‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි

‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි


‘යුක්තිය’ මෙහෙයුමෙන් ඇල්ලූ සැකකරුවන් ගනන 15,000 ඉක්මවයි

(28.12.2023 – 19:23 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය’ මෙහෙයුම අතරතුර වරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘කුඩු රොෂාන්’ සහ ඔහුගේ සොහොයුරෙකු ඇතුලු 15 දෙනෙකු හෙට (29) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර හිමි වුණා.

ඒ, වරකාපොළ පොලිසිය විසින් වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

‘කුඩු රොෂාන්’ ඇතුලු පිරිස ඊයේ (27) අත්අඩංගුවට ගැණුනේ හෙරොයින්, කොකේන්, අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ද සමගයි.

පිරිමින් 10 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමයින් 8 දෙනෙකු ඒ අතර සිටියා.

කෙසේ වෙතත් අවුරුදු දෙකහමාරක (2½) කුඩා බිළිදෙකු සහ අවුරුදු 07, 08, 12, 14 සහ 17 වයස්වල පසුවූ අනෙක් ළමයින් 07 දෙනා පවුලේ වැඩිහිටියන් වෙත භාරදී මුදාහැරී බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යුක්තිය මෙහෙයුම මගහැර සිටීම සඳහා ‘කුඩු රොෂාන්’ ඇතුලු පිරිස සති අන්තයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගොස් ඇති අතර නැවත ඔවුන් කොළඹ බලා පැමිණෙමින් සිටියදී ‘යුක්තිය’ මෙහෙයුම යළි ක්‍රියාත්මක බවට ලද තොරතුරු මත වරකාපොළ ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබුණා.

මේ අතර අත්අඩංගුවට ගත් ‘කුඩු රොෂාන්’ට අයත් රුපියල් ලක්ෂ 550 කට අධික වටිනාකමකින් යුත් නිවසක්, ඉඩමක් සහ සුඛෝපභෝගි මෝටර් රථයක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට ගනු ලැබුවා.

ඒ ජා-ඇල, ඒකල ප්‍රදේශයේ අද (28) සිදුකළ වැටලීමකදීයි. එමෙන්ම ඔහුගේ සහෝදරයෙකුගේ නමින් නීතිවිරෝධීව මිලදී ගත් බවට සැකකරන ජා-ඇල නිවන්දම ප්‍රදේශයේ පිහිටි නිවසක් ඇතුලු දේපළද නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඔවුන් මෙම දේපල උපයා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මත්ද්‍රව්‍ය නඩුවල ප්‍රමාද වී ඇති රසපරීක්ෂක වාර්තා ඉදිරි මාස 06 තුළ කඩිනමින් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කියා සිටියා.

+


දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක්

(28.12.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවලින් ගංවතුර තත්ත්වයන්, පස් කදු කඩා වැටීම් සහ මාර්ග අවහිරවීම් වාර්තා වනවා.

මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවුණා.

ඒ අනුව, ගල්ලෑල්ල හා මනම්පිටිය අතර කොටසේ ගමනාගමනය බරවාහනවලට පමණක් සීමා කර තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ ද ජල මට්ටම ඉහළ යාමත් සමග එක් වාන්දොරටුවක් විවෘත කෙරුණා.

එසේම මොණරාගල කුඹුක්කන් ඔයේ ජල මට්ටම හළ ගොස් ඇති අතර කුඹුක්කන, ඔක්කම්පිටිය සහ කලවැල්ආරගම යන ප්‍රදේශවල පහත්බිම් වල ඔය දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ.

කලාවැවේ වාන්දොරටු දෙකක් (2) ද විවෘත කර ඇති අතර කලාඔය හරහා වැටී ඇති අවුකන තඹුත්තේගම ප්‍රධාන මාර්ගය අවුකන පාලම අසලින් ජලයෙන් යටවී තිබෙනවා.

රාජාංගනය ජලාශයේ ද වාන්දොරටු 6 ක් විවෘත කර ඇති අතර කන්තලේ ජලාශයේ ද වාන්දොරටු 6 ක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගිරාදුරුකෝට්ටේ උල්හිටිය – රත්කිද ජලාශයේ වාන්දොරටු හතම (7) විවෘත කර ඇති අතර රත්කිඳ, උගල්ඔය, හොබරියාව, උල්හිටිය, බෙලගන්වැව, තෙල්දෙණියාය ගම්වල ජනතාව අවධානයෙන් සිටින ලෙසට වාරි ඉංජිනේරුවන් දැනුම් දෙනවා.

අධික වර්ෂාවත් සමග මහනුවර – මහියංගනය මාර්ගයේ මැදමහනුවර වංගු දෙක ප්‍රදේශයේ ගල් හා පස් කදු කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක මාර්ගවලට පස් කදු කඩා වැටීම් වාර්තා වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එසේම නෝර්වුඩ් ඉන්ජස්ට්‍රි වතුයායේ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු (2) මතට ගසක් කඩා වැටී ඔවුන් බරපතල තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළා.

මේ අතර, තවදුරටත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

+


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ආයෙත් කට අරී | මනෝජ් ගමයාට ස්ත්‍රී දුෂණ චෝදනාවකුත් (29.12.2023)

+


ලීක් කරපු වීඩියෝ එකක් නිසා මිහින්තලේ හිමි CID එයි, අසේල සම්පත් තමයි මේක කරලා තියෙන්නේ (29.12.2023)

+


තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

(29.12.2023 – 18:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය වැළඳී අද (29) මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වන අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.

ශ්වසන ආබාධයක් හේතුවෙන් අදාළ කාන්තාව මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇයට කොරෝනා වැළදි ඇති බවයි ෴


හත් (7) දැවිරිදි දියණියකගේ අසැබි ඡායාරූප අන්තර්ජාලයට දැමූ කාන්තාවක් අත්අඩංගුවට

(29.12.2023 – 17:59 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේමය බිඳ දැමීම නිසා උරණ වී සිය පෙම්වතාගේ හත් (7) දැවිරිදි දියණියගේ ඡායාරූපවලට අසභ්‍ය ඡායාරූප බද්ධ කර අන්තර්ජාලයට දැමූ තේ අපනයන සමාගමක සාමාන්‍යාධිකාරිවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ ඊයේ (28) නියෝග කර ඇති බවද සඳහන්.

මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ ප්‍රධාන පෙළේ තේ අපනයන සමාගමක පරීක්ෂණ සහ සිද්ධි සම්බන්ධීකරණ විධායක සාමාන්‍යාධිකාරිණියක වන කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

විවාහක තැනැත්තකු වන පැමිණිලිකරු වසර ගණනාවක සිට ඔහු සේවය කරන ආයතනයේම සේවය කරන සැකකාරිය සමඟ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ඔහු විසින් එම සබදතාවය නැවැත්වීමට තීරණය කර ඇති අතර එහිදී උරණ වූ සැකකාරිය පැමිණිලිකරුගේ සිඟිති දියණියගේ ඡායාරූපවලට අශීලාචාර වදන් යොදා සකස් කළ අසභ්‍ය ඡායාරූප බද්ධ කර පැමිණිලිකරුගේ වට්ස්අප් ගිණුමට සහ ඊමේල් ගිණුමට එවා ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම අසභ්‍ය ඡායාරූප පෙළ අදාළ සැකකාරිය විසින් අවස්ථා ගණනාවකදීම භාවිත කර ඇති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය විසින් සැකකාරියට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා ෴


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකට ලක්වෙයි

(29.12.2023 – 14:31 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථයකට පහරදුන් කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාරවිල පොලිසිය සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය වෙනත් මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පසු, එම රථයේ ගමන් ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුලු පිරිස රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභ හානි සිදු කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයේ පැවති උත්සවකට සහභාගි වීමට යාමේදී මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් තම මෝටර් රථයට හානි සිදු වීම නිසා ප්‍රකෝප වූ කෝටිපති ව්‍යාපාරීකයා යකඩ පොල්ලකින් අදාළ පහර දීම සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

+


“කොරෝනා ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් අනියත බියක් එපා” සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(29.12.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ඇතුළු බෝවන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවයි.

කොවිඩ් ඇතුළු බෝ වන රෝග පිළිබදව මෙන්ම විවිධ ශ්වසන රෝග සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළිත් කතාබහක් මතුව තිබෙනවා.

කෙසේ වෙතත් ජනතාව මුඛ ආවරණ පැළදීම සහ පෙර සෞඛ්‍ය පුරුදු නැවත ඇති කර ගැනීම තුළින් රෝග ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ දිනවල ඩෙංගු රෝගය ද ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ මාසයේ ඩෙංගු රෝගීන් 10,088 ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම, මේ දිනවල පැතිර යන වෛරස් රෝගය කොරෝනා ද ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයක් ද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍රකාශයක් ලබාදිය යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා ෴


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘතයි

(29.12.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් මඩකලපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය බලා ගමන් කිරීමට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම මඩකලපුව දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ, ඇළහැර, බකමූණ, දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

පොළොන්නරුව ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය හමුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ක් තත්පරයට ඝන අඩි 2,500 ක ධාරිතාවකින් අද (29) පෙරවරු 10 ට පමණ විවෘත කෙරුණු අතර, පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *