ජංගම දුරකතන මිල 18% කින් ඉහළට

ජංගම දුරකතන මිල 18% කින් ඉහළට


ජංගම දුරකතන මිල 18% කින් ඉහළට

(25.12.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථන මිල ලබන මාසයේ සිට 18% කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ජංගම දුරකතනයද වැට් බද්දට යටත් කිරීම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කියා සිටියේ.

මේ අතර ජංගම දුරකථන ආනයනකරුවන්, විකුණුම්කරුවන් මෙන්ම මෙරට ප්‍රධාන ජාත්‍යන්තර දුරකතන සමාගම්වල මැදිහත්කරුවන් හා නියෝජිතයන් සමග විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

නීතිවිරෝධි ජංගම දුරකථන ආනයනය නිසා රුපියල් බිලියන 3.1 ක බදු ආදායමක් දැනටමත් අහිමිවන අතර නව බදු පැනවීමෙන් එම ප්‍රමාණය රුපියල් බිලියන 11.9 දක්වා ඉහළ යනු ඇති බවයි එහිදී ප්‍රකාශ වුණේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් තොරව ජංගම දුරකතන වෙළෙඳපොළට පැමිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පාරිභෝගිකයින් ව්‍යාජ වෙළෙඳපොළ කරා යොමු වනු ඇතැයි ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන් රජයට අනතුරු අඟවා තිබෙනවා ෴


COVID-19 වෛරසයේ ‘JN-1’ උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

(25.12.2023 – 17:50 +0530 – hirunews.lk/sinhala)

COVID-19 වෛරසයේ ‘JN-1’ උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ, මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආදියෙන් ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් ශ්වසන රෝග පැතිරීම අවම කළ හැකි බවයි.

පසුගිය මාස කිහිපය පුරාවට සිදුකරන ලද පරීක්ෂණවලට අනුව මෙරටින් නව කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම අවම මට්ටමක් පෙන්නුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම ‘JN-1’ උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බවත්, ඒ අනුව එම ආයතනය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන්.

අදාල නිවේදනය පහතින් :


රටම දන්නා ව්‍යාපාරිකයෙකුගේ ගිනි අවිය සොරකම් කරයි

(25.12.2023 – 16:51 +0530 – sinhala.adaderana.lk)

ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක සභාපතිවරයෙකුට අයත් ගිනි අවියක් සොරකම් කර ඇති බවට ලද තොරතුරකට අනුව වත්තල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් සතු බලපත්‍ර සහිත පෞද්ගලික ගිනි අවිය මෙලෙස සොරකම් කර ඇති බවටය.

තමන් නිදා සිටියදී සිය නිදි යහන මත තබාගන්නා ගිනි අවිය සුළං කවුළුවකින් ඇතුළුවූ අයෙකු මෙලෙස සොරකම් කර ඇති බවට සැකකරන බවද ඔහු පොලීසියට පවසා තිබේ.

සැකකරු විසින් ගිනි අවිය සහ එයට යොදාගන්නා ජීව උන්ඩ 12 ක් අඩංගු මැගසීනය ද සොරකම් කර ඇත.

වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ ෴


‘ආරුක්කු නවය පාලම’ අසලදී තරුණියක් දිවි නසා ගනී

(25.12.2023 – 15:28 +0530 – hirunews.lk/sinhala)

දෙමෝදර, ‘ආරුක්කු නවය පාලම’ ආසන්නයේදී තරුණියක් බදුල්ල දක්වා ගමන් කරන රාත්‍රී තැපැල් දුම්රියේ වැදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වන ඇල්ල – කිතල් ඇල්ල, මුල්ලෙ අරාව ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය මෙවර උසස් පෙළ සඳහා තෙවනවරට පෙනී සිටිමට සූදනම්ව සිටි අතර, අද (25) උදෑසන නිවසෙන් කිසිවෙකුටවත් නොදන්වා පිටවී ඇති අතර තැපැල් දුම්රියට ගෙල තබා සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත්, මෙය සියදිවි නසා ගැනීමක්ද, අනතුරක්ද යන්න තහවුරු කරගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි ඇල්ල පොලිසිය සඳහන් කළේ ෴


‘යුක්තිය’ මෙහෙයුමේදී තවත් සැකකරුවන් 533 දෙනෙකු අත්අඩංගුවට

(25.12.2023 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළදී යුක්තිය මෙහෙයුමට අදාළව සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 533 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 42 ක් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා යොමු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම තවත් සැකකරුවන් 7 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 9 දෙනෙකු ද සිදු කළ එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් සමග හෙරොයින් ග්‍රෑම් 273 ක්, අයිස් ග්‍රෑම් 102 ක්, කේරළ ගංජා කිලෝග්‍රෑමයක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


විදෙස් සංචාරක යුවලක් රක්ෂණ මුදල් ගන්න කුමන්ත්‍රණයක..

(25.12.2023 – 17:30 +0530 – lankacnews.com)

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයකට සංචාරක සේවා සමාගමක් හරහා පැමිණි රුමේනියානු ජාතික යුවලක් එරටින් රක්ෂණ මුදල් ලබා ගැනිමට සිදු කල කුමන්ත්‍රණයක් හෙලිදරව් කර ගැනිමට එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය සහ දිඹුල පතන පොලිසිය සමත් වි ඇත.

දින 08 ක සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇති රුමේනියානු ජාතික සංචාරක යුවල (24 –25) දෙදින එම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන (26) දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සදහා පිටත්ව යාමට සිටින යුවලක් බවයි එම සංචාරක හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ශණයක් ලබාගෙන ඇති එම සංචාරක හෝටලයට (24) දින පැමිණි එම යුවල හෝටලයේ මිලෙන් අධික කාමරයක් වෙන් කරවාගත් බවත්, (24) දින රාත්‍රියේ රුමේනියානු ජාතික (35) හැවිරිදි කාන්තාව සම්බහනයක් ලබාගැනිමට අවශ්‍ය බව පවසා ඇති අතර , එහිදි එම හෝටලයේ පාලන අධිකාරි විසින් එම හෝටලයේ සම්බාහන අංශයේ සේවය කරන කාන්තාවකගේ සේවය ලබාදි ඇත.

රුමේනියානු කාන්තාව විසින් හෝටලයේ පාලන අධිකාරි අමතා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ පිරිමි පුද්ගලයෙකුගේ සේවාවක් බවයි.

ඇයගේ ඉල්ලිම අනුව සම්බාහන අංශයේ සේවකයෙකු සේවාව ලබාදිමෙන් අනතුරුව එම කාන්තාව සම්බාහන අංශයෙන් පිටතට පැමිණ ස්නානය කර මද වේලාවකින් පසු හෝටලයේ මානව සම්පත් කාලමණාකරණ ඒකකය වෙත පැමිණ තමන්ට සම්බාහන සේවය ලබාදිමට පැමිණි පුද්ගලයා තමන්ට අතවර කිරිමට තැත් කල බව පැවසිමෙන් අනතුරුව එම හෝටලයේ පාලන අධිකාරිය විසින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත දැනුම් දි ඇත.

හෝටලයේ පාලන අධිකාරියේ දැනුම් දිම මත හෝටලයට පැමිණි පොලිස් නිලධාරින් අතවරයට ලක් වුවේ යැයි කියන රුමේනියානු ජාතික කාන්තාවගෙන් පැමිණිල්ල සටහන් කරගැනිමට යාමේදි ඇය විසින් මේ සදහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බවත්, එරටින් රක්ෂණ මුදල් සහ මෙරටට පැමිණි ගුවන් ටිකට්පත් වල මුදල් ලබා ගැනිම සදහා මෙරට නිතිඥයවරයෙකුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව ලිපියක් සහතික කරදෙන ලෙස ඉල්ලා ඇත.

තවද තමන් හෝටලයෙන් පිටව යනතෙක් කිසිදු මුදලක් අය නොකරන ලෙසට හෝටලයේ පාලන අධිකාරියෙන් ඉල්ලිමක් කර ඇත.

එම ඉල්ලිම සහ නිතිඥයවරයෙකුගේ ලිපියක් ලබාදිම හෝටල් පාලන අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර , හෝටල් පාලන අධිකාරිය මගින් රුමේනියානු ජාතික යුවල වෙත අවධාරණය කර ඇත්තේ එවැනි සිද්ධියක් සිදු වි ඇත්නම් ඒ සදහා මෙරට අනුගමනය කල යුතු ප්‍රධාන සාධය වන්නේ පොලිසිය වෙත පැමිණිලි කිරිම බවයි.

සිද්ධය සම්බන්ධයෙන් හෝටල් පාලන අධිකාරිය මගින් එම රුමේනියානු ජාතික යුවල හෝටලය වෙත යොමු කර තිබු සංචාරක සේවා ආයතනයට දැනුම් දුන් බවයි එම සංචාරක හෝටලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ


‘හරක් කටා’ගෙන් පොලිස් ලොක්කෙකුට කෝටි දෙකක් පිස්තෝල හතරක් සංතෝසම්..

(25.12.2023 – 09:20 +0530 – lankacnews.com)

සංවිධානාත්මක අපරාධ කලින් නායකයෙක් වන ‘හරක් කටා’ විසින් මෑතකදී විශ්‍රාම ගිය ඉහළ පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලෙස ලබා දුන් බව කියන රුපියල් කෝටි දෙකක් (2) හා පිස්තෝල හතරක් (4) සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

‘හරක් කටා’ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

අදාල නිලධාරියාට මෙම සන්තෝෂම් ලබා දී ඇත්තේ ඔහු සේවයේ යෙදී සිටියදී වන අතර තවත් පොලිසියේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකුටද ‘හරක් කටා’ගේ මාසික ගෙවීම් ලැයිස්තුවට ඇතුළත් කරගෙන සිටි බවද හෙළි වී ඇත.

‘හරක් කටා’ට රහස් විමර්ශනවල තොරතුරු ලබාදීම සඳහා මෙම සන්තෝෂම් ලබා දී ඇතැයි ද සැක පළව තිබේ ෴


ඩෙංගු රෝගය වැළඳුණු විශ්වවිද්‍යාල සිසුවියක් ජීවිතක්ෂයට

(25.12.2023 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය වැළඳුණු යාපනය විශ්වවිද්‍යාලයේ 25 හැවිරිදි සිසුවියක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයට ලබාදුන් එන්නතක් මෙම මරණයට හේතු වූ බවටයි.

මෙම සිසුවිය යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන (3) වසරේ ඉගෙනුම ලබමින් සිටි බවයි.

එම උණ රෝගය එතරම් බරපතල නොවන බවට වෛද්‍යවරුන් පවසා ඇති අතර පසුව කළ රුධිර පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි.

ඒ අනුව සිසුවිය නැවතත් යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇයට එන්නතක් ලබාදී තිබෙනවා.

සිසුවිය මෙලෙස මියගොස් ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

සිසුවියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු තෙලිප්පලේ මාවට්ටපුරම් හින්දු පොදු සුසාන භූමියේදී අද (25) සිදුකෙරුණු බවයි වාර්තා වන්නේ.

+


නත්තලට ගෙදර ආ CID කොස්තාපල් මුහුදේ ගහගෙන ගිහින්

(25.12.2023 – 21:48 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) පස්වරුවේ කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ මුහුදේ ගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කළ දේශාංජන තරින්ද රත්නායක නමැති 22 හැවිරිදි කළුතර – නාගොඩ, ගල්අස්හේන, වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පොලිසිය සඳහන් කළේ මියගොස් ඇති කොස්තාපල්වරයා අද (25) නත්තල සැමරීම සඳහා නිවසට පැමිණ ඇති බවත්, ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු (2) සමඟ මුහුදේ දියනාමින් සිටි අවස්ථාවේ එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි.

එහිදී රළ පහරට හසුව ගසාගෙන යමින් සිටි කොස්තාපල්වරයාව බේරාගැනීමට එක් මිතුරෙක් උත්සාහ දරා ඇති අතර, ඔහුවද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවත්, පසුව ඔහු මහත් පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණ තිබෙනවා.

පසුව මිතුරන් දෙදෙනා (2) අසල සිටි පිරිසට දැනුම් දී ඇති අතර, අසල පිහිටි සංචාරක හෝටලයකින් කළුතර නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් දැනුවත් කර සිදුකළ සෝදිසියකදී අසල පිහිටි ගල්පරයක සිරව සිටි කොස්තාපල්වරයාව සොයාගෙන සමත්ව තිබෙනවා.

එහිදී කොස්තාපල්වරයාව ක්ෂණිකව ගොඩගෙන ත්‍රිරෝද රථයකින් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වනවිටත් මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති අපට පැවසුවේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴


පොලිස් සැරයන්වරයෙකුගේ කනට ගැසූ සුපවේදියෙකු අත්අඩංගුවට

(25.12.2023 – dasathalankanews.com)

හෝටල් සූපවේදියකු ධාවනය කළ මෝටර් රථයක් නවතා ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කනට ගසා පැනයාමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සූපවේදියා අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එම මෝටර් රථය මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී නවතා ඇති අතර එහි රියදුරු බීමතින් සිටින බවට පෙනී ගිය බැවින් පොලිස් මුරකුටියට කැඳවා රියදුරා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැරයන්වරයාට එම කනේ පහර එල්ල කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

අත්අඩංගුවට ගත් සූපවේදියාට එරෙහිව බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *