ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටි ජීවිතක්ෂයට

ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටි ජීවිතක්ෂයට


ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටි ජීවිතක්ෂයට

(23.02.2024 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ඇල්ලේ කඳු තරණයට ගිය තරුණයෙකු ප්‍රපාතයකට ඇද වැටි ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම තරුණයා 22 හැවිදිරි මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ අනතුර සිදු වී එම තරුණයා බරපතළ තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබනවා ෴


මෝදර වෙඩි තැබීමට තවත් දෙදෙනෙකු (2) අල්ලයි

(23.02.2024 – 10:40 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මෝදර – ලෙල්ලම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයින් දෙදෙනකු (2) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සේදවත්ත – කලුපාලම සහ ෆර්ගියුෂන් මාර්ගය අසල දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (22) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 16 සහ 21 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එක් (1) සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 451 ක් සොයා ගැණුනා.

විදේශ රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තාගේ මෙහෙයවීමෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පසුගිය 16 වනදායි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴


හත්වෙනි (7) අද්භූත වස්තුවත් මුහුදේ පා වෙයි

(23.02.2024 – 12:20 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ වඩමරච්චි පට්ටුකාඩු මුහුදේ කේතුවක ආකාරයකට සකසන ලද මෙතෙක් හඳුනා ගෙන නොමැති වස්තුවක් මුහුදේ පාවෙමින් පවතින බව වඩමරච්චි ධීවරයෝ ප්‍රකාශ කරනවා.

ඔවුන් මේ පිළිබදව නාවික හමුදාවට හා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැණුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මසුන් මැරීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි වඩමරච්චි ධීවරයින් පිරිසක් මෙම අද්භූත වස්තුව දැක ඇති අතර එවැනි වස්තුවක් ඔවුන් මීට පෙර දැක නොමැති බවද නාවික හමුදාවට ප්‍රකාශ කොට තිබෙනවා.

ගත වූ මාස දෙකක (2) කාලය ඇතුළත වඩමරච්චි මුහුදු ප්‍රදේශයට මේ අන්දමට පාවී ආ හත්වෙනි (7) අද්භූත වස්තුව මෙය වන අතර නාවික හමුදාව පළාතේ ධීවරයින්ට උපදෙස් දී ඇත්තේ මුහුදේ පාවෙන හෝ මුහුදු වෙරළට ගොඩ ගසන කිසිම වස්තුවක් ඇල්ලීම ඇදගෙන ඒමට උත්සහ කිරීම හෝ පරීක්ෂා කිරීමට නොයන ලෙසයි ෴


උෂ්ණත්වය තවමත් ඉහළට

(23.02.2024 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මෙන්ම ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (23) දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවයි.

තවද, බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එය පවතින උණුසුම පහව යෑමට ප්‍රමාණවත් නොවන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.

ගතවූ පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.4 රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (22) රාත්‍රියේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ඉහළ ගියද සුළු වැසි විටින් විට ඇතිවිය හැකි බවයි.

එහෙත් විදුලිබල මණ්ඩලය පවසන්නේ මේ දිනවල විදුලි ඉල්ලුමේ කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම, ජනවාරි මස 23 වනදා වනවිට සියයට 50 ක පමණ පැවති ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30% ත් 35% ත් අතර මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදය කුමාර ප්‍රකාශ කළා.

මේ අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සන්නිවේදන කළමනාකරු සරත් චන්ද්‍ර මුතුබණ්ඩා පවසනවා.

කෙසේ වෙතත්, මේ දක්වා ජලය කළමනාකරණය කිරීමේ ගැටලුවක් උද්ගත වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

මේ අතර, අධික උෂ්ණත්වය හේතුවෙන් ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සන්නිවේදන කළමනාකරු සරත්චන්ද්‍ර මුතුබණ්ඩා කියා සිටියේ ෴


ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(23.02.2024 – 13:13 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉලෙක්ට්‍රොනික දුම්වැටි තොගයක් සමග පෑලියගොඩදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 30 ක පමණ වටිනාකමකින් යුත් ඉලෙක්ට්‍රොනික දුම්වැටි, සුරාබදු නිලධාරින් භාරයට ගෙන ඇති අතර, ස්මාර්ට් ඔරලෝසු ආකාරයට සකස් කළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි කිහිපයක් ද එහිදී හමුවුණා.

සැකකරු ප්‍රකාශ කර ඇත්තේ මේවා පාසල් ළමයින් සහ තරුණ තරුණියන් අතර වඩා ප්‍රචලිත බවයි.

මෙම ඉලෙක්ට්‍රොනික දුම්වැටි නීතිවිරෝධීව මෙරටට ගෙන්වීමෙන් රුපියල් කෝටි 10 කට අධික ආදායමක් රජයට අහිමිවී ඇතැයි සඳහන් ෴


මියන්මාරයේ කඳවුරකට තවත් ශ්‍රී ලාංකිකයෙක් යයි

(23.02.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ කදවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගැනීම සඳහා සාකච්ඡා පවත්වන අතරවාරයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකු එම ප්‍රදේශයට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට අප මුල්වරට කරුණු අනාවරණ කළේ ඔවුන්ට සිදුවන හිරිහැර සහ පහරදීම් සම්බන්ධයෙන්ද සාක්ෂි සපයමින්.

අනතුරුව එලෙස කොටුවී සිටින පිරිස බේරාගැනීම සඳහා මියන්මාර රජය සහ බිම්ස්ටෙක් රටවල් සමඟ සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගියදා මෙරටට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රේතා තව්සින් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයාද ඔහුගෙන් ඉල්ලා සිටියේ මෙම මිනිස් ජාවාරම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් යළි දිවයිනට ගෙන්වාගැනීමට මැදිහත්වන ලෙසයි.

මෙලෙස මියන්මාරයේ කොටුවී සිටින පිරිසගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් පසුගිය 12 වනදා මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අලි සබ්රි ද මුණගැසුණා.

එවන් පසුබිමකයි ඩුබායිහි සිටින අතරමැදියෙකු මාර්ගයෙන් ශ්‍රී ලාංකිකයා මෙරට සිට අදාළ ප්‍රදේශයේ රැකියාව සඳහා ගොස් තිබුණේ.

දැනට මියන්මාරයේ අදාළ වහල් කඳවුර තුළ සිටින පිරිස තායිලන්තයට ගොස් තායිලන්ත – මියන්මාර දේශසීමාව හරහා සහ ඩුබායි සිට ගුවන් මගින් මියන්මාරයට පැමිණ මියාවඩි නැමති අදාළ කඳවුර පිහිටා තිබූ ප්‍රදේශයට ගොස් තිබූ නමුත් ඊයේ (22) පැමිණි පුද්ගලයා මියන්මාරයේ අගනුවර වෙත ගුවන් මගින් පැමිණ තිබුණේ මෙරට සිටයි.

+

මේ අතර, කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි විස්සකට (20) ආසන්න මුදලක් වංචා කළ ජාවාරම්කරුවෙකු පිළිබඳ තොරතුරු කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

පසුගිය වසරේ (2023) ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා මොහු විසින් පුද්ගලයින් 44 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සේ (20) සිට ලක්ෂ 75 දක්වා මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔහු මේ වනවිට සිය පවුලේ සාමාජිකයන් සමඟ ඩුබායි හි සැඟව සිටින බවටද වාර්තාවී තිබෙනවා. වංචාවට ලක්වූවන් ජාවාරම්කරුගේ කිරිබත්ගොඩ පිහිටි විදේශ රැකියා ආයතනයට ගොස් ඇති අතර, එය වසා දමා තිබීම හේතුවෙන් ඔවුන් ජාවාරම්කරුගේ මව්පියන් රැඳී සිටින නිවසට ගොස් තිබුණා.

+

+


නීත්‍යානුකූල නොවන ආකාරයට ගෞරව නාම ලබාගත් අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

(23.02.2024 – 14:46 +0530 – hirunews.lk/sinhala)

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාල විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත් ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලබන සුවිශේෂී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන ජාතික සම්මාන හා ගෞරව නාම සඳහා යොදාගන්නා නාමයන් භාවිතා කරමින් විවිධ පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් සම්මාන, සන්නස් පත්‍ර හා සහතික ලබා දෙන අවස්ථා ජනාධිපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

මෙවැනි ආකාරයේ අසංවිධිත සම්මාන ප්‍රදානයන් මගින් මේ දක්වා ගෞරව ප්‍රණාමයට පත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් හට දැඩි අසාධාරණයක් හා අගෞරවයක් සිදුවන බවයි එහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ජාතික සම්මාන සඳහා යොදා ගනු ලබන එවැනි ගෞරව නාමයන් වෙනත් පාර්ශ්වයන් විසින් වැරදි ආකාරයට භාවිතා කිරීම වහා නතර කළ යුතු බවත්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ලේකම්වරයා එහිදී සඳහන් කර තිබෙනවා ෴


ගෙවත්තක වළ දමා තිබු සයමස් (6) වියැති දරු ගැබක් ගොඩ ගනී

(23.02.2024 – 16:01 +0530 – hirunews.lk/sinhala)

වටවලවත්ත ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ සයමස් (6) වියැති දරුගැබක් වටවල පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත ගොඩගනු ලැබුවා.

මීට දින කිහිපයට පෙර මෙම දරු ගැබ වළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ නිවසේ සිටි 46 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා ප්‍රදේශයෙන් පළාගොස් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


රජරට ගොවීන්ගෙන් මැසිවිල්ලක්

(23.02.2024 – 16:21 +0530 – hirunews.lk/sinhala)

රජරට ප්‍රදේශයේ වී අස්වනු නෙළීම මේවන විට ආරම්භ කර ඇතත් එම අස්වනු වෙළෙඳුන් විසින් මිලදී ගන්නේ ඉතා අඩු මිලකට බව එම ප්‍රදේශවල ගොවීන් චෝදනා කරනවා.

නමුත් පාරිභෝගිකයින් පවසන්නේ වෙළඳපොළ තුළ මේවන විට සහල් අලෙවිවන්නේ පාලන මිලද ඉක්මවමින් බවයි.

මින්නේරිය රොටවැව ගොවි ජනපදයේ අක්කර 500 ක පමණ භූමි ප්‍රමාණයක මේවන විටත් වී අස්වනු නෙලා ඇතත්, එම වී අස්වනු අලෙවිකර ගැනීමට නොහැකිව ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් චෝදනා කරන්නේ වෙළෙදුන් රුපියල් 75 ත් 85 ත් අතර මිලකට වී මිලදී ගැනීම නිසා තමන්ට කිසිදු ලාබයක් අත්නොවන බවයි.

එලෙස වෙළෙදුන් ගොවීන්ගෙන් අඩු මිලකට වී මිලදී ගත්තත් වෙළෙඳපොළේ සහල් අලෙවි වන්නේ පාලන මිලද ඉක්මවමින්.

සහල් පාලන මිලට අනුව සහල් කිලෝවක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ක්, නාඩු කිලෝවක් රුපියල් 220 ක් සහ රතු කැකුලු කිලෝවක් රුපියල් 210 ක් ලෙස දැක්වුණා.

නමුත් මේ වනවිට වෙළඳපොළේ සහල් අලෙවි වන්නේ එම මිල ගණන්ද ඉක්මවමින්.

+


කැනඩා යවන මුවාවෙන් මුදල් අරන් ඩුබායි පැනලා

(23.02.2024 – 16:32 +0530 – hirunews.lk/sinhala)

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිස් විදේශගතවන්නේ වෙනත් විසඳුමක් නොමැති තැනයි.

තමන් සතු දේපළ පවා උකසට තබමින් ඒ සඳහා යොමු වන අසරණ ජනතාව තවත් අසරණ කරන පිරිස්ද අප සමාජයේම සිටීම කණගාටුවට කරුණක්.

එලෙස රුපියල් කෝටි 20 කට ආසන්න මුදලක් වංචා කළ විදෙස් රැකියා ජාවාරම්කරුවකු පිළිබඳ තොරතුරක් මේ.

කැනඩා රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා ජනතාවගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් මෙම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පිහිටා ඇත්තේ කිරිබත්ගොඩ නගරයේයි.

මෙහි හිමිකරු මේ වනවිට රුපියල් කෝටි විස්සකට (20) අධික මූල්‍ය වංචාවක් සිදුකර සිය පවුලේ සාමාජිකයින් සමඟ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පසුගිය වසරේ (2023) ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙම ජාවාරම්කරු විසින් පුද්ගලයින් 44 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ 75 දක්වා මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වන්නේ.‍

ඒ අනුව, ඔහු වංචාකර ඇති මුළු මුදල රුපියල් කෝටි 20 කට ආසන්නයි.

මෙම චෝදනා එල්ලවන ඒජන්සි හිමිකරු මේ වනවිට රටින් පිටවී ඇති බැවින් එම වංචා චෝදනාවලට මුහුණ දීමට සිදුව ඇත්තේ ඔහුගේ මව්පියන්ටයි.

අදාළ සිද්ධිය පිළිබඳ පෑලියගොඩ ඇතුළු අදාළ බල ප්‍රදේශවල පොලිස් සථාන දැනුවත් කර ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *