ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි – ශ්‍රී ලංකන් සමාව අයදී

ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි – ශ්‍රී ලංකන් සමාව අයදී


ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි – ශ්‍රී ලංකන් සමාව අයදී

(25.02.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයන් අද (25) අලුයම හතරේ (04:00) සිට පැය 3 කට ආසන්න කාලයක් සේවයෙන් ඉවත්ව සිටියා. ඒ, තමන්ට පැවරී ඇති රාජකාරිවල ධාරිතාව දරාගත නොහැකි බව පවසමින්.

මේ හේතුවෙන් කටුනායක තොටුපලෙන් චෙන්නායි, හයිද්‍රාබාද්, බංග්ලාදේශයේ – ඩකා සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්වීමට තිබූ යානා හතරක් (4) ප්‍රමාද වූ බවයි වාර්තාවන්නේ.

කටුනායක ගුවන් තොටුපල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරරත්න සඳහන් කළේ මෙය කිසිදු අයුරකින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

සීමිත සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටීම හේතුවෙන් දරාගැනීමට අපහසු වැඩකොටසක් පැවතීම සහ ගුවන් යානා ප්‍රමාදවීම් වැනි හේතු මත මගීන්ගේ දෝෂදර්ශනයට ලක්වීම මෙලෙස සේවකයන් ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමට හේතුවූ බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනාධිකාරිය විසින් හෙට (26) දිනයේ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දුවීමත් සමග ගුවන් තොටුපල සේවකයන් යළි සේවයට වාර්තා කළ බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවකයන් රාජකාරි කටයුතුවලින් ඉවත්වීම මගින් පිරික්සුම් කවුන්ටරවල සිදුවූ ප්‍රමාදය සම්බන්ධයෙන් ගුවන් මගීන්ගෙන් සමාව අයැද සිටින බවයි.

+


තරු පන්තියේ හෝටල්වල පුරප්පාඩු

(25.02.2024 – 06:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට තරු පන්තියේ හෝටල් හි පවතින සේවක පුරප්පාඩු නිසා සංචාරකයිනට නිසි ලෙස ආහාර පානාදිය ඇතුළු සේවාවන් ලබාදීමේ දුෂ්කරතාවයන්ට එම හෝටල් කළමනාකාරිත්වය පත්ව ඇති බව වාර්තා වනවා.

කළමනාකාර සේවයේ සිට මුළුතැන්ගෙය දක්වා සෑම අංශයකම සේවක පුරප්පාඩු පවතින බවත් ඒ සඳහා සුදුසුකම් සහිත සේවකයන් අයැදුම් නොකිරීම නිසා මෙම පුරප්පාඩු පුරවා ගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ හෝටල් කළමනාකාරිත්වය ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

තරු හෝටල් හි පුහුණුව ලැබූවන් බොහෝ දෙනකු විදේශ හෝටල්හි රැකියා සඳහා පිටත්ව යෑම සහ හෝටල් පාසල් හි පුහුණුව ලැබූ බොහෝ දෙනකු විදේශ හෝටල් හි රැකියා අපේක්‍ෂාවෙන් සිටීම නිසාත් මෙම තත්ත්වය උදාව ඇති බවයි වාර්තා වන්නේ.

මීට විසඳුම් ලෙස හෝටල් සේවාව පිළිබඳ පුහුණුව ලැබූ තරුණ තරුණියන් කඩිනමින් තරු හෝටල් සඳහා යොමු කරවීමට පියවර ගන්නා බවයි ආයෝජන මණ්ඩල ප්‍රකාශකයෙකු පැවසුවේ ෴


එක් අයෙක් රුපියල් ලක්‍ෂ 12.5 ක් ණයයි

(25.02.2024 – 07:04 +0530 – hirunews.lk/sinhala)

රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28,094.69) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මේ අනුව හතරදෙනකු (4) ගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබා ගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් පනස්ලක්‍ෂ හැටදහසකට (50,60,000) වැඩි වී ඇති බවයි ඔහු පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කළේ.

රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසර වන විට පැවතුණේ රුපියල් හය ලක්‍ෂ අනූදහසකට (6,90,000) ආසන්න ප්‍රමාණයකි.

එය 2021 වසර වන විට රුපියල් ලක්ෂ 08 ඉක්මවා තිබුණි.

එහෙත් පසුගිය වසර තුනක (3) කාලයේ දී එම මුදල දෙගුණයකටත් (2) වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

රටේ මුළු ණය ප්‍රමාණය ගැන සලකා බැලූ විට එය පැවතුණේ රුපියල් බිලියන 13,031 ක් වශයෙන්.

2020 වසර වන විට එය බිලියන 15,117 දක්වා වැඩිවී තිබුණු අතර 2021 වසර වන විට රුපියල් බිලියන 17,614 දක්වා වර්ධනය වී තිබෙනවා.

2022 වසර වන විට රුපියල් බිලියන 27,492 දක්වා වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව පෙනී යන්නේ 2019 වසර වන විට රජය එක් පුද්ගලයකු වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් 5,98,000 ක් බවය.

2020 වසර වන විට රුපියල් 6,90,000 දක්වාත් 2021 වසර වන විට රුපියල් 7,95,000 දක්වාත් එය වැඩිවී තිබෙනවා.

මේ කාලයේ දී ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක් ෴


වැඩබලන පොලිස්පතිව ධුරයෙන් යවන්න නඩු හතක් (7)

(25.02.2024 – 08:57 +0530 – hirunews.lk/sinhala)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව නඩු 7 ක් පවරා ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ ඔහුව පොලිස්පතිධුරයේ ස්ථීර නොකරන ලෙස බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ ආරක්ෂක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ෴


රුපියල් කෝටි එකහමාරක් (1½) ගෙවා කූඨ ලේඛන සකසා ග්‍රීසියට යෑමට තැත් කළ ව්‍යාපාරික පවුලක් අත්අඩංගුවට

(25.02.2024 – 10:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් (1,40,00,000) තැරැව්කරුවෙකුට ගෙවා කූට ලෙස සකස් කළ ‘ග්‍රීක වීසා’ මගින් යුරෝපය වෙත යෑමට තැත් කළ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරික කටයුතුවල නිරත වන මෙම පවුලේ පියා 43 හැවිරිදි වියේ පසුවන අතර, මව 47 හැවිරිදි වියේ පසුවන්නියක්. ඔවුන් සමග 16 සහ 21 හැවිරිදි පුතුන් දෙදෙනා (2) ද ඊයේ (24) පස්වරුවේ බහරේනය බලා යෑමට පැමිණ තිබුණා ෴


යාපනය මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව ගොඩගනියි

(25.02.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වඩමාරච්චි, කට්ටකාඩු මුහුදේ පාවෙමින් තිබූ අද්භූත වස්තුව නාවික හමුදාව විසින් පළාතේ ධීවරයින්ගේද සහය ඇතිව ඊයේ (24) ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

එහිදී යකඩෙන් තනන ලද එම වස්තුව කිලෝ ග්‍රෑම් 4000 කට වඩා බරින් යුත් නිසා එය ගොඩගැනීම සඳහා යාපනය, වෙත්තිලකේණී නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටරයක්ද යෙදවීමට සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

නාවික හමුදාව සඳහන් කර ඇත්තේ එය අද්භූත වස්තුවක් නොව විශාල නැව් ගැඹුරු මුහුදේ නැංගුරම් දැමීමේදී භාවිතයට ගන්නා විශේෂ බෝයාවක් බවයි.

යකඩවලින් කේතුවක ආකාරයට තනන ලද එම බෝයාවේ ඉහල කොටස කොතක ආකාරය ගෙන තිබුණද, එහි යට කොටස විශාල යකඩ ප්‍රමාණයක් යොදාගෙන වැඩි බරකින් යුතු වන ආකාරයට නිපදවා තිබෙනවා.

මුහුදු ගොස් ආපසු පැමිණෙමින් සිටි වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් මෙවැනි වස්තුවක් මුහුදේ පාවෙමින් තිබෙනු දැක, ඒ පිළිබඳව නාවික හමුදාවට හා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

නාවික හමුදාව ගොඩගන්නා ලද එම විශේෂ බෝයාව වඩමාරච්චි වෙරළාසන්නයේ තබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.


රැකියා ජාවාරමක නිරත වු චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(25.02.2024 – 10:51 +0530 – hirunews.lk/sinhala)

රැකියා ලබා දෙන පවසමින් මුදල් ජාවරමේ නිරතවූ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

52 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වංචා විමර්ශණ එකකයට ලද පැමිණිල්ලකට අනුවයි.

මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම චීන ජාතික කාන්තාව වංචාකළ මුදල රුපියල් ලක්ෂ 84 ඉක්මවා තිබෙනවා ෴


රුසියානු – යුක්රේන සංචාරකයන්ට කළ දැනුම්දීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්

(25.02.2024 – 10:58 +0530 – hirunews.lk/sinhala)

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්රේන සංචාරකයින්ට දින 14 ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මීට පෙර වාර්තාවූයේ මෙරට දීර්ඝකාලීනව ජීවත්වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට රට හැර යෑමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි.

ආගමන විගමන පාලක පසුගිය 22 වනදා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මෙම නීතිය පිළිබඳ අදාළ සංචාරකයන් දැනුවත් කරන ලෙසද ඉල්ලා තිබුණා ෴

යාවත්කාලීන කිරීම :
නිකුත් කරන ලද නිවේදනයට අනුව රුසියානු සහ යුක්රේන සංචාරකයින්ට දින 14 ක් ඇතුළත රටින් පිටවන ලෙස ඉල්ලා සිටීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නැවත අවධාරණය කර තිබෙනවා. ඒ අනුව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 05 වනදා සිට

(25.02.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂා මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට ලබන මස පස්වනදා (05) සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව සඳහන්.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴


‘යුක්තිය’ට ජාත්‍යන්තර ඇස

(25.02.2024 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට එරෙහිව ශ්‍රී ලංකාවේ දැන් සිදුකෙරෙන ‘යුක්තියේ මෙහෙයුම’ පිළිබඳව පිටරටවල් ද අවධානය යොමුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසා තිබෙනවා.

ඒ අනුව විදේශ රටවල සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී එම රටවල්වලින් ද විශේෂ සහයෝගයක් හිමිවන බව ද හෙතෙම සඳහන් කළා.

එහිදී මෙරට ජාවාරම්කරුවන් පිළිබඳව රතු වරෙන්තු නිකුත් කිරීමට එම රටවල්වල සහයෝගය නිතැතින්ම හිමිවන බවද ඔවුන් මෙරට ගෙන ඒමේදී අවශ්‍ය සහාය නොඅඩුව ලැබෙන ඔහු සඳහන් කළා ෴


දුම්රියේ ගැටීමෙන් නාවික සෙබළෙකු ජීවිතක්ෂයට

(25.02.2024 – 12:42 +0530 – hirunews.lk/sinhala)

රත්ගම, විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

අද (25) උදෑසන මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙනුයි මෙම සෙබළා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, බූස්ස – පිටිවැල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නාවික සෙබළෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු සිය රාජකාරිය නිම කොට යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටිය දීයි මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත්තේ ෴


මල් සපයන්නන් අපහසුතාවක

(25.02.2024 – 13:37 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා මල් ශාලා, තරු හෝටල් හා මංගල උත්සව සඳහා ස්වාභාවික මල් සපයන බදුල්ල පට්ටිපොල ගම්වාසීන් මේ වනවිට දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

ඒ, වර්ෂාවත් සමඟ ඔවුන්ගේ මල් වගා විනාශ වීම හේතුවෙන්.

කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර ඇතුළු දිවයින පුරා පිහිටි මල්ශාලා, ප්‍රධාන හෝටල් සහ මංගල උත්සව සඳහා දුම්රියෙන් ඔවුන් මල් ප්‍රවාහනය සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලණු අධික වර්ෂාව නිසා සිය මල් වගාවන් විනාශවී යාමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

ඉතිරිව ඇති මල් වගාවෙන් නෙලා ගන්නා මල් ප්‍රමාණය හෝ අලෙවි කිරීමෙන් නිසි ආදායමක් උපයාගැනීමට නොහැකි වී ඇත්තේ ප්‍රවාහන වියදම්ද වැඩි වීම හේතුවෙන්.

+


එළවළු මිල තවදුරටත් බහී; සහල් අතිරික්තයක් ගැන ඇමතිගෙන් ඉඟි

(25.02.2024 – 13:50 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන කන්නයේ සිට රට තුළ සහල් අතිරික්තයක් ඇතිවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හම්බන්තොට මැටිගත්වල ප්‍රදේශයේ අක්කර 100 ක පමණ භූමිභාගයක පළමුවරට වගා කළ ‘කීරි සම්බා’ වගාව ඊයේ (25) නිරීක්ෂණය කිරීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

කීරි සම්බා සහල් සඳහා ඉල්ලු‍මට සරිලන සැපයුමක් ලබාදීමට නම් එම වගාව රට තුළ තවදුරටත් ව්‍යාපෘති කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ කියා සිටියේ කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260 ක පාලන මිලක් රජය පනවා තිබුණ ද වෙළෙඳපොළේ එම මිල ඉක්මවා කිරී සම්බා අලෙවි වන බවයි.

මේ අතර දඹුල්ල, තඹුත්තේගම, වැලිමඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන්වල පහළ යාමක් අද (25) දිනයේ වාර්තා වුණා.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 400 ක් ලෙසත්, වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක් වූ අතර, අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මිලකටත් අලෙවි කෙරුණා.

මාළු මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 320 දක්වා පහළ ගොස් ඇති අතර බෝංචි රුපියල් 400 ක්, බීට්රූට් රුපියල් 300 ක්, තක්කාලි රුපියල් 350 ක්, ලීක්ස් රුපියල් 250 ක් වශයෙන් කිලෝග්‍රෑමයක මිල පහළ ගොස් තිබූ බව සඳහන්.

මේ අතර මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන හයක් (6) ඉන්දියානු සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ජාතික ගොවිජන එකමුතුව ඊයේ (24) චෝදනා කරනු ලැබුවා.

කෙසේවෙතත් එම චෝදනාව පදනම් විරහිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *