මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ

මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ


මියන්මාරයේ ‘ත්‍රස්ත සයිබර් කඳවුරු’වල අපාදුක් විඳින ලාංකිකයෝ

(20.12.2023 – 20:36 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයක පිහිටි කඳවුරක ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ අපා දුක් විඳිමින් සිටින බව හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණය වුණා.

ඒ එම කඳවුරේ රඳවා සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් අප වෙත ලබා දුන් තොරතුරක් අනුවයි.

ලක්ෂ ගණනින් වැටුප් ගෙවන බව පවසමින් සංචාරක වීසා මත ඔවුන්ව එරටට ගෙන්වාගෙන ඇත්තේ තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමිනුයි.

කෙසේ වෙතත් තමන්ට දැන් සිදුව ඇත්තේ මාර්ගගත ක්‍රම ඔස්සේ ව්‍යාජ ආදර සබඳතා ගොඩනගා ගනිමින් ලිංගික සේවා සපයා ලොව පුරා ධනවත් පුද්ගලයින්ව රැවටීම බවයි අදාළ කාන්තාව පවසන්නේ.

සංචාරක වීසා මත ගෙන්වාගත් ශ්‍රී ලාංකිකයින් 60 දෙනෙකු පමණ සයිබර් වහලුන් බවට පත් කර මෙම ප්‍රදේශයේ පිහිටි ත්‍රස්ත කඳවුරක රඳවාගෙන සිටින බව එම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

ඔවුන්ව ගෙන්වා ගෙන ඇත්තේ තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමිනුයි.

අදාළ කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් පවසන්නේ, තමන්ව වරින් වර විවිධ කඳවුරු වලට මාරු කරන බවයි.

එසේ රැගෙන යන අතරතුර ‘ගූගල් මැප්’ ආධාරයෙන් තමන් සිටිනා ස්ථානය හඳුනා ගැනීමට එම ශ්‍රී ලාංකිකයින් උත්සාහ දරා තිබූ අතර, මේ එවන් අවස්ථාවල ලබාගත් ඡායාරූප බවයි ඔවුන් සඳහන් කළේ.

තමන් සිටින කඳවුරේ එළිමහන් ප්‍රදේශය රහසිගතව වීඩියෝ කර අප වෙත එවීමටද එම පිරිස කටයුතු කර තිබුණා.

මෙහි සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් පැවසුවේ ඩුබායි හි රැකියාවකට ගොස් සිටියදී හඳුනාගත් චීන කාන්තාවක් තමන්ව මෙම කඳවුරට රැගෙන ආ බවයි.

ඒ තායිලන්තයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු කරන බව පවසමිනුයි.

තොරතුරු තාක්ෂණ උපාධියක් හිමි දෙදරු මවක වන ඇය මේ වනවිට රැඳී සිටින්නේ ද මියන්මාරයේ තායිලන්ත දේශසීමාව අසළ පිහිටි අදාළ ත්‍රස්ත කඳවුරේයි.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ‘තැනැත්තන් වෙළෙඳාම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය’ විසින් පුළුල් විමර්ශන ආරම්භකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කරමින් පවතින බව එම විමර්ශන කොට්ඨාසය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පැවසුවා.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, නුදුරේදීම මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරන බවයි.

+

මියන්මාර ත්‍රස්ත සංවිධානයක භාරයේ සිටින ලාංකිකයින් මුදා ගැනීමට යුද්ධය හරස් වෙයි

(21.12.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මියන්මාර – තායිලන්ත දේශසීමාව ආසන්නයේ ත්‍රස්තවාදී පාලනය යටතේ පවතින ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හදුන්වන ප්‍රදේශයක පිහිටි කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සදහා මේ වනවිට සාකච්ජා ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු පමණ එම කදවුර තුළ වදහිංසාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පිරිස මුදා ගැනීම සදහා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ‘ජානක ප්‍රියන්ත බණ්ඩාර’ සහ මියන්මාරයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සමග අඛණ්ඩ සාකච්ජාවක නිරත වන බවට සඳහන්.

කෙසේ වෙතත් මියන්මාරය, හමුදා පාලනයක් යටතේ පැවතුණ ද අදාළ ප්‍රදේශය ත්‍රස්ත කණ්ඩායම්වල පාලනය පවතින බැවින් එම ත්‍රස්ත කණ්ඩායම් අතර මේ දිනවල යුදමය වාතාවරණයක් පැවතීම නිසා මියන්මාර රජයේ නිලධාරින්ට එම ප්‍රදේශයට ළඟා වීමට නොහැකි වී තිබෙනවා.

මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්වේච්ඡා කාර්ය මණ්ඩල සාමාජිකා නීතිඥ ‘මිහිරි ෆර්නෑන්ඩු’ කියා සිටියේ විවිධ රටවල පුද්ගලයින් 1,20,000 කට අධික පිරිසක් මෙම ත්‍රස්ත කඳවුරුවල රඳවාගෙන සිටින බවයි.

ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ නමින් හඳුන්වන ප්‍රදේශයේ අපාදුක් විඳිමින් සිටින බවයි අනාවරණය වී ඇත්තේ ෴

++++++

+


විභාග කොමසාරිස් කණගාටුවෙයි

(20.12.2023 – 19:52 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පැමිණි ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සපයා නොතිබීමෙන් අද (20) උදෑසන විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පිට පළාත්වලින් ඇගයීම් කටයුතු සඳහා පැමිණි ගුරුවරුන්ට නවාතැන් පහසුකම් ඇතුළු අදාළ පහසුකම් සපයා නොතිබූ බව ප්‍රකාශ කරමින් ඔවුන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගයි මෙම තත්ත්වය මතුවුණේ.

කෙසේ වෙතත්, පසුව එම ස්ථානයට පැමිණි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊට විසඳුම් ලබාදීමටයි පියවර ගත්තා.

එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ගුරුවරුන් පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම, උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීමට ලබාදී තිබූ කාලය අනිද්දා දිනයෙන් අවසන් වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

+


කුඩු අසංකගේ රුපියල් කෝටි 50 ක දේපල නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට

(20.12.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘අසංක ප්‍රියදර්ශන’ හෙවත් ‘කුඩු අසංක’ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 50 කට ආසන්න දේපල නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

එම කොට්ඨාශ භාරයට ගත් දේපල අතර අධි සුඛෝපභෝගි දෙමහල් නිවසක් සුඛෝපභෝගි මෝටර් රථ සහ පවුම් 50 ක රන් භාණ්ඩ තිබෙන බවටයි වාර්තා වන්නේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අද සිදුකළ මෙම වැටලීමේදී ‘කුඩු අසංක’ගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, මේ වනවිට දෙහිවල මුහුදු තීරයේ ඉදිකර ඇති හෝටල් පරිශ්‍රයක් ද අද (20) පොලීසිය නිරීක්ෂණය කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් ඉදිකළ හෝටල් පරිශ්‍රයක් බවට ලද තොරතුරකට අනුවයි ෴


උසස් පෙළ සිසුන්ට ජනපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව නිවේදනයක්

(20.12.2023 – 16:37 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් මෙම වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීමට ලබාදී තිබූ කාලය අනිද්දා (22) දිනයෙන් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි එක් කලාපයකින් සිසුන් 50 බැගින් තෝරා ගෙන සිසුන් 5000 ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

අයදුම්පත් භාර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බැවින් අනිද්දා (22) දිනට පෙර එම අයදුම්පත්‍ර භාරදීමට කටයුතු කරන ලෙසටයි සුදුසුකම් ලැබූ සිසුන් වෙත ජනාධිපති අරමුදල දැනුම් දෙන්නේ ෴


මත්කුඩු ජාවාරමේ මහ මොළකරුවෙකුව යුක්තිය මෙහෙයුමේ දී අත්අඩංගුවට

(20.12.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කටාර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාව අතර සිදුකළ මහපරිමාණ මත්කුඩු ජාවාරමෙහි මහමොළකරුවෙකු වන ‘අලුබෝමුල්ලේ පිංකි’ නමැත්තා පොලිසිය අද (20) අත්අඩංගුවට ගත්තා.

ඒ යුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමක දී.

ඔහුට අමතරව, තවත් පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අලුබෝමුල්ල සහ මහබෙල්ලන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර, සිදුකරන ලද මෙම ජාවාරම්වලට අදාළව දුරකථන සංවාද, මුදල් ගණුදෙණු ඇතුළු තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ දී වසරක පමණ කාලයකදී එම ගිණුම් වලින් රුපියල් කෝටි 15 කට අධික මුදලක් හුවමාරුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව, ‘අලුබෝමුල්ලේ පිංකි’ නමැත්තාට අයත් සුඛෝපභෝගි නිවසක් සහ මෝටර් රථ 3 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

(21.12.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම අද (21) පස්වන (5) දිනටත් ක්‍රියාත්මකයි.

පසුගිය දින තුනේ (3) සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 6553 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට කාන්තාවන් 274 දෙනෙකු ද ඇතුළත්.

එමෙන්ම සීදුව පොලිස් වසමේ ඖෂධ අලෙවිසැල් ආශ්‍රිතව කරන ලද වැටලීමකදී මත්පෙති 16,000 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඖෂධ අලෙවිසැල් පාසැල් ආශ්‍රිතව පිහිටා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෛද්‍ය නිර්දේශ හා ඖෂධවේදීන් නොමැතිව ඖෂධ නිකුත් කිරීම මෙන්ම නියමිත මාත්‍රාව ඉක්මවා ඒවා නිකුත් කිරීම සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අවුරුදු 23 ත් 65 ත් අතර වයස්වල පසුවන බණ්ඩාරවෙළ, වැලිසර, දිවුලපිටිය, මීගමුව සහ සීදූව ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පොලිසිය හඳුන්වා දුන් නව දුරකථන අංක 45 ට ලැබෙන තොරතුරු සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴


විදුලි බල මණ්ඩල සේවකයින්ට බෝනස් නැහැ

(20.12.2023 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට මේ වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බව විෂයභාර අමාත්‍ය කංචන විජේස්කර එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

විදුලි බල මණ්ඩලයේ පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බවයි අමාත්‍යවරයා අදාළ ලිපියේ සඳහන් කර ඇත්තේ.

2015 වසරේ සිට වසර තුනකට (3) වරක් හිමිවූ සියයට 25 ක වැටුප් වර්ධකය ද නොගෙවන බවද අමාත්‍යවරයා එමගින් සඳහන් කර තිබෙනවා ෴


උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

(20.12.2023 – 11:20 +0530 – hirunews.lk/sinhala)

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයෙ‍යෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන්.

ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ක්‍රියාකාරකම් පැවැත්වීම දෙසැම්බර් 29 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.

මෙවර විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම්කර තිබෙන්නේ ෴


ජපානයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ සැකකරු රිමාන්ඩ්

(20.12.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ සැකකරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කර තිබෙනවා.

අනුරාධපුරයේ සිරිමෙවන් උයනේ පදිංචිකරුවෙකු වන 58 හැවිරිදි සැකකරු පෙරේදා කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඊයේ (19) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

මෙම පුද්ගලයා ලියාපදිංචි බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේ කිරක්කුලමේ පදිංචි කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එහි විමර්ශන නිලධාරීන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බව සඳහන් ෴


නව ගාස්තුවත් සමඟින් ‘සිපෙට්කෝ’ ඉන්ධනහල් වැසී යෑමේ අවදානමක

(20.12.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජතෙල් සංස්ථාවට අයත් ‘සිපෙට්කෝ’ ඉන්ධනහල් 238 ම ලබන 25 වැනිදායින් පසුව වැසියාමට ඉඩ ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

සංස්ථාවට අයත් සිපට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට ලැබෙන සියයට 2.75 ක කොමිස් මුදලින් 35% ක මාසික බෙදුම්කාර ධුර ගාස්තුවක් අළුතින් අයකර ගැනීමට සංස්ථාව තීරණය කර තිබෙන බවත් එය ලබන 25 වැනිදාට පෙර එම මුදල ගෙවා නොදමන්නේ නම් එදින සිට ඉන්ධන හල්වලට තෙල් නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිතව තර්ජනය කර ඇති බවත් එම සංගමය පවසනවා.

ඉන්ධනහල්වලට මේ වන විට හිමිවන කොමිස් මුදලින් සියයට 0.25 ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකර ගන්නා බවද ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවද මෙම අය කිරීම යෝජනා වූයේ 2006 වසරේ වුවත් 2014 වසරේදී ක්‍රියාත්මක කිරීමට කළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ දී ක්‍රියාත්මක කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවලංගු වූ බවද එම සංගමය පවසනවා .

එසේ තිබියදී අංක 1053 දරණ චක්‍රලේඛනයට ප්‍රකාරව දැනට ඉන්ධනහල් වෙත හිමිවන සියයට 2.75 ක කොමිස් මුදලින් සියයට තිස්පහක් (35%) අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇති බව සඳහන්.

මීට අමතරව ඉන්ධනහල් හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල්ද මාසික වාරික 12 කින් ගෙවා අවසන් කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

මෙම මාසික බැඳුම්කර ගාස්තු හා හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව ඉන්ධන සැපයුම නතර කරන බවට අනතුරු අඟවා ඇතැයි ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

සංස්ථාවට කිසිම පෙරුම් හලක් කල්බදු ගිවිසුම් ප්‍රකාරව ලබාදී නොමැති නමුත් බෙදුම්කරුවන්ට කල්බදු කුවිතාන්සි නිකුත් කිරීම තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා මෙම තීරණය වෙනුවෙන් නීතිමය ආවරණයක් ලබා ගැනීමට සංගමයට සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *