ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට


ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය ගැන තවත් ලිපිගොනු තොගයක් CIDයට

(26.02.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්න සහගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ගොනු තොගයක් භාර දී තිබෙනවා.

ඔවුන් අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීමටයි.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය තුළ සිදුවන තවත් ව්‍යාජ ලිපි ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දක්වා තිබෙනවා.

ඒ, දරුවන් සඳහා ලබාදෙන ඖෂධයක් ව්‍යාජ ලියකියවිලි සකසා ගෙන්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපි ගොනු භාරදීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්, රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

මේ අතර, ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ වසන්ත යාපා බණ්ඩාර අද (26) එහි පැමිණියා ෴

[Video]


අසාත්මිකතාවයක් හේතුවෙන් සිසුන් පිරිසක් රෝහලට

(26.02.2024 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් දස දෙනකු (10) පමණ ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිසුන් පිරිස විද්‍යාලීය භූමියේ කාණුවක් සුද්ද කරමින් සිටියදී මෙසේ අසාත්මිකතාවයකට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ පළමුව සිසුන් පස්දෙනෙකු (5) හා සිසුවියන් දෙදෙනෙකු (2) මෙසේ රෝහල් ගත කර ඇති බවයි.

ඉන් අනතුරුව තවත් සිසු සිසුවියන් කිහිප දෙනෙකු කැසීමට ලක්වීම හේතුවෙන් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

(26.02.2024 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ‘කැලුම් මුදන්නායක’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන්.

ඔහු අද (26) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

පොලිසිය පැවසුවේ ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴


මේ වසරේ (2024) මේ දක්වා වෙඩි තැබීම් 19 කින් 13 ක් ජිවිතක්ෂයට

(26.02.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ (2024) මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම් සිද්ධීන් 19 ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම සිද්ධින්වලදී 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම්වලින් බහුතරයක් පාතාල කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (25) කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් ඊයේ (25) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් ජම්පටාවීදිය ප්‍රදේශයේ මස් වෙළඳසැලක් පවත්වා ගෙන යන 57 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘පූකුඩු ඛන්නා’ගේ සමීපතමයෙකු බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම පසුගිය 24 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මේ අතර, මීගමුව – පමුණුගම – ලෙල්ලම අසළදී පසුගිය අගෝස්තු මස 12 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය ප්‍රවාහනය කිරීම සහ සඟවා තබාගැනීමට ආධාර අනුබලදුන් දෙදෙනෙකු (2) ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 32 සහ 40 යන වයස්වල පසුවන බදුවත්ත සහ අම්බලයාය ප්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී අදාළ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


මද වැසි ලැබුණත් උණුසුම තවදුරටත්

(26.02.2024 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මද වැසි ලැබුණද උෂ්ණාධික කාලගුණය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අධික උෂ්ණත්වයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් වලංගුවන බවයි.

ඊයේ (25) දිනයේ වැඩිම උෂ්ණත්වය වාර්තාවූයේ කුරුණෑගලින්.

ඒ, සෙල්සියස් අංශක 35.5 ක් ලෙස එය සටහන් වුණා.

පාසල් දරුවන් මෙන්ම රෝගී වැඩිහිටි ජනතාව මෙම තත්ත්වයන් පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ඒ අනුව, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල නොයොදවන ලෙසයි අධ්‍යාපනය අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත දැනුම්දී ඇත්තේ.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරග සහ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙස ද එම උපදෙස් මාලාවේ සඳහන්.

මෙම උපදෙස් මාලාව අද (26) දිනයේ විදුහල්පතිවරුන් වෙත ලිඛිතව යොමු කර තිබෙනවා.

+


සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ විශාලම යාත්‍රාව මෙරටින්

(26.02.2024 – 13:22 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ නිෂ්පාදනය කළ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විශාලම යාත්‍රාව යාපනය කලපුව වෙත දියත් කිරීම පසුගියදා සිදු වුණා.

‘ECO 80’ ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වීම විශේෂත්වයක්.

මෙරට ප්‍රමුඛ පෙළේ යාත්‍රා නිෂ්පාදන සමාගමක් විසින් නිපදවූ ‘Eco 80’ යාත්‍රාව කරෙයිනගර් යාත්‍රා අංගනය ඔස්සේ යාපනය කලපුව වෙත දියත් කිරීම පසුගියදා සිදු වුණා.

මෙම සුවිශාල මගී යාත්‍රාව දිගින් අඩි 80 ක් වන අතර එහි පළල අඩි 30 ක් වනවා.

යාත්‍රාවේ බර කිලෝග්‍රෑම් 40,000 ක් පමණ වන අතර යාත්‍රාව මගින් එකවර මගීන් 200 පමණ රැගෙන යා හැකිවීමත් විශේෂත්වයක්.

යාත්‍රවේ සියලු විදුලි අවශ්‍යතා සැපයෙන්නේ සූර්ය පැනල 48 ක බලශක්ති පද්ධතියක් යොදා ගනිමින් වන අතර දකුණු ආසියාවේ නිෂ්පාදනය කළ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විශාලම යාත්‍රාව ද වන්නේ මෙයයි.

බංග්ලාදේශයේ සංචාරක කර්මාන්තයට අදාළ ඇණවුමක් සඳහා මෙම යාත්‍රාව සැලසුම් කර නිෂ්පාදනය කිරීමට ගතව ඇති කාලයක් මාස 06 ක්.

සම්පූර්ණ ලෙස වායු සමීකරණය කර ඇති මෙහි ප්‍රධාන ශාලාව පාරිභෝගික ඇනවුම් අවශ්‍යතා අනුව අවන්හලක් ලෙස හෝ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ද වෙනස් කළ හැකියි.

+


බිරිඳ තම මියගිය සැමියාගේ සිරුර දින තුනක් (3) නිවසේ තියාගෙන ඉඳලා

(26.02.2024 – 15:28 +0530 – hirunews.lk/sinhala)

මියගිය සැමියාගේ සිරුර දින තුනක් (3) සිය නිවසේ තබා ගෙන සිටි කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගැනීමට පානදුර පොලිසිය සමත් වී තිබෙනවා.

මෙම කාන්තාව සැමියාගේ මළසිරුර නිවසේ තබා ගෙන සුරතලයට ඇති කරන සුනඛයා ද සමඟ නිවසේ දොරගුලු ලා ගෙන සිට ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක් වන එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අප වාර්තාකරු පැවසුවේ පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ නිවසකින් අධික දුගඳක් හමන බවට ලද තොරතුරකට අනුව පොලිසිය සිදු කළ සොයා බැලීමකදී අදාළ කාන්තාව හා මළසිරුර සොයාගත් බවයි.

කෙසේ වෙතත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවට සැක පලකරන බවයි පොලිසිය සඳහන් කළේ ෴


ග්‍රහලෝකාගාරය හෙට (27) සිට වැසේ

(26.02.2024 – 15:48 +0530 – hirunews.lk/sinhala)

ග්‍රහලෝකාගාරය හෙට (27) සිට ලබන මස 12 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ග්‍රහලෝකාගාරය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති එකම ග්‍රහලෝකාගාරය වෙනවා.

එය කොළඹ 7 ස්ටැන්ලි තිලකරත්න මාවතේ ස්ථාපනය කොට ඇති අතර වර්තමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවද සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *