‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට

‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට


‘ලක්ෂපතියෙ ධම්මා’ අත්අඩංගුවට

(21.12.2023 – 15:59 +0530 – sinhala.adaderana.lk)

සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසිය මගහැර පළායමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්වී තිබේ.

මොරටුව පොලීසියේ දූෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරක් මත මොරටුව ලක්ෂපතිය, ජුබිලි පාර ප්‍රදේශයේ නිවසක් එලෙස අද (21) පරීක්ෂා කර තිබුණි.

නිවසේ ඉදිරිපස දොරෙන් පොලීසිය නිවසට ඇතුළුවෙනවාත් සමගම නිවසේ පිටුපස දොරෙන් අදාළ සැකකරු මල්ලක් රැගෙන පළායෑමට තැත්කර තිබේ.

අදාළ සැකකරු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ බෑගය තුළ තිබී මත්පෙති 2,500 ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි ‘ධම්මික ප්‍රියංකර’ නොහොත් ‘ලක්ෂපතියෙ ධම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බව පොලීසිය කියයි.

මත්පෙති අවශ්‍ය කරන පුද්ගලයින් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔවුන් කියන ස්ථානයක මත්පෙති තබා යන බවද සැකකරු පවසා ඇත.

මෙම සැකකරු ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම මත්පෙති පාසල් ආශ්‍රිත ස්ථානවල තබා යන බවත්ය.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් මෙම මත්පෙති වැඩිවශයෙන් භාවිත කරන බවත් හෙළිවී ඇත ෴


සිසුවියන් තිදෙනකුට (3) හදී කළ වල්ගුරාට ලැබුණු දඬුවම

(21.12.2023 – 16:28 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රිකයේ වලපනේ අධ්‍යාපන කලාපයට අයත් මහා විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකු (3) පාසලේ විද්‍යාගාරය තුළදී අපයෝජනයට ලක්කළායැයි සැකපිට ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කිතුල්ලේ ප්‍රදේශයේ 29 හැවිරිදි විවාහක ගුරුවරයකු වන අතර ඔහුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පන්ති භාර ගුරුවරයා වන මොහු මෙම සිසුවියන් තිදෙනාගෙන් (3) එක් සිසුවියක සමග ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් අති අතර එම සිසුවිය හරහා සම්බන්ධ වූ අනෙක් සිසුවියන් දෙදෙනාද (2) අපයෝජනයට ලක් කර ඇතැයි මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙම සිසුවියන්ගෙන් ලද තොරතුරු අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගුරුවරයා එක් සිසුවියකගෙන් ‘වට්ස්ඇප්’ මගින් ඇගේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කරකම් කර ඇති බවද වාර්තා වී තිබෙනවා.

ඔහුව අද (21) අධිකරණයට ඉදිරිපත්කර ඇති අතර මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


පූර්ණ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ස්ථිර හැඳුනුම්පතක්

(21.12.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ජන්ද විමසීම්වලදී ආබාධිත ප්‍රජාව සඳහා ජන්දය ප්‍රකාශකිරීම වෙනුවෙන් හැඳුනුම්පතක් ලබාදීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අද (21) ආරම්භ කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව, පැෆ්රල් සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ මැදිහත් වීමෙනුයි මෙය දියත් කෙරුණේ.

දිස්ත්‍රික් විසිපහම (25) ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියරේදී දිස්ත්‍රික් 10 ක පූර්ණ ආබාධිත 5000 ක පිරිසක් වෙනුවෙන් ස්ථිර හැඳුනුම්පත් ලබාදීමට නියමිතයි.

අද (21) දින නිකුත් කෙරුණු මෙම හැඳුනුම්පතෙහි අදාල පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය කුමක්ද යන්න පහසුවෙන් හඳුනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මත සංකේතයක් ඇතුළත් කර තිබෙනවා.

එමගින් ඡන්දපොළ ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන්ට පහසුවෙන් එම ඡන්දදායකයාට අවශ්‍ය පහසුකම කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත හැකිවනු ඇති ෴


පොලිස් සැරයන්ගේ ගිනිඅවිය හා ගමන්මල්ල සොරාගත් පුද්ගලයා අත්අඩංගුවට

(21.12.2023 – 10:55 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක රාජකාරී සිදුකරන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවිය හා ගමන් මල්ල සොරාගත් පුද්ගලයා කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දා පිටකොටුව ඕල්කට් මාවතේ බස් නැවතුමේ කම්බි වැටක් අසල අදාළ සැරයන්වරයාට නින්ද ගිය අවස්ථාවේ, පිස්තෝලය, ජීවඋණ්ඩ ඇතුළු සෙසු උපකරණ තොගය සමඟ ගමන්මල්ල සොරාගෙන තිබිණි.

කිරුළපන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩබලන පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටියදී කිරුළපන ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු සතුව තිබූ ගමන් මල්ලක් පරීක්ෂා කිරීමේ දී සැරයන්වරයාට අයත් අස්ථානගත වූ භාණ්ඩ හමුවී තිබේ.

සැකකරු සමග අංක 6001109 දරන එන් පි 22 වර්ගයේ පිස්තෝල අවිය, එයට යොදන ජිව උණ්ඩ 24 ක්, මැගසින් 2 ක්, අවි රඳවනයක්, මැගසින් රඳවනයක්, පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයක්, ඇමති ආරක්ෂක ඇඳුමක්, ඇමති ආරක්ෂක නිල හැඳුනුම්පත හා සටහන් පොතක්, පොලිස් සැරයන්වරයාට අයත් ඇඳුම් කිහිපයක්ද සැකකරු භාරයේ තිබී පොලීසිය මඟින් සොයාගෙන ඇත.

පොලිස් සැරයන්වරයා රාජකාරී විවේකයෙන් පසු ඔහුගේ මාතලේ පිහිටි නිවසට යාම සඳහා ඉකුත් 07 වෙනි දින පිටකොටුව ඕල්කට් මාවතට පැමිණ ඔහුගේ ඇඳුම් බෑගය ඔහු හඳුනන වෙළෙඳසැලක් තුළ තබා ගිනිඅවිය සහ උණ්ඩ දමා තිබූ බෑගය පමණක් රැගෙන තවත් පොලිස් සැරයන්වරයෙකු සමග එම වෙළෙඳ සැලෙන් පිටව ගොස් දෙදෙනාම (2) මත්පැන් පානය කර තිබේ.

පසුව අනෙක් පොලිස් සැරයන්වරයා මරදාන පිහිටි නිල නිවස කරා පිටත්ව ගොස් ඇති අතර, මෙම නිලධාරියා නැවත ඕල්කට් මාවතේ වෙළෙඳ සැලට පැමිණ ඇඳුම් බෑගය රැගෙන එයට ගිනිඅවිය හා උණ්ඩ සහිත බෑගය දමාගෙන පිටකොටුව බස් නැවතුම්පොළ වෙත පැමිණ තිබිණි.

එම අවස්ථාවේ දී පැවති මත් ස්වභාවය හේතුවෙන් සැරයන්වරයාට ඇඳුම් බෑගය අසල තිබියදී කම්බි වැට අසල නින්ද ගොස් ඇති අතර, අලුයම 01:30 ට පමණ අවදි වී බෑගය සෙවීමේ දී සියල්ල අස්ථානගත වී ඇති බවට මිතුරාට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

අනතුරුව මිතුරා සමග පැය කිහිපයක් ඇඳුම් බෑගය සෙවූවද සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට මේ බව දැනුම් දී ඇත.

පොලිස් සැරයන්වරයා විසින් පිටකොටුව පොලීසිය වෙත ද පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ගලහ, දෙල්තොට පදිංචිකරුවකු බවත් බොරැල්ල සීවලී පුර තාවකාලිකව පදිංචිකරුවකු බවත් පොලීසිය පවසයි.

කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කළුතර දැවැන්ත කොල්ලයක් CCTV කැමරාවේ

(21.12.2023 – 20:28 +0530 – sinhala.adaderana.lk)

කළුතර උතුර ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ හතක (7,00,000) මුදල් ඇතුළු රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න රන් හා රිදී භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

ඉකුත් 17 වනදා මධ්‍යම රාත්‍රියේ වැහි කබා ඇඳ කුඩයක් ඉහළාගෙන වෙළෙඳසැල අසළට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) ඉබි යතුරු කපා ගොස් යළි පැය දෙකකට (2) පමණ පසුව පැමිණ වෙළෙඳසැලේ ඉදිරිපස දොර විවෘත කර ඉදිරිපස වීදුරුවට පහරදී එතැනින් පිටව ගොස් තිබේ.

නැවතත් මිනිත්තු පහකින් (5) පමණ එම පුද්ගලයන් දෙදෙනා (2) පැමිණ වෙළෙඳසැල තුළට ඇතුළු වී මුදල් සහ දේපල සොරා ගෙන පිටවී යන අයුරුද CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිසිය විමර්ශන පවත්වයි ෴

+


ජනකගෙන් කප්පම් ඉල්ලූ සැකකරු අත්අඩංගුවට

(21.12.2023 – 20:03 +0530 – sinhala.adaderana.lk)

කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් රුපියල් කෝටි පහක (5) කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර තිබේ.

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙලෙස ඔහුට තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය එම තර්ජනයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (20) කුඩාබුත්ගමුව, අංගොඩ යන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් බවට වාර්තා වෙයි.

සැකකරු විදේශ රටක සිටින ඔහුගේ ඥාති පුත්‍රයෙකු ලවා මෙම මරණ තර්ජන සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත ෴

+++++++++

+


මේ සම්මානය මට දුන්නත් විදුර වගේ මිනිහෙකුගේ අතින් ගන්න නෙවෙයි මම හිටියේ – ඩග්ලස් සිරිවර්ධන (21.12.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *