මාතර පාසල් 22 ක විදුලිය කපයි

මාතර පාසල් 22 ක විදුලිය කපයි


මාතර පාසල් 22 ක විදුලිය කපයි

(20.12.2023 – 07:07 +0530 – hirunews.lk/sinhala)

මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22 ක් විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (19) විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

පාසල්වල විදුලි බිල්පත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර, එම පාසල්වල මාස කීපයක් තිස්සේ හිඟ විදුලි බිල්පත් ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ විදුලිය බිල්පත් සඳහා එම පාසල් මඟින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවිය යුතු බවයි.

විදුලිය විසන්ධිය හේතුවෙන් වර්ෂ අවසානයේ පවත්වන උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු වැඩසටහන් පැවැත්වෙන අතර, එම කටයුතු මේ වන විට අඩාල වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ෴


දිනකට ඩෙංගු රෝගීන් 300 ක්

(20.12.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දිනකට වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 300 ක් පමණ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා තිබෙනවා.

වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 38,164 ක් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 83,065 ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු අධි අවදානම් කලාප 65 ක් රට පුරා දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති අතර ඩෙංගු මරණ 49 ක් වාර්තා වී ඇති බවට සඳහන්.

එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ කිසියම් පුද්ගලයකුට උණ රෝගය පැය 48 ක් පුරා පවතින්නේ නම් එය ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන ලෙසයි ෴


සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයට CID ය පනියි

(19.12.2023 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ නිල කාර්යාලය හා අනුබද්ධ කාර්යාලය පැය පහක (5) පමණ කාලයක් පරීක්ෂා කළා.

එහි තිබූ ලිපිගොනු කිහිපයක් ද ඔවුන් භාරයට ගෙන ඇති අතර, අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්‍රකාශයක්ද ලබාගත්තා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිශක්තීකරණ එන්නත් සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඊයේ (18) අත්අඩංගුවට ගත් අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

එහිදී මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණේ විමර්ශන කටයුතු නිමවන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ නිල කාර්යාලය සහ අනුබද්ධ කාර්යාලයද මුද්‍රා තබන ලෙසයි.

+++++++++

ඖෂධ වංචාවේ මහමොළකරු කෙහෙළිය වහාම අත් අඩංගුවට ගත යුතුයි (20.12.2023)

+


නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසුන 11 ක් අත්අඩංගුවට

(19.12.2023 – 22:33 +0530 – hirunews.lk/sinhala)

නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බවයි පොලිසිය පැවසුවේ.

විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින් මුදල් එක්රැස් කරන බවට බොරැල්ල පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බවත් ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින බවත් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කුරියර් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යයෙකු අත්අඩංගුවට

(20.12.2023 – 09:08 +0530 – hirunews.lk/sinhala)

කුරියර් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෝපායි පොලිස් වසමේ ඊයේ (19) සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රඹෑව – සියඹලාවැව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

වෛද්‍ය පීඨයේ තුන්වන (3) වසරේ ඉගෙනුම ලබන මොහු සතුව තිබී මත්පෙති 11 ක් ද සොයා ගෙන තිබෙනවා ෴


වැස්සෙන් වවුනියාවේ වැව් 41 කට හානි

(20.12.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වැසිත් සමග වවුනියාව දිස්ත්‍රික්කයේ පමණක් වැව් 41 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මෙම දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ වැව් 617 ක්, සුලු වාරිමාර්ග වැව් 17 ක් සහ මහා වාරිමාර්ග වැව් 5 ක් පවතිනවා.

අධික වැසිත් සමග බැමි කැඩීයාම් සහ සිදුරු ඇති වීමේ තත්ත්වයන් දක්නට ලැබෙන බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

සින්නකුලම, සින්න කල්වීරකුලම, පිරමනාදන්කුලම යන වැව්වල බැමි කැඩී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් යුද හමුදාව, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කැඩී ගිය වැව් බැමි වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් ෴


ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේදී 2296 ක් අත්අඩංගුවට. 109 කට රැඳවුම් නියෝග

(20.12.2023 – 08:04 +0530 – hirunews.lk/sinhala)

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමේදී ගත වූ පැය 24 ක කාලය තුළ සැකකරුවන් 2296 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මොවුන්ගෙන් 109 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි.

එමෙන්ම සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වතිකම් විමර්ශන ආරම්භ කර ඇති අතර 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 218 දෙනෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම මෙම මෙහෙයුමේදී හෙරෝයින් කිලෝ 1 ක් සහ අයිස්, ගංජා, හෂිස්, මාවා, ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙති 19,507 ක් ද සොයා ගෙන තිබෙනවා ෴

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත රට පුරා ක්‍රියාත්මක වන නව මත්ද්‍රව්‍ය වැටලීම් ක්‍රියාවලියට දායකත්වය ලබාදෙමින් මහනුවර ගලගෙදර පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ විශේෂ හදිසි මෙහෙයුමකදී නීති විරෝධීන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

ගලගෙදර පොලිසිය සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙම විශේෂ වැටලීමේදී ගලබාව ප්‍රදේශයේ මහා පරිමාණ ලෙස පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් කොටු කරගෙන ඇති බවත් මෙය පොළොව යට සූක්ෂමව ස්ථාපිත කොට තිබූ බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම අලදෙණිය පොලිස් ස්ථානය මගින් සිදු කළ වැටලීමකදී අඩි අටකින් (8) යුත් ගංජා ශාක වගාවක් ද සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇති බවත් දිගින් දිගටම වැටලීම් සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


සිරිපා වන්දනාවේදී මෙවරත් සංචාරක වෙළඳාමට සීමා

(20.12.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මෙවර සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ මස 26 වනදාට යෙදෙන උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා වාරය ලබන වසරේ මැයි මස 24 වනදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මීට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි.

අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතුයි. මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනවා.

පිවිසුම් මාර්ග දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලිකව හෝ ස්ථිර වෙළඳසැල් තැනීමටද අවසර හිමිවන්නේ නැහැ. සියලු සකස් කළ ආහාරද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව තිබිය යුතු අතර, දන්සල් ලබාදීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.

වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතර, වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතුයි. ශ්‍රී පාද මලුව, අම්බලම් සහ විශ්‍රාමශාලාවල සිඟමන් ලබාගැනීම මෙන්ම සිඟමන් ලබාදීමද නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

ආරක්ෂිත ස්ථානවල පමණක් දියනෑම සිදුකළ යුතු අතර, ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පළාත්පාලන ආයතන හඳුනාගෙන ඇති ස්ථාන යොදාගත හැකියි ෴


පරාක්‍රම නිරිඇල්ල ජනාධිපති ඉදිරියේ ඇමති විදුරගේ රෙදි නැති කරයි – අපි සම්මාන දෙන්න දාපු නම් ඇමති කැපුවේ කොහොමද? (20.12.2023)

+


පාර්ලිමේන්තුවත් රවට්ටලා – වෛද්‍ය වසන්ත බණ්ඩාර ගුණදාස අමරසේකර එක්ක මාධ්‍ය හමුවට ඇවිත් කියපු දේ (20.12.2023)

+


‘9 න් පසුව : ශ්‍රී ලංකාවේ ඉරණම?’ සංවාදශීලී සම්මන්ත්‍රණය – විමල් වීරවංශ ලන්ඩනයේදී (18.12.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *