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.

මිය ගිය දෙදෙනා 21 හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන් ෴


කථානායකට එරෙහි ‘සජබයේ’ විශ්වාසභංගයට ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සහාය

(28.02.2024 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බවයි.

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාර දීමට සැලසුම් කර තිබෙනවා.

මීට පෙර මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන බව ‘ජාතික ජන බලවේගය’ සහ ‘උත්තර ලංකා සභාගය’ ප්‍රකාශ කළා.

+

+


ග්‍රාම නිලධාරින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වැනිදා සිට

(28.02.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

නව ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ ලබන 13 වැනිදා සිට දින 3 ක් පැවැත්වෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින්.

පසුගිය වසරේ (2023) දෙසැම්බර් මස දෙවනදා (02) පැවති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වූ 4232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිතව තිබෙනවා ෴


අයි.පී. දුමින්ද රට පැන්නේ පෞද්ගලික වාසියකට ද?

(28.02.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් තර්ජන එල්ල වී ඇති බවට පවසමින් විදෙස් ගත වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති ‘දුමින්ද ජයතිලක’ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් එල්ලවන තර්ජන හමුවේ තමා දිවයිනෙන් පිටත්ව ප්‍රංශය බලා පැමිණි බවට අදාළ ස්ථානාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක, ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) වස දීමේ සිද්ධිය මෙන්ම ‘හරක්කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් රැගෙන යාමට සැලසුම් කළ මෙහෙයුම ඇතුළු පරීක්ෂණ රැසක් භාරව සිටියා.

එමෙන්ම ඔහු පසුගිය දින කිහිපයේම සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම වැටලීම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් හමුවේ ඔහුට දිගින් දිගටම පාතාලයෙන් දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ අතර මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ ද පසුගියදා අනාවරණයක් කළා.

එවන් පසුබිමක මෙරටින් පලා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානී ඉම්රාන්’ ගෙන්ද ඔහුට මරණ තර්ජන එල්ල වී තිබුණා.

ඒ අනුව ඔහු සිය 7 හැවිරිදි දියණිය හා බිරිඳ රහස් ස්ථානයක සඟවා ප්‍රංශය වෙත ගොස් තිබෙනවා. ඒ තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් බවයි ප්‍රංශයේ සිට ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් පළ කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති දුමින්ද ජයතිලක ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් වන හඬ පට පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය කියා සිටියේ.

+++++++++

+


සමාජ මාධ්‍ය‍යේ සැරිසරන ප්‍රාථමික අංශයේ දරුවාගේ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශණයක්

(28.02.2024 – 21:24 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාථමික අංශයේ දරුවෙකු සිය ගුරුවරයා විසින් යොමුකළ පැණයකට පිළිතුරු ලබා දීමේදී අපහසුතාවට ලක්වන දර්ශණ පෙලක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම වීඩියෝවේ දර්ශන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

+++++++++

+


“ගුවන් යානා ප්‍රමාදවීම හෙට සිට වළක්වාගත හැකියි”

(28.02.2024 – 22:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දිගින් දිගටම වාර්තා වූ ගුවන් යානා ප්‍රමාදවීම හෙට (29) සිට වළක්වාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසනවා.

කෙසේ වෙතත් පවතින ගැටලුකාරී තත්ත්වයන් හමුවේ අද (28) උදෑසනත් ගුවන් යානා 2 ක් අවලංගු කිරීමට ගුවන් තොටුපල බලධාරීන්ට සිදුවුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාද වීම, කටුනායක ගුවන් තොටුපලින් පිටත් වන වෙනත් ගුවන් යානා ගමන් වාර අවලංගු වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවන පසුබිමක අද (28) උදෑසනත් ශ්‍රී ලංකන් ගුවන් යානා 2 ක් අවලංගු කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත අද (28) උදෑසන 07:25 ට ගමන් කිරීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කර තිබුණා.

එමෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර දක්වා අද (28) උදෑසන 08:55 ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ද අද (28) දින අවලංගු කළ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

මෙලෙස ගුවන් යානා අවලංගු කිරීම හමුවේ විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින්ද දැඩි අපහසුතාවට පත් වුණා.

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීමට හේතුව ලෙස ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම පවසන්නේ සේවක හිඟය සහ අමතර කොටස් වල හිඟ කම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

අප කළ විමසීමකදී අනාවරණ වුයේ මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව පවතින මගී ප්‍රවාහන ගුවන් යාන 26 න් අමතර කොටස් හිඟ කම හේතුවෙන් ධාවන තත්ත්වයේ පවතින්නේ ගුවන් යානා 17 ක් පමණක් බවයි.

ඒ අනුව අමතර කොටස් හිඟ කම හේතුවෙන් ගුවන් යානා 9 ක් පියාසර කරන්නේ නැහැ.

ඊයේ (27) දිනයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන්වාර 7 ක් අවලංගු කෙරුණා.

කෙසේ වෙතත් මෙම ගුවන් යානා ප්‍රමාදවීම් හෙට (29) දිනයේ සිටි වළක්වාගත හැකි බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසන්නේ.

මෙම ප්‍රමාදයන් හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු වීම නවතා මෙම සියලු කරුණු නිරාකරණය කරමින් මෙය විධිමත් ගුවන් සේවයක් බවට පත් කිරීම බලධාරීන් සතු වගකීමක් බව ජනතාව පෙන්වා දෙනවා.

එසේ නොමැති නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී එය තවත් සුදු අලියෙක් වීම වැළැක්විය නොහැකිවනු ඇති බව ජනතා අදහසයි.

+


අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් තරුණයක් අහිමි වෙයි

(28.02.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala)

හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් යතුරු පැදියක ගැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් දුම්රිය නවතා දුම්රිය මාර්ගය හරස් කර විරෝධතාවක නිරත වීමත් සමඟ උණුසුම් තත්ත්වක් ඇති වුණා.

මෙලෙස මියගියේ පුලිච්චාකුලම ප්‍රදේශයේම පදිංචි ‘මොහොමඩ් අස්ලාම්’ නමැති 19 හැවිදිරි තරුණයෙක්.

අනතුරින් පසු දුම්රිය පුත්තලමට ගොස් යළි හලාවත බලා ධාවනය වෙමින් තිබියදී ප්‍රදේශවාසීන් පුලිච්චාකුලම දුම්රිය ස්ථානය ආසන්නයේදී මඟ හරස් කරමින් දුම්රිය නවතාගනු ලැබුවා.

එහිදී ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණේ, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය සම්බන්ධයෙන් බලධාරීන් නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *