රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?

රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?


රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීලා?

(30.12.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන් මරණයක් සිදුව ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ‍‍‍‍‍‍‍‍වෛද්‍ය රමේෂ් පතිරණ රෝහල් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

වාට්ටු අංක 6A හි නේවාසිකව සිට පියයුරු ආශ්‍රිත ශල්‍යකර්මයක් සාඳහා ශල්‍යාගාර B වෙත ඇතුල් කර ඇති රෝගියෙකු මෙසේ මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෘතදේහය මේවන විට ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදු කර නොමැති බව ද සඳහන් ෴

++++++++

+


රේගුවේ නිෂ්කාශන තදබදය මේ සති අන්තයෙන් පසු අවසන්

(30.12.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

උපරිම ධාරිතාවයෙන් කටයුතු කර මේ සති අන්තයෙන් පසු නිෂ්කාශන තදබදය අඩු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව පවසනවා.

පසුගිය දින කිහිපය තුළ රේගුව තුළ ආනයනික බහාලුම් නිෂ්කාශනය කිරීමේ දී දැඩි තදබදයක් ඇතිව තිබෙනවා.

සාමාන්‍යයෙන් දිනකට බහාලුම් 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයක් නිෂ්කාශනය සදහා ඉදිරිපත් වුවද එය මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව සදහන්.

එයට හේතුවී ඇත්තේ වැට් බද්ද වැඩි වීමට පෙර භාණ්ඩ ආනයනයට ව්‍යාපාරිකයන් පෙළඹීම බවයි වාර්තා වන්නේ ෴


කාන්තාවන් තුන්දෙනෙකු (3) රවටා මුදල් වංචා කළ නයිජීරියානුවන් දෙදෙනෙකු (2) අල්ලයි

(30.12.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් වංචා කළ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ රුපියල් 10,45,000 ක්, රුපියල් ලක්ෂ 102 කට අධික මුදක් රුපියල් ලක්ෂ 185 කට අධික මුදලක් වංචා කර ඇති බවට කාන්තාවන් තුන්දෙනෙකු (3) විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ගුවන් ගමන් බලපත්‍ර මීට පෙර අධිකරණ භාරයට ගෙන ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

ඔවුන් සතුව තිබී ඒ.ටී.එම්. කාඩ්පත් 14 ක්, ජංගම දුරකථන 5 ක් සොයාගෙන ඇති අතර, සී සී ටී වී දර්ශන සහ බැංකු ගිණුම් දත්ත උපයෝගී කරගනිමිනුයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය මගින් පැමිණිලිකාරියන් දෙදෙනෙකු (2) සමග පෙම් සබඳතාවක් ගොඩනගාගෙන මෙම වංචාව සිදුකර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තවත් කාන්තාවකට මෝටර් රථයක් දිනා ඇති බව පවසා එහි වටිනාකම චෙක්පතකින් සහ ලියකියවිලි කූරියර් සේවාවක් මගින් එවූ බව පවසමින් මුදල් වංචා කර තිබුණා ෴

++++++++

අන්තර්ජාල මුදල් වංචාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන්

(30.12.2023 – 15:12 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් මේ වසරේ (2023) ගතවූ කාලය තුළ ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවය.

විශේෂයෙන් කාන්තාවන් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙවැනි වංචාවල ගොදුරු බවට පත්වී ඇති බවද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය සඳහන් කළාය ෴


මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් අතුරුදන්

(30.12.2023 – 15:34 +0530 – hirunews.lk/sinhala)

චීන වරාය පොලිස් වසමේ ‘මාබල් බීච්’ වෙරළ තීරයේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔහු මාවතගම පදිංචිව සිටි සිසුවෙක්.

පෞද්ගලික උපකාරක පංතියක සිසුන් පිරිසක් විනෝද චාරිකාවක් අතරතුර ‘මාබල් බීච්’ වෙරළ තීරයට පැමිණ දිය නාමින් සිටියදී සිසුන් තිදෙනෙකු (3) මුහුදේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු (2) ගුවන් හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරාගෙන තිබෙනවා.

අතුරුදන් සිසුවා සොයා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


බඩඉරිඟු වගාවට රෝග පැතිරයාමේ අවදානමක්

(30.12.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ බඩඉරිඟු වගාවේ ‘කොපු අංගමාරය’ සහ ‘කඳ කුණුවීමේ රෝගී තත්වයක්’ වේගයෙන් පැතිරයාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය වගාව පුරා ව්‍යාප්තවීමට පෙර හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ශාක 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කරන ලෙසයි උතුරුමැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ කියා සිටියේ.

අනුරාධපුර, ගල්පොත්තේගම – කරුක්කන්කුලම ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවට පැතිරී යන හඳුනානොගත් දිලීර රෝගයක් හේතුවෙන් අක්කර 500 ක පමණ වගාව විනාශයට පත්ව ඇති බව ගොවීන් පවසනවා.

අස්වනු නෙළීමට ආසන්නව පැවති බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් විනාශ වීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි.

අදාළ දිලීර රෝගය හේතුවෙන් බඩ ඉරිඟු වගාවන් සතෙකුටවත් කෑමට ගත නොහැකි අයුරින් විනාස වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

ගොවීන් පෙන්වා දෙන්නේ වසර 49 කට පසු පැමිණි දරුණුම ව්‍යවසනය මෙය බවයි බඩ ඉරිඟු ගොවීන් පෙන්වා දෙන්නේ ෴


ජංගම දුරකථන මිල ඉහළට?

(30.12.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි පළමුවනදා (01) සිට වැට් බද්ද 18% දක්වා ඉහළ නැංවීමත් සමඟ ජංගම දුරකථන මිල ගණන් ද ඉහළ යන බව බලයලත් ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික තුෂාර රත්නවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියකින් තොරව මෙරටට ජංගම දුරකථන රැගෙනවිත් අලෙවි කිරීමෙන් මෙම වසරේ රුපියල් බිලියන 9 ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව සඳහන් වෙනවා ෴


කොළඹ හෙට (31) විශේෂ රථවාහන සැලැස්මක්

(30.12.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ පොලිස් ස්ථාන 5 ක් ආවරණය වන පරිදි හෙට (31) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඊට සමගාමීව කොළඹ නගරයේ විශේෂ ආරක්ෂාවක්ද ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴


ජල ගාස්තු ඉහළට

(30.12.2023 – 12:07 +0530 – hirunews.lk/sinhala)

වැට් බදු වැඩිකිරීමත් සමඟ අනිද්දා (01) සිට ජල බිල්පත 3% කින් වැඩිවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සේවා ගාස්තුවේ වැඩිවීමක් සිදු නොවන බවයි.

දැනටමත් 15% ක් වන වැට් බද්ද ජල බිල්පත් සඳහා අය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.

එය අනිද්දා (01) සිට තවත් 3% කින් වැඩිවීමක් සිදුවන බවයි ඔහු කියා සිටියේ.

අනිද්දා (01) සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩිවනවා.

ඒ අනුව බොහෝ භාණ්ඩවල මිල ඉහළ යෑමක් සිදුවන අතර, මෙතෙක් වැට් බදු නොකෙරෙනු භාණ්ඩ කාණ්ඩ කිහිපයකටද නව තීරණය අනුව වැට් බදු අය කෙරෙනවා.

එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන, සහ රසායනික පොහොර ඇතුලු‍ භාණ්ඩ වර්ග 95 ක් අලු‍තින් වැට් පැනවෙන භාණ්ඩ අතරට අයත්.

කෙසේ වෙතත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් ඇතුලු‍ ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයකට පනවා ඇති ‘වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද’ ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.

මෙම භාණ්ඩ වැට් බද්දට යටත් කිරීමෙන් සිදුවන බලපෑම අවම කිරීම මෙහි අරමුණයි.

එහෙත් විශේෂ වෙළද භාණ්ඩ බද්ද අයකෙරෙන භාණ්ඩ වර්ග 65 ක් සදහා වැට් බද්ද අය කෙරෙන්නේ නැහැ.

ඒ අතරට සහල්, බඩඉරිඟු‍, බිත්තර, එළවළු තෙල්, මාළු, හාල්මැස්සන්, අර්තාපල්, රතු ලූණු, බී ලූණු, සුදු ලූණු, වටානා පරිප්පු, කඩල, මුං ඇට, වියළි මිරිස්, ටින් මාළු, සුදු සීනි, උම්බලකඩ, කරවල, නැවුම් මිදි හා දොඩම්, වියළි මිදි, ඇපල්, පොල්තෙල්, පාම් ඔයිල්, එළවළු තෙල්, යෝගට්, බටර්, මාගරින් සහ මුව ආවරණ ඇතුළු භාණ්ඩ 65 ක් අයත් ෴


පාසල් අධ්‍යාපනයේ වෙනසක්

(30.12.2023 – 10:42 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා යටතේ පාසල් සියල්ල පවත්වාගෙන යාමට, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇතැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වී.රාධක්‍රිෂ්ණන් පවසනවා.

ඒ අනුව, ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක් (2) මින් ඉදිරියට පවත්වාගෙන නොයාමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ පාසල් අධීක්ෂණය හා පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමටත් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී ඇති බවයි ඔහු පවසන්නේ.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවට කාරක සභාව අදහස් කර ඇතැයි ද මන්ත්‍රීවරයා පවසනවා.

එසේම මුදල් ඇතුළු සියලු පහසුකම් ලබා දීමේදී අසාධාරණයක් නොකරන ලෙසට දැනුම් දුන් බව ද සඳහන් කරනවා.

ප්‍රාථමික ශ්‍රේණි, 6 සිට 9 ශ්‍රේණි සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් (3) යටතේ පාසල් පවත්වාගෙන යාමටත්, වසර හතරකට (4) වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී ඇති බ්ව වාර්තා වෙනවා.

එසේම, උසස් පෙළ 12 ශ්‍රේණියට ද, සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියට ද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් 08 ක් පෝෂණය කරමින් පවත්වාගෙන යාමටත් නියමිත බව ද රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මීට අමතරව 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි භාෂාව අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා පවසනවා.

පළමු (1) ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත් එසේ කළහොත් මවු භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වා දුන් බවත් සඳහන්.

අධ්‍යාපන ඇමතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබා දී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබා දී නොමැති බවත් වාර්තා වෙනවා.

ලබන ජනවාරි දෙවන (2) සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ද මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සඳහන් කළේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේ ද යන්න ගැටලුවක බව සඳහන් වෙනවා.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරගයකට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලුවලට මුහුණදිය හැකි බව ද කවිරත්න මන්ත්‍රීවරිය සඳහන් ‍කරනවා.

ඒ අනුව උසස් පෙළ ශ්‍රේණිය 12 දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇතැයි කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පළාත් සභා යටතට පාසල් ඇතුළත් කර ගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි ෴


බස් ගාස්තු ඉහළ යන ලකුණු

(30.12.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

ක්‍රියාත්මක කිරීමට යෝජිත 18% ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු 15% ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ගක සඳහන් වෙනවා.

මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35 ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බවයි වාර්තා වෙනවා.

‘සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් ක‍රන්නේ බස් ගාස්තු වැඩි කිරීමේ දී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11 ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව 15% ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බවයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය බස්වලට අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල්, ටියුබ් ඇතුළු අමතර උපාංග සඳහා වන වියදම, බස් හිමියන් වාර්ෂිකව ගෙවන බලපත්‍ර ගාස්තු, සේවක වැටුප් සඳහා වන වියදම් ඇතුළු නිර්ණායක දොළහක් (12) සැලකිල්ලට ගෙන සිදු කරන බවත් වැට් බදු ඉහළ නැංවීමෙන් අමතර උපාංග සඳහා අධික පිරිවැයක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවත් ඔහු සඳහන් කරනවා ෴


ගෙවුණු පැය 24 තුළදී ‘යුක්තිය’ තුළින් 1554ක් අත්අඩංගුවට

(30.12.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ ‘යුක්තිය’ මෙහෙයුම තුළින් පුද්ගලයින් 1554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි වාර්තා වෙන්නේ.

එසේම, සැකකරුවන් 02 ක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ :

  • හෙරොයින් 590 g
  • අයිස් 01.3 kg
  • ගංජා 06.33 kg
  • ගංජා පැල 4104 ක්
  • මාවා 505 g
  • මත්පෙති 119

ප්‍රවේශපත් නොමැතිව ගමන් කිරීමෙන් බිලියන 3ක් දුම්රියට අහිමිවෙයි

(30.12.2023 – 09:14 +0530 – hirunews.lk/sinhala)

දුම්රියේ ගමන් කරන මගීන්ගෙන් 25% ක් පමණ ප්‍රවේශපත් නොගෙන ගමන් කරන හේතුව රුපියල් බිලියන 3 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී තිබෙනවා.

මේ බව සඳහන් කරන්නේ එහි සාමාන්‍යාධිකාරි එච්.එම්. බණ්ඩාර විසින්.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *