‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට

‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට


‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයා වන ‘පියුමා’ අත්අඩංගුවට

(15.02.2024 – 06:35 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සලිදු මල්ෂික’ හෙවත් ‘කුඩු සලිදු’ගේ ඩුබායි හී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධාන ගෝලයා වන ‘පියුම් හස්තික’ හෙවත් ‘පියුමා’ දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි හීදී ඔහු අත්අඩංගුවට ගෙන අද (15) අලුයම මෙරටට රැගෙන ආ බවයි.

පසුව ඔහු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා.

++++++++

+++++++++

+


මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලොක්කෙකුට වැඩ වරදී

(14.02.2024 – 22:37 +0530 – sinhala.adaderana.lk)

අල්ලස් චෝදනා එල්ලවූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට අධිකරණය විසින් වසර දෙකක (2) බරපතළ සිරදඬුවම් නියම කර එය වසර 5 කට අත්හිටුවා තිබේ.

මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුටය.

අදාළ නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.

2019 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකට අනුව සැකකරුට චෝදනා 04 ක් යටතේ අධිචෝදනා කර තිබුණි.

එහිදී සැකකාර ධාවන කළමනාකරු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපාය දූතයෙකු ඉදිරියේ රුපියල් 100,000 ක මුදලක් අල්ලස් ලෙස ගෙන ඇත.

අධිකරණය සැකකරුට එක් එක් චෝදනාවට රුපියල් 5000 බැගින් රුපියල් 20,000 ක දඩයක් ද නියම කර ඇත.

දඩය නොගවන්නේ නම් අදාළ වසර 2 ට අමතරව තවත් මාස 6 ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබේ ෴


මුදලට කෑදරකමට බෙහෙත්වලින් ගසා කාලා | මිනීමරණ උන් ටිකක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්නෙ | SUDAA CREATION | 14.02.2024

+


ඉන්දීය භූ දේශපාලනය සහ ලාංකික දේශපාලන පක්ෂ | අලුත් පාර්ලිමේන්තුව | 2024.02.14

+


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය පෙබරවාරි 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

(15.02.2024 – 21:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා පෙබරවාරි 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට සම්බන්ධවයි.

හිටපු අමාත්‍යවරයා වෛද්‍ය නිර්දේශ මත අධිකරණය හමුවේ අද (15) පෙනී නොසිටින බවට දැනුම් දී තිබුණා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, පරීක්ෂණ සඳහා නිසි සහයක් නොදැක් වූ දැනට විදේශගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය ලබන 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

අදාළ නියෝගය ඔහුට ඊමේල් පණිවුඩයක් මගින් යොමු කරන ලෙසටද ඇය නියෝග කර තිබෙනවා ෴

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයක් ඇති බව අද (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු පහැදිලි කර තිබෙනවා.

එවැනි අවස්ථාවකදී ඔහුට කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවයි නීතීඥයවරයා අධිකරණයට පවසා ඇත්තේ.

මේ මොහොතේ බන්ධනාගාරයේ එම රෝගී තත්ත්වයට ලබාදිය යුතු ප්‍රතිකාර නොමැති බවයි ඔහු වැඩිදුරටත් අධිකරණයට පවසා ඇත්තේ ෴

++++++++

+


පොලිසියේ තිදෙනෙක් (3) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුගෙන් වැඳ සමාව ගනී

(15.02.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට පොලිසියේ සැරයන්වරයෙකු (1) සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුදු 87 ක ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුගෙන් දණ නමා වැද සමාවගෙන තිබෙනවා.

ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ පෙත්සම්කරු සහ වග උත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇති වු සමථයකට අනුවයි.

ගොඩ්වින් පෙරේරා නැමති අදාළ පුද්ගලයා 2017 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මීට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

ඒ මාර්ගය පිරිසිදු කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට පත්ව සිටි අවස්ථාවේදී තමන් ඔහු රෝහල්ගත කර පොලිසියට දැනුම්දීමෙන් පසුව අදාළ පොලිස් නිලධාරීන් තුන්දෙනා (3) තමන් අත්අඩංගුවට ගත් බව පවසමින්.

+


හරින් සිදුකළේ යැයි කියන ප්‍රකාශයට විරෝධයක්

(15.02.2024 – 19:25 +0530 – hirunews.lk/sinhala)

“ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොටසක්” බව පිළිගනිමින් ඉන්දියාවේ මුම්බායි නගරයේදී පැවති ව්‍යාපාරික හා ව්‍යවසායක හමුවකදී කැබිනට් අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

මේ පිළිබඳව අද (15) ‘BBC නිව්ස්’ ද තොරතුරු වාර්තා කර තිබුණා.

හරින් ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ “තෙල් ටැංකි ගත්තේ ඉන්දීය සමාගම්වලින්. අපේ සූර්ය බල ශක්ති සපයන්නේත් ඉන්දීය සමාගම්. මම හිතන්නේ, ඒ නිසා තමයි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කළේ, ඔබ කොහේ හරි සංචාරය කරනවා නම්, ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කියලා, මොක ද, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ඇත්තට ම.”

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස හරින් ප්‍රනාන්දු “ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව ඒත්තු ගන්වමින් කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්,” බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස ද සේවය කළ ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහු ඉන්දියාවේදී කළ එම ප්‍රකාශය “අතිශයින් බරපතළ” එකක් බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴


කල්පිටිය OICගේ වැඩ තහනම් කරයි

(15.02.2024 – 18:01 +0530 – sinhala.adaderana.lk)

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි ෴


2023 වසරේ FaceBook සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 31,548 ක්

(15.02.2024 – 16:43 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂයේ මුහුණු පොත සම්බන්ධයෙන් පැමිණිලි 31,548 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

මෙම පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ කොළඹ, කුරුණෑගල , අනුරාධපුර හා ගම්පහ යන ප්‍රදේශවලින් බවයි සඳහන් වන්නේ.

කාන්තාවන්ට සිදු වී ඇති අකටයුතුකම් සඳහා වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, 10,774 ක් බවයි සඳහන් වන්නේ ෴


ආදුරුප්පුවිදීය සිද්ධියට තවත් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(15.02.2024 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පුවිදීය පොලිස් සිර මැදිරිය තුළ සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) සයිනයිඩ් මිශ්‍ර කිරි ලබා දී ඝාතනයට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ඔරුගොඩවත්ත සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු ගම්පොළ – ගලහ දෙල්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර රඳවා ගෙන ප්‍රශ්න කරන ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුවයි මෙම සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගැනුණේ ෴

++++++++

+


ගුරුවරුන් දෙදෙනෙකු (2) පමණක් සිටින පාසලක් පොළොන්නරුවෙන් හමුවෙයි

(15.02.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක සිට බලපා ඇති ගුරු හිඟයට සහ යටිතල පහසුකම්වල පවතින දුර්වලතාවන් හේතුවෙන් පොළොන්නරුව, දළුකාන, මලියදේව මහා විද්‍යාලයේ සිසු දරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මේ දක්වා නිසි විසඳුම් ලැබී නොමැති බව පවසමින් සිසු දරුවන්ගේ මව්පියන් උද්ඝෝෂණයකද නිරත වුණා.

පසුගිය කාලයේ ළමුන් 300 ක් පමණ ඉගෙනුම ලැබූ මෙම පාසලේ වත්මන් සිසු සංඛ්‍යාව 69 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඊට දැඩි ලෙස බලපා ඇත්තේ පාසලේ පවතින ගුරු හිඟයයි.

මේ නිසා දරුවන් ප්‍රදේශයේ වෙනත් පාසල් වෙත ගොස් ඇතැයි මව්පියන් පවසනවා.

මේ වන විට පාසලේ සේවය කරන්නේ ගුරුවරුන් දෙදෙනෙකු (2) පමණයි. පාසලට විදුහල්පතිවරයෙකු පවා නොමැති බවයි මව්පියන් මැසිවිලි නගන්නේ.

මීට අමතරව වසර කිහිපයක සිට නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් පාසලේ ගොඩනැගිලි ද විනාශ මුඛයට පත්වෙමින් පවතිනවා.

පවතින ගැටළුව සම්බන්ධයෙන් දිඹුලාගල කලාප කාර්යාලය අවස්ථා කිහිපයකදී දැනුවත් කල ද ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එම පාසලේ දරුවන් සහ මව්පියන් පාසල ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

මෙම දුෂ්කර ප්‍රදේශයේ දරු දැරියන් සඳහා අධ්‍යාපනය ලබා ගැනීමට ඇති එකම පාසල වන මෙම පාසල වෑසි යාමට ඉඩ නොදී මෙම ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු කරන ලෙසයි මව්පියන් ඉල්ලා සිටින්නේ.

+


සිසුවියන් තිදෙනෙකුට (3) ලිංගික අතවර කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට

(15.02.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවියන් තිදෙනෙකුට (3) ලිංගික අතවර කිරීමට තැත් කළ පාසල් ගුරුවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන වටවල ප්‍රදේශයේ දමිළ පාසලක විද්‍යා ගුරුවරයෙක්.

වසර පහක (5) පමණ කාලයක් එම පාසලේ විද්‍යාව ගුරුවරයා වශයෙන් සේවය කළ සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට (3) ලිංගික බලපෑම් කරමින් එස්.එම්.එස්. කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කෙටි පණිවිඩවලට පාසල් සිසුවියන් පිළිතුරු නොයැවිම නිසා එම සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වි සිටින පුටුව මත තම ‘යෝජනාවට එකඟද?’ යනුවෙන් ලියා තිබු බවයි අගතියට පත් පාසල් සිසුවියන් සඳහන්කර සිටින්නේ.

අවු 44 හැවිරිදි සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු වන බවත්, එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

+


මහනුවර කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක්

(15.02.2024 – 11:45 +0530 – hirunews.lk/sinhala)

මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරය ආසන්නයේ අද (15) උදෑසන ජීප් රියක් යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් යතුරු පැදියේ ගමන්ගත් වයස අවුරුදු 43 ක් වන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු මිය ගොස් ඇති අතර ඔහුගේ බිරිඳ බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රාජගිරිය කළපළුවාවල ප්‍රදේශයේ සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබූ ජීප් රථය අලදෙණිය ප්‍රදේශයේදී වේගය පාලනය කර ගත නොහැකිව අසල ඇල්ලට වැදී අනතුරට ලක් වී යතුරු පැදියේද වැදී ඇති ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට තිත්තපජ්ජල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) පැවැත්වීමට නියමිතයි.

අලදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *