සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට


සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

(28.02.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනා වන ‘උක්කුවා’ මහබාගේ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ජිවිතක්ෂයට පත් වුණා.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සූරියවැව අඩිගම වැව අසල වාඩියක සැකකරු සැඟවී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකයට ලද තොරතුරකට අනුව මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද (28) අලු‍යම 12:15 ට පමණ මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විශේෂ කාර්ය බලකා නිලධාරින් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ විශේෂ කාර්ය බලකායද ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. එහිදී මියගිය සැකකරු හිටපු යුධ හමුදා සෙබළෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුද තුවාල ලබා ඇති අතර ඔහු සූරියවැව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයා වලස්මුල්ල, මි ඇල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කර පසුගිය ජනවාරි 15 වනදා විශ්‍රාම ගොස් තිබුණා.

මෙම පුද්ගලයා පසුගිය වසරේ අගෝස්තු 28 වනදා වැල්ලම්පිටිය – කිත්තම්පහුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියකට මෙන්ම, සීනිගමදී ‘රත්ගම විදුර’ නමැති අපරාධකරුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධියට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ‘වැල්ලේ සාරංග’ගේ මස්සිනා වන ‘උක්කුවා’ ඝාතනයට අදාළ ගිනි අවි ප්‍රවාහනය සහ එම ඝාතනයට ආධාර අනුබල ලබාදීම යටතේ කාන්තාවන් දෙදෙනෙකු (2) ද පසුගිද අත්අඩංගුවට ගැණුනා.

පසුගිය 21 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව 42 හැවිරිදි ජා-ඇල, උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි ‘දොන් සුජිත්’ හෙවත් ‘උක්කුවා’ නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණේ ඔහුට අයත් ඌරුමස් වෙළඳසැලක් තුලදීයි.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘ඩුබායි නිපුන’ නැමැත්තා මෙහෙයවා ඇති බවටයි අනාවරණ වුණේ.

මේ අතර, බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 14 දෙනා ලබන මස 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර නියෝග කළා.

එසේම, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිදු’ සමග සම්බන්ධ වූ සියලු‍ දෙනාගේ දත්ත ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසිය විසින් සිදු කරන විමර්ශන අවසන් අදියරේ පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

මේ වනවිටත් මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඇතැම් අයගේ බැංකු ගිණුම් සහ දුරකතන වාර්තා ලබා ගෙන ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

එහි සේවය කළ නිළධාරින් 34 දෙනා සම්බන්ධයෙන් බැංකු ගිණුම් සහ දුරකතන වාර්තා ලබා ගෙන ඇති බවත් එම විමර්ශණයට අදාළව සැකයට තුඩු දෙන ගනුදෙනු සිදුව නැති බවට අනාරවරණය වූ බවත් කියා සිටියා.

අවශ්‍ය නම් අදාළ නඩුව මෙහෙයවන මහේස්ත්‍රාත්වරයාගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමට නියෝගයක් වුව ද ලබා ගැනීමට පසුබට නොවන ලෙසයි මෙහිදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඔවුන් වෙනත් ආකාරයෙන් මුදල් උපයා ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මේ අතර අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාලව විභාග සමත් නිලධාරින්ට සහතික පත් පිරිනැමීමේ උත්සවයක් අද (28) පැවැත්වුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

+


ශ්‍රී ලංකන් ගුවන් ගමන් 3 ක් අදත් (28) අවලංගුයි

(28.02.2024 – 07:16 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපළෙන් අද (28) උදෑසන පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් (3) අවලංගු කර තිබෙනවා.

ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ කටුනායක සිට අද (28) අළුයම 00:25 ට මලයාසියාවේ ක්වාලම්පූර් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ එම්.එච්. 178 දරණ යානයත් ඉන්දියාවේ හයිද්රාබාද් දක්වා උදෑසන 07:25 ට පිටත් වීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් මෙලෙස අවලංගු කර ඇති බවයි.

එමෙන්ම නේපාලයේ කත්මණ්ඩු දක්වා උදෑසන 08:55 ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ යානයද අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ (27) දිනයේත් ගුවන් ගමන් වාර 7 ක් අවලංගු කරනු ලැබූ අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි.

එමෙන්ම දිගින් දිගටම පැවති ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් ඊයේ (27) කටුනායක ගුවන් තොටුපළ පාළු ස්වාභාවයක් ගෙන තිබුණා. මෙම ප්‍රමාදයන් හේතුවෙන් වන්දනා චාරිකාවක නිරත වූ මෙරට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද තායිලන්තයේ අපහසුතාවයට පත්ව සිටිනවා.

කෙසේ වෙතත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය කියා සිටියේ ගුවන් යානා ප්‍රමාදවීම ඇතුළුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ගැටලු‍කාරී තත්ත්වය නිරවුල් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි ෴


රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන වරදකරු වූ යාපනයේ ශාන්තන් මියයයි

(28.02.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ‘ශාන්තන්’ නැමැත්තා 27 දා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් තිබෙනවා.

ඔහු වසර 32 කට පසුව සිය මව බැලීමට යාපනයට පැමිණීමට නියමිතව සිටියදී ඔහුට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කොට සිටි අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්තන්ගේ මව විසින් ඉන්දීය රජයට ඉදිරිපත් කරණ ලද අභියාචනයක් සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉන්දීය රජයේ ඇනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කොට තිබුණා ෴


පවතින විදුලි බිල සියයට 33 කින් අඩු කළ හැකි බවට නිර්දේශ

(28.02.2024 – 08:47 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති නව ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ‘මහජන උපයෝගීතා කොමිසම’ මේ වනවිට රැස්වී තිබෙනවා.

කොමිසම රැස්වීමට පෙර එහි සාමාජිකයෙකුගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ සැලකිය යුතු ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩුවීමේ තීරණය පිළිබඳ අද (28) දිනයේ අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 18 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය අවසන් වරට විදුලි බිල සංශෝධනය කල අතර එහිදි සියයට 18 කින් විදුලි බිල ඉහළ නංවනු ලැබුවා.

පසුව වාර්තා වුණේ පසුගිය වසරේ (2023) දෙසැම්බර් 31 වනදා වනවිට බිල් නොගෙවීම හේතුවෙන් සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 10,69,539 කගේ පමණ විදුලිය විසන්ධි කර ඇති බවයි.

මෙම තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවතියේ විදුලිබිලට කඩිනම් සහනයක් ඉල්ලමින්.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මීළග ගාස්තු සංශෝධනයේදී පසුගිය ඔක්තෝම්බර් මාසයේ වැඩි කළ ප්‍රතිශතයෙන්ම ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර, සියයට 33 ක වැනි ප්‍රතිශතයකින් විදුලිබිල අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණා ෴


සරසවි අනධ්‍යයන සේවකයින් වර්ජනයක

(28.02.2024 – 10:20 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා සහ මාසික හිලව් දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු මුල් කරගෙන දිවයිනේ සියළු සරසවි වල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවා කටයුතු වලින් අද (28) දිනයේ ඉවත්ව ඇති බව විශ්ව විද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වන්නිනායක පවසනවා.

ඔහු කියා සිටියේ, හෙට (29) දිනයේත් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

+


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම්

(28.02.2024 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (MSMEs) සහන පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අරමුදල් සපයන ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟලුම් සහ විවිධ වාණිජ මෙහෙයුම්වල යෙදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇති බවයි රජය පවසන්නේ.

ඒ අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සහනයක් ලෙස කාරක ප්‍රාග්ධන සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

යෝජිත වැඩසටහන මඟින් දැනට පවතින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත යටතේ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කිරීම සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා ණය පහසුකම් සැපයීම අපේක්ෂා කරන බවද සඳහන්.

ඒ අනුව කොටස් දෙකකින් (2) සමන්විත සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20 ක් වැය කර තිබෙනවා.

මෙයින් දැනට පවතින සහ නව ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 15 ක් යොදවන අතර ඉතිරි මුදල රු. බිලියන 05 ක් අක්‍රීය ණය කාණ්ඩය යටතේ ව්‍යවසායන් සඳහා ආධාර කිරීම සඳහා යෙදවීමට නියමිතයි.

ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා ෴


ජල සම්පාදන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

(28.02.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ජල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

මෙම අරමුදල් 1 වන උප වැඩසටහනේ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් ලෙසත් II උප වැඩසටහන යටතේ තවත් ඩොලර් මිලියන 100 ක් ලෙසත් ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

එහිදී අමාත්‍යවරයා දැක්වූයේ මෙවන් අදහසක් :
“අපගේ ප්‍රතිසංස්කරණවලින් 75%ක් සම්පූර්ණ වී ඇති අතර එය ඉදිරියට ගෙන යාමට අපට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි”


යූටියුබ් ඇවිත් කෑමට විෂ දාන කොම්පැනි ගැන කථා කර මාස 7 න් PHI ඝාතනයවීම ගැන සැකයක්

(28.02.2024 – gossiplankanews.com)

අභිරහස් ලෙස සිය නිවසේදී ඝාතනය වූ ඩබ්ලිව්.ඩී. රොෂාන් කුමාර PHI මහතා මීට මාස 07 කට පෙර ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනට වෛද්‍යවරයෙකු සමග පැමිණ විශාල හෙලිදරව් කිරීම් කිහිපයක් කළේය.

“දුඹුරු සීනි, රතුහාල්, මිරිස්කුඩු, සෝස් මේ සේරම පිළිකාකාරක ඩයි වලින් නාවලා තියෙන්නේ” යනුවෙන් නම් කර තිබූ එම වැඩසටහනේදී ඔහු නොබියව අහිතකර ආහාර සමාගම් ගැන හෙළිදරව් කළේය. මිරිස්කුඩු, තක්කාලි සෝස්, සිනි සඳහා වර්ණක යොදා ගන්නා බවත් ඒවා මේ වන විට වෙළඳපොළේ ඇති බවත් ඔහු කීය.

‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W.D. රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීම කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි සැක කරන අතර විමර්ශන කණ්ඩායම් බහු ජාතික සමාගමක විෂ සහිත ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව ඔහු සිදුකළ පරීක්ෂණයක් ඇතුළු කටයුතු රැසක් සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

දැනට මූලික විමර්ශනවලින් හෙළි වි ඇත්තේ මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඇති වූ තර්ජනයක ප්‍රතිඵලයක් බව යැයි විමර්ශන අංශ හෙළි කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ රොෂාන් කුමාර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන නිලධාරියෙක් වූ බවද හෙළි විය. ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ගලයන් ප්‍රමාණය විශාල බව ද අනාවරණය වී තිබේ. රොෂාන් කුමාර වෘත්තිය වෙනුවෙන් දැඩිව කැපවී කටයුතු කරන නිලධාරියෙක් බැවින් ඔහු යටතේ සිටින නිලධාරියකුට පවා යම් වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ නොලැබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබුණි.

මේ වන විට සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකරමින් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

26 වනදා පෙරවරුවේ යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක් රොෂාන් කුමාරගේ නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු පාසලට භාරදීමට නියමිතව සිටි සිය සිඟිති පුතාගේ නම සහිත ටැග් එක පරිගණකයෙන් නිර්මාණය කරමින් සිටියදී ය.

වෛද්‍ය සේනක ගමගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W.D රොෂාන් කුමාර සමග චමුදිත සමරවික්‍රම කළ වැඩසටහන වීඩියෝව පහතින් :

+++++++++

https://www.youtube.com/watch?v=FzqUDfFy4xY

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *