වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි

වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි


වෘත්තිය සමිති 17 ක් අද (29) ලෙඩවෙයි

(29.01.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අංශයේ විධායක සේවා ගණයට අයත් නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

වැටුප් විෂමතා ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලබන්නේ.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, ගණකාධිකාරී සේවා සංගමය ඇතුළු වෘත්තීය සංගම් 17 ක් මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනවා ෴

+++++++++

රාජ්‍ය අංශයේ සියලු විධායකයින් අද (29) ලෙඩවෙයි

(29.01.2024 – 08:10 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකර ඇති අතර අද (29) දිනයේ දී රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පවත්වන බව එම කමිටුවේ සභාපති එච්.එල්.ඒ. උදයසිරි මහතා පැවසුවේය.

“අද (29) දවසේ රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින්, මේ රටේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. මේ රටේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මේ රටේ මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් අද (29) කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වනවා…”

විධායක සේවයේ නිලධාරීන්ගේ නොවිසිඳුනු වෘත්තීය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සභාපති එච්.එල්.ඒ. උදයසිරි මහතා සඳහන් කළේය ෴

++++++++

+


ගත වූ පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 836 ක් අත්අඩංගුවට

(29.01.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 579 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 257 ක් සමගින් මුළු සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

තවද, සැකකරුවන් 06 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 01 ක් පුනරුත්ථාපනය සදහා යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 18 ක්ද, අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 257 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 26 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 219 ක් ද තිබෙනවා ෴


‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාවට ඇත්තටම මොකද වුණේ ?

(28.01.2024 – 22:34 +0530 – sinhala.adaderana.lk)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන ‘ලොරෙන්සෝ පුතා 4’ නමැති යාත්‍රාව සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු හෙළිවෙමින් පවතී.

කෙසේ වෙතත් ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ, ‘ලොරෙන්සෝ පුතා 4” නමැති අදාළ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ඊයේ (27) දහවල් එකේ (01:00) පමණ සිට මේ දක්වා සියලු සන්නිවේදන කටයුතු බිඳවැටී ඇති බවය.

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට පිවිස තිබුණේ ධීවරයින් 06 දෙනෙකු සමගිනි.

එම යාත්‍රාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 1,160 ක් දුරින් වූ අරාබි මුහුදු ප්‍රදේශයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අරාබි මුහුදේ ධීවරයින් රැකියාවේ නිරත ප්‍රදේශයට ඊයේ (27) එකවරම පැමිණි කිසියම් යාත්‍රාවක් ‘ලොරේන්සේ පුතා 04’ යාත්‍රාව පසුපස හඹාවිත් ආයුධ සන්නද්ධ දෙදෙනෙකු (2) ඊට බලහත්කාරයෙන් ඇතුළුවී අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඒ වනවිටත් මෙම යාත්‍රාවේ හිමිකරුට අයත් තවත් බහුදින ධීවර යාත්‍රා 2 ක් එම ප්‍රදේශයේම යාත්‍රා කරමින් සිට ඇති අතර ඉන් එක් යාත්‍රාවක ධීවරයින් 8 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙකු රැඳී සිට ඇත.

‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාවේ සිටි ධීවරයින් රේඩියෝ උපාංග මගින් සිය සහචර යාත්‍රාවකට තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම පණිවිඩය යාත්‍රා හිමිකරු වන ‘ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා’ට රේඩියෝ උපාංග මගින් සැල කර තිබුණි.

මේ වනවිට ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්‍රාව සමඟ සන්නිවේදන කටයුතු සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ධීවර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමටය.

අතුරුදන් යාත්‍රාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස බහරේනයේ පිහිටි රටවල් 40 කින් සමන්විත ‘ඒකාබද්ධ සමුද්‍රීය බලකාය’ට දැනුම්දුන් බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා ‘අද දෙරණ’ට පැවසීය.

‘ඒකාබද්ධ සමුද්‍රීය බළකාය’ සැලකෙන්නේ ලොව විශාලතම සමුද්‍රීය ආරක්ෂණ හවුල්කාරීත්වය ලෙසය.

සෝමාලියානු කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි පැවසෙන යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

යාත්‍රාවේ නියමුවා 32 හැවිරිදි අයෙක් වන අතර සෙසු පිරිස වයස අවුරුදු 23, 27, 33 සහ 44 යන වයස්වල පසුවන තොඩුවාව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඔවුන් අතර එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු (3) සිටින බවය.

https://www.youtube.com/watch?v=nx5j1tE5ZgI#t=5

+++++++++

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් මෙරට ධීවරයින් පිරිස බේරා ගැනේ

(29.01.2024 – 16:16 +0530 – hirunews.lk/sinhala)

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍රහණයට ගත් මෙරට ධීවරයින් 6 දෙනා නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියේ සීෂෙල්ස් නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී මුහුදු කොල්ලකරුවන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 12 වනදා දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබූ ලොරෙන්සෝ පුතා 4 නැමති මෙම යාත්‍රාව එහි සිටි ධීවරයින් පිරිස සමග අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පෙරේදා (27) වාර්තා වුණා.

අනතුරුව නාවික හමුදාව මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ සමුද්‍රීය බලකායද දැනුවත් කළ අතර ඉන් අනතුරුවයි නෞකාව සහ එහි සිටි ධීවරයින් පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ.

+


රටම කලබමින් අනතුර සිදු කල ‘සනත් නිශාන්තගේ රියදුරා’ කල බොරු හෙලි වෙයි ? (29.01.2024)

+


තවත් ජීවිතයක් මුහුදට බිලි

(29.01.2024 – 07:24 +0530 – sinhala.adaderana.lk)

මුලතිවු, පුදුමාතලන් ප්‍රදේශයේදී මුහුදු වෙරළේ පිරිසක් සමග දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.

පොලීසිය පවසන්නේ, ඊයේ (28) අතුරුදන් වූ පුද්ගලයා ඥාතීන් පිරිසක් සමග පුදුමාතලන් ප්‍රදේශයේදී මුහුදු වෙරළේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා 10 කොටස, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

නාවික හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඇතුරුදන් වූ අය සෙවීමේ කටයුතුවල නිරතව සිටි බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


උඩරට දුම්රිය පීලි පැනීමට හේතු වු ඩොලර් හිඟය

(29.01.2024 – 08:04 +0530 – sinhala.adaderana.lk)

උඩරට මාර්ගයේ දුම්රිය දිගින් දිගටම පීලිපැනීම් සිදුවීමට හේතු වී ඇත්තේ දුම්රිය පීලි ගෙවී යාම සහ සිල්බර කොට දිරා යෑම බව වාර්තා වේ.

හැටන් සිට බදුල්ල බලා වන කොටස තුළ දුම්රිය පීලි පැනීම් ඉතා බහුල ලෙස වාර්තා වන අතර පෙරේදා (27) දිනයේ ද හැටන් සිග්ගිමලෛයි ප්‍රදේශයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්වුණි.

මෙම කොටස සඳහා භාවිතා වන පීලි සහ සිල්බර කොට දීර්ඝ කාලයකින් අලුත්වැඩියා කර නොමැති බව වාර්තා වේ.

දුම්රිය පීලි සහ ඒවා සවිකිරීමේ දී යොදා ගන්නා විවිධ ඇණ කොටස් හා දුම්රිය පීලි සිල්බර කොටස්වලට සවිකිරීමේ දී යොදා ගන්නා ඇතැම් ඇණ ඇතුළු කොටස් ඔස්ට්‍රියාව හෝ යුරෝපීය කලාපයේ රටවලින් ආනයනය කළ යුතු වේ.

මීට වසර කිහිපයකට පෙර මේවා ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බව සඳහන්ය.

එහෙත් කොරෝනා වසංගත තත්ත්වය සහ ඉන් අනතුරුව මතුවු ආර්ථික අර්බුදය මෙන්ම ඩොලර් සංචිත රජය සතුව නොමැතිවීම හේතුවෙන් එම ආනයනය කිරීම් ප්‍රමාද වී තිබේ.

එම ප්‍රමාද වීම මේ දක්වා කාලය ගතව ඇතත් තවදුරටත් ඩොලර් සංචිත හිඟය හේතුවෙන් රේල් පීලි සහ එම උපකරණ රැගෙන ඒමට නොහැකි වී ඇති බව සඳහන්ය.

මේ අතර දුම්රිය පීලි පැනීමට ලක්වු අවස්ථාවේ දී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් මගීන් ප්‍රවාහනය කෙරෙන අතර ඊට ද දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශාල පිරිවැයක් යෙදීමට ද සිදුව තිබේ ෴


උරුමයෙන් පවුල් ලක්ෂ 20 කට ඔප්පු

(29.01.2024 – 17:48 +0530 – hirunews.lk/sinhala)

‘උරුමය’ වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදීමට නියමිත බව ජනාධිපති කාර්‍යාලය පවසනවා.

‘උරුමය’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනාවලියෙන් රුපියල් බිලියන 02ක් වෙන් කරනු ලැබුවා.

උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000 ක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පෙබරවාරි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතයි ෴


සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ‘පියත් නිකේෂල’ අත්අඩංගුවට

(29.01.2024 – 16:47 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ‘පියත් නිකේෂල’ අද (29) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ‘ශාන් ගනේගොඩ’ නැමැත්තා පටිගත කළ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැත්වූ දුරකතන සංවාදයක් ‘පියත් නිකේෂල’ ඔහුගේ Youtube සමාජ මාධ්‍යයෙහි පලකර තිබීම හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ අදාළ වීඩියෝවේ ඇති මාතෘකාව නොමඟ යවන සුළු එකක් බවයි.

‘පියත් නිකේෂල’ ද මීට පෙර 2023 වසරේ ජූනි 26 වැනිදාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ 2022 වසරේ ජූලි 09 වන දා අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීයි ෴


සහෝදරයාගේ දියණිය අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසරක 50 ක සිර දඩුවමක්

(29.01.2024 – 16:44 +0530 – hirunews.lk/sinhala)

දස (10) හැවිරිදි දැරියක් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි වසර 50 ක බරපතල වැඩසහිත සිරදඩුවම් නියම කළා.

මෙලෙස දඩුවම් නියම කළේ සිය සහෝදරයාගේ දස (10) හැවිරිදි දියණිය අවස්ථා තුනකදී (3) බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකුටයි.

2018 වසරේ ජනවාරි මස 01 වන දින හෝ ඊට ආසන්න දිනයකදී මෙම පුද්ගලයා විසින් මහනුවර – මහමුල්ගම දී දියණිය අපයෝජනයට ලක්කර තිබුණා.

අදාළ දඩුවමට අමතරව දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරිය, එම මුදල් ගෙවීම පැහැරහරින්නේ නම් විත්තිකරුට තවත් වසර 02 ක සිරදඩුවමක් නියම කරන බවයි සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *