විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය


විදේශිකයින් සූරා කන පින්නවල ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

(30.12.2023 – 20:15 +0530 – hirunews.lk/sinhala)

සංචාරක කර්මාන්තය අද වනවිට මෙරටට ආශිර්වාදයක් වී ඇති බව නොරහසක්.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් අද වනවිට දක්නට ලැබෙන අතර සැලකිය යුතු විදේශ විනිමයක් ද ඒ හරහා මෙරටට හිමි වනවා.

නමුත් සංචාරකයින්ගේ පැමිණීම දඩමීමා කරගනිමින්, සංචාරක කලාප මුදල් ගැරීමේ පාරාදීස බවට පත් කරගන්නා ජාවාරම්කරුවන් පිළිබඳවයි ‘හිරු CIA’ අද (30) අනාවරණය.

මෙරට විශාලතම එළිමහන් සත්වෝද්‍යානය වන පින්නවල දෙස් විදෙස් ජනතාව අතර අතිශය ජනප්‍රිය සංචාරක කලාපයක්.

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින්ගේ ක්‍රියාකාරකම් නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් පින්නවල පිරී යන්නේ දෙසැම්බර් සිට අගෝස්තු දක්වා කාල සීමාවේ දීයි.

මෙහි වඩාත් සිත් ගන්නාසුලු දර්ශනය වන්නේ දිය නෑම සඳහා අලි ඇතුන් මා ඔයට රැගෙන යන දර්ශනයයි.

දිනකට දෙවරක් (2) කෙරෙන මෙම ක්‍රියාව නැරඹීම සඳහාම විදේශිකයින් බහුලව පැමිණෙනවා.

මා ඔයේ දිය නෑමට රැගෙන එන අලි රංචු සමඟ ඇත්ගොව්වන් ද 50 කට වැඩි සංඛ්‍යාවක් පැමිණෙනවා.

එලෙස රැගෙන එන අලි ඇතුන් සමග සමීපව ඡායාරූප ගැනීමට විදේශිකයින් පොළඹවා පසුව අනීතිකව ඔවුන්ගෙන් මුදල් සූරාකන ජාවාරමක් පිළිබඳව ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව ‘හිරු CIA’ පින්නවල අලි අනාථාගාරය වෙත ගියේ එම ජාවාරමේ සුලමුල අනාවරණය කරගැනීම සඳහායි.

හිරු CIA කළ සූක්ෂ්ම නිරීක්ෂණයේදී තහවුරු වුණේ අලි ඇතුන් සමඟ ඡායාරූප ගැනීමට ඉඩ ලබාදී, පසුව ඇතැම් ඇත්ගොව්වන් විදේශිකයින්ට බලපෑම් කරමින් මුදල් ලබාගැනීමට කටයුතු කරන බවයි.

දියනෑමට රැගෙන එන අලි රංචු පිළිබඳව මෙන්ම ඇත්ගොව්වන්ගේ ද ක්‍රියා කලාපය අධීක්ෂණය කිරීමට යොදවා ඇති අලි රංචු භාරකරුවන් ද ඇත්ගොව්වන්ට රිසි සේ විදේශිකයින්ගෙන් මුදල් සූරාකෑමට ඉඩ දී බලා සිටීමත් විමතියට කරුණක්.

අලින් සමඟ සමීප ඡායාරූපයක් ගැනීමට විදේශිකයින් පොළඹවා ගැනීමෙන් පසු දෛනිකව එක් ඇත්ගොව්වෙකු රුපියල් 35,000 ත් 40,000 ත් අතර මුදලක් උපයා ගන්නා බවයි ‘හිරු CIA’ මෙහිදී හෙළි කරගත්තේ.

ඇතැම් විදේශිකයින් එම ඡායාරූප ගැනීමට කැමැත්තක් පළ නොකළත්, ඒ සඳහා පෙළඹවීමක් කරන මෙම ඇත්ගොව්වන් ඒ හරහා මුදල් ගරාගැනීමට මාර්ගයක් පාදා ගන්නවා.

එමෙන්ම මෙම ඇත්ගොව්වන් මෙහෙයවන තවත් ජාවාරමක් පිළිබඳවත් ‘හිරු CIA’ මෙහිදී හෙළි කරගත්තා.

ඒ, ඉවතලන එළවළු හා පළතුරු අලි ඇතුන්ට ලබාදීමට බාහිර පුද්ගලයින් දෙදෙනෙකු (2) හරහා විදේශිකයින්ට ඇවිටිලි කිරීමයි.

අනතුරුව විදේශිකයින් ඒවා ආහාර සඳහා අලි ඇතුන්ට ලබාදුන් පසු ඇදහිය නොහැකි මුදලක් ඔවුන්ගෙන් ලබාගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කරනවා.

මෙම ක්‍රියාකලාපයට විදේශිකයින්ගෙන් එල්ල වන්නේ දැඩි අප්‍රසාදයක්.

එමෙන්ම ඇත්ගොව්වන් සිදුකරන තවත් වංචනික ක්‍රියා රැසක් ද ‘හිරු CIA’ හෙළි කරගත්තා.

අර්බුදයකින් පසු යළි ශක්තිමත් වෙමින් පවතින මෙරට ආර්ථිකයේ අද වනවිට කොඳු නාරටිය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි.

සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යන වාතාවරණයක එය දඩමීමා කරගනිමින්, මෙවැනි සංචාරක කලාප මුදල් ගැරීමේ පාරාදීස බවට පත් කරගැනීමට ජාවාරම්කරුවන්ට ඉඩ දී බලධාරීන් බලා සිටින්නේ නම් එය අනාගතයේදී මෙරටට අහිතකර අන්දමින් බලපානු ඇති.

+


පාසල් අවටින් මත්ද්‍රව්‍ය රැසක් සොයාගනී

(30.12.2023 – 16:41 +0530 – sinhala.adaderana.lk)

පාසල් අවට මීටර් 500 ක සීමාව පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය රැසක් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

පාසල් 3,183 ක් ඉලක්ක කරමින් මෙලෙස මීටර් 500 ක දුර සීමාව ආවරණය කරමින් මෙම පරීක්ෂා කිරීම් සිදුකර තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන සහ ජාවාරම් කරන සැකකරුවන් 217 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකළ සෝදිසි කිරීම්වලදී හෙරොයින් ග්‍රෑම් 95 ක්, ගංජා ග්‍රෑම් 7130 ක්, නීතිවිරෝධී දුම්වැටි 85 ක්, මත්පෙති 16,561 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 48 ක් සහ මාවා කිලෝ 113 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

වැඩි විස්තර පහතින් :


පිළිකා රෝගීන්ගේ සිත් සුවපත් කරවන නවාතැන

(30.12.2023 – 22:24 +0530 – sinhala.adaderana.lk)

පිළිකාව නිසා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටින අය ඕනෑතරම් අද සමාජයේ සිටී.

එවන් අය වෙනුවෙන් මානසික සහනයකින් යුතුව කල්ගෙවීමට වෙන් කෙරුණු අපූරු පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මඩකලපුවේ දැන් ස්ථාපිත කර තිබේ.

ඒ පිළිබඳව ‘අද දෙරණ’ තොරතුරු සොයාබලනු ලැබීය.

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ පිළිකා සත්කාර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕනෑම පිළිකා රෝගියෙක් සඳහා විවෘතය.

‘මඩකළපුව ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ඉක්බාල්’ගේ සංකල්පයකට අනුව ආරම්භ කළ එම මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ ධානපතින් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබයි.

පිළිකාවට අවැසි ප්‍රතිකාර සඳහා නිවසේ සිට නිතරම දුරබැහැර යාමට අපහසු, ඒ සඳහා ගමන් වියදම් දරාගත නොහැකි සහ රෝහලට නුදුරු ස්ථානයක මුදල් ගෙවා නතරවීමට හැකියාවක් නැති ඕනෑම රෝගියෙක්ට මෙහි නවතින්නට හැකියාව තිබේ.

අතමිට මුදල් තිබුණත්, රෝගය නිසා නිවසේ රැඳෙන්නට මානසිකත්වයක් නැතිනම් හෝ පවුලේ සාමාජිකයන්ට රෝගියා රැකබලාගැනීමේ ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඔවුන්ටත් එම මධ්‍යස්ථානය විවෘතය.

මෙහි නේවාසිකව සිටින රෝගීන්ට අවශ්‍ය ආහාර පාන නොඅඩුව පිරිනැමෙයි.

රෝගීන් ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලබන්නේ මේ මධ්‍යස්ථානයේම ගිලන් රථ මගිනි.

රෝගීන්ගේ මානසික තත්ත්වය යහපත්ව තබාගැනීම මෙහි මූලික අරමුණකි.

ඒ නිසාම මේ මධ්‍යස්ථානයේ පරිසරය පවා අලංකාරව සකස් කර තිබෙන්නේ රෝගීන්ට ප්‍රියමනාප ලෙසිනි.

‘තමන් පිළිකා රෝගියෙක්’ යන හැඟීම මේ රෝගීන්ට නොදැනෙන තරම්ය.

ඒ වෙනුවෙන් මෙහි කාර්යමණ්ඩලය දැඩි ලෙස කැපවෙයි.

විශේෂත්වය වෙන්නේ මේ සියල්ල සිදුකෙරෙන්නේ නොමිලේ වීමය.

මේ කිසිඳු රෝගියෙක්ගෙන් කිසිඳු මුදලක් කිසිඳු අයුරකින් හෝ අයකෙරෙන්නේ නැත.

මෙම මධ්‍යස්ථානයේ වරකට නේවාසික පහසුකම් සැලසිය හැකි රෝගීන් සංඛ්‍යාව 30 කි.

+


UAE බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකුට සමාව

(30.12.2023 – 21:47 +0530 – sinhala.adaderana.lk)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබාදී ඇත.

දෙසැම්බර් 02 දිනට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ ෴


රැවටී රට ගිහින් ආපසු එන්න බැරුව ඉන්න පිරිස වැඩිවෙයි

(30.12.2023 – 21:28 +0530 – sinhala.adaderana.lk)

රැකියා ලබාදෙන බව පවසමින් වංචනිකව සංචාරක වීසා මත ඕමානයට යොමු කෙරුණු පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් මේ වනවිට ඕමාන තානාපති කාර්යාලය අසල රැඳී සිටින බව ‘අද දෙරණ’ට වාර්තා විය.

යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් මෙම පිරිස සති තුනකට (3) ආසන්න කාලයක සිට ඕමාන තානාපති කාර්යාලය අසල රැඳී සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම සංචාරක වීසා මත ඕමානයට යොමු කෙරුණු පුද්ගලයෙක් තමා ගත කරන දුෂ්කර ජීවිතය පිළිබඳ අද දෙරණට අදහස් පළකර තිබුණි.

පුලස්ති චානක :

“සංචාරක වීසාවලින් ඕමාන් ආවේ. තුසිත කියලා කෙනෙක් එව්වේ. එයා අනුරාධපුරේ තඹුත්තේගම. මම නිදාගන්නෙ, කන්නෙ මෙතන. මාස 6 ක් තිස්සෙ මෙතන ඉන්නවා. මාව ලංකාවට ගන්න.”

මේ අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබාගැනීමේ අරමුණින් මියන්මාරයට ගොස් එහි ත්‍රස්ත සංවිධානයක ග්‍රහණයට නතුව, සයිබර් වහල් සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයෙක් ද ‘අද දෙරණ’ට අදහස් පළ කළේය.

මියන්මාර සයිබර් වහල් සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙක් :

“අපි තායිලන්ත තානාපති කාර්යාලයට කතා කළා. ඊට පස්සෙ මියන්මාර තානාපති කාර්යාලයට කතා කළා. ලංකාවට කතා කළා. ඒ හැමෝම කියන්නෙ තාම සාකච්ඡා මට්ටමේ තියෙනවා කියලා. අපේ රටේ ව්‍යාපාරිකයෝ ඉන්නවා හැකියාවක් තියෙන. එයාලගෙන් සහයෝගයක් ගන්න තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නෙ. අපේ එක්කෙනෙක්ව බේරගන්න ඩොලර් 8,000 ක මුදලක් තමයි එයාලා ඉල්ලන්නෙ. එතකොට රුපියල් කෝටි 15 කට ආසන්න මුදලක් අපේ 56 දෙනාට ඕන වෙනවා. ඔයාලගෙන් වැඳලා ඉල්ලන්න තියෙන්නෙ පුළුවන් නම් අපිව මෙතනින් බේරගන්න. පුළුවන් සහයෝගය දෙන්න.”


මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට

(31.12.2023 – 07:37 +0530 – hirunews.lk/sinhala)

උණ රෝගය වැළඳීම හේතුවෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකශක ගාමිණී බී. දිසානායක ප්‍රකාශ කළා.

ඔහු වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

නඩත්තු නඩුවකට අදාළව මෙම රැඳවියා බන්ධනාගාර ගත කර සිට ඇති අතර, මේ වනවිට තවත් එක් (1) රැඳවියෙකු පමණක් රෝහලේ ප්‍රතිකාර ලබන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


අද (31) කොළඹට එන පිරිසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(31.12.2023 – 07:28 +0530 – hirunews.lk/sinhala)

2024 නව වසරේ උදාව සඳහා ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

පැසිෆික් දූපත් වන කිරිබති, ටොංගා සහ සැමෝවා නව වසර පළමුව පිළිගන්නා රටවල් ලෙස සටහන් වනවා.

මේ අතර දෙසැම්බර් 31 වනදා වන අද කොළඹ නගරයේ පොලිස් ස්ථාන 5 ක් ආවරණය වන පරිදි අද විශේෂ ආරක්ෂක සහ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර අද (31) මධ්‍යම රාත්‍රියේ 2024 නව වසර උදාවත් සමග ගිනිකෙළි භාවිතයෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම බීමතින් රිය පැදවීමෙන් සිදුවිය හැකි අනතුරු මෙන්ම ගෘහස්ථ අනතුරු වලක්වා ගැනීමට ද කටයුතු කිරීම වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴


රජයේ ඉඩම් අක්කර 11,900 ක් අවභාවිත වෙයි

(31.12.2023 – 07:09 +0530 – hirunews.lk/sinhala)

රජය සතු වැවිලි ඉඩම් 54 ක අක්කර 11,900 ක් අවභාවිත වී ඇති බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු සඳහන් කළේ, විගණන වාර්තා මගින් මේ බව අනාවරණ කර ඇති බවයි.

එම ඉඩම් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ රාමුව ඉදිරි සතිය තුළ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ, රජය සතු වැවිලි ඉඩම් අවභාවිත කිරීම කොටස් 3 ක් යටතේ හඳුනාගෙන ඇති බවයි.

ඇතැම් ඉඩම් බාහිර පාර්ශව විසින් අනවසරයෙන් භාවිත කරන අතර, තවත් ඉඩම් ප්‍රමාණයක් බදු කාලය ඉක්මවා හෝ නිසි පරිදි බදු ගෙවීමකින් තොරව භාවිත කරනු ලබනවා.

එමෙන්ම තවත් ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර තබා ඇති බව සඳහන්.

එම ඉඩම් පිළිබඳ ස්ථානීය නිරික්ෂණ සිදු කොට ඒවායේ නිසි තත්වයන් පරික්ෂා කිරීමෙන් අනතුරුව නව ප්‍රතිසංස්කරණ රාමුව සකස් කරන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියේ ෴


වැලිගම වෙඩි තැබීමක්

(31.12.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ අද (31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ හෝටලය දෙසට වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

සිදුවීම පිළිබඳව වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

++++++++

https://www.youtube.com/watch?v=sPV7Et7MdQI

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *