බාල ප්‍රතිදේහ ගෙන්වූ සමාගමට තවත් එන්නත් 3 ක් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ලේකම් අනුමැතිය ඉල්ලා ඇති බවට තොරතුරු

බාල ප්‍රතිදේහ ගෙන්වූ සමාගමට තවත් එන්නත් 3 ක් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ලේකම් අනුමැතිය ඉල්ලා ඇති බවට තොරතුරු


බාල ප්‍රතිදේහ ගෙන්වූ සමාගමට තවත් එන්නත් 3 ක් ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ලේකම් අනුමැතිය ඉල්ලා ඇති බවට තොරතුරු

(18.12.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමටම තවත් එන්නත් වර්ග තුනක් (3) සැපයීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක චන්ද්‍රගුප්ත’ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපි යොමු කර ඇති බව සෞඛ්‍ය වෘත්තිකයන් අනාවරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්ෂි පවතින බවයි.

කෙසේ වෙතත් තවමත් ඔහු අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්න සහගත බවයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ‘විශේෂඥ වෛද්‍ය චමල් සංජීව’ කොළඹ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ.

++++++++

++++++++

+


‘යුක්තිය’ මෙහෙයුමෙන් පැය 24ක් තුළ පුද්ගල‍යින් 2,121ක් අත්අඩංගුවට

(18.12.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් සොයා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමේ දී පැය 24 ක් තුළ පිරිමි සැකකරුවන් 2,020 ක් සහ කාන්තා සැකකරුවන් 101 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

තවද, 133 දෙනෙකු පුනරුත්ථාපනට යොමු ක‍ර ඇති බව සඳහන්.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

පසුගිය පැය 24 තුළ දීපව්‍යාප්තව සිදු කළ විශේෂ මෙහෙයුමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 2.2 ක්, අයිස් ග්‍රෑම් 769 ක්, ගංජා කිලෝග්‍රෑම් 178 ක්, ගංජා පැළ 30,550 ක් සහ මත් පෙති 3,489 ක් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (17) මෙම මෙහෙයුම ආරම්භ කළ අතර එය කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස, තංගල්ල, කන්කසන්තුරය, වව්නියාව ඇතුළු පොලිස් කොට්ඨාස 45 ක ක්‍රියාත්මක කෙරුණා.

එහි අධීක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පත්වරුන් 9 දෙනෙකු යටතේ.

ඊයේ (17) පමණක් රුපියල් කෝටි 11 කට අධික හෑෂ්, කේරළ ගංජා, අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 45 ක් ඇතුළු ජාවාරම්කරුවන් 100 කට ආසන්න පිරිසක් ද අත්අඩංගුවට ගැනීමටයි පියවර ගෙන තිබුණේ.

එමෙන්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ දී කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු උප පොලිස් පරීක්ෂකවරයා දීර්ඝ කාලයක් පුරා කේරළ ගංජා ජාවාරමේ නිරතව ඇති බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ෴


‘මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමය’ වර්ජනයකට සැරසෙයි

(18.12.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

‘මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමය’ හෙට (19) සහ අනිද්දා (20) සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ, ගිලන්රථ සේවකයන් 15 දෙනෙකු සිය රාජකාරිවලින් බැහැර ක්ෂේත්‍ර සහ ආයතන සඳහා මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි ‘මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමයේ’ සභාපති සම්පත් කරුණාරත්න සහ ලේකම් සුදත් හේරත් කියා සිටියේ.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් අද (18) අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයක නිරත වන බව ‘සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ’ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කළා ෴


පලුගස්වැව, මහමීගස්වැව වැඩබිමේ පිහි ඇනුමෙන් සේවකයෙක් මරුට

(18.12.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

වාරිමාර්ග අමාත්‍යාංශය යටත් ක්‍රියාත්මක උතුරුමැද මහඇල උමං ව්‍යාපෘතියේ පලුගස්වැව, මහමීගස්වැව වැඩබිමේ සේවකයික් දෙපිරිසක් අතර ඊයේ (17) ඇති වූ ගැටුමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක් (1) සේවකයෙකු මරණයට පත්ව තවත් සේවකයින් තිදෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගොඩ පොලිසිය පවසනවා.

චීන ජාතිකයින් මෙන්ම ලාංකික සේවක පිරිසක් ද එම වැඩ බිමෙහි සේවය කරනු ලබන අතර, මෙම ගැටුම ඇතිවී තිබුනේ එම ව්‍යාපෘති බිමෙහි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සේවකයින් දෙපිරිසක් අතරයි.

එම සේවක දෙපිරිස අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තාවෙනවා.

එහිදී තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් එක් (1) සේවකයකු මිය ගොස් තවත් සේවකයින් තිදෙනෙකු (3) තුවාල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසනවා.

ගැටුමේදී තුවාල ළත් සේවකයින් කඩිනමින් හබරණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එහිදී බරපතල තත්ත්වයේ පසුවූ එක් (1) සේවකයකු හදිසි ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසුවූ එම වැඩබිම් සේවකයා රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 36 ක් වන අඹගස්වැව, ආසිරිගම පදිංචිව සිටි ‘හේරත් මුදියන්සේලාගේ නන්දතිලක’ නමැති විවාහක දෙදරු පියෙක්.

මෙම සේවකයින්ට තියුණු ආයුධයකින් පහරදුන් බව කියන සැකකාර සේවකයින් අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් මොරගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


ඊසාන දිග මෝසමේ බලපෑමෙන් ගං වතුරක් ඇතිවීමේ අවදානමක්

(18.12.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හමුවේ, පවුල් 2,898 කට අයත් පුද්ගලයින් 9,262 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

මේ අතර, අදත් (18) දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊසානදිග මෝසමත් සමඟ ඇදහැලෙන අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.

උතුරු පළාතේ ඉරණමඩු සහ මුත්තියාන්කට්ටු ජලාශ ඇතුළු සියලුම වැව් වාන් දැමීම හේතුවෙන් පවුල් 2,898 කට අයත් පුද්ගලයින් 9,262 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සහන කඳවුරු හතරක (4) රඳවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටව තිබෙනවා.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පමණක් අවතැන් වූ පුද්ගලයින් ගණන 4,538 ක්.

මුලතිව්, මැරටියන්පත්තු, පුදුකුඩිඉරිප්පු, මාන්තෙයි, තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයන්හි පවුල් 790 කට අයත් පුද්ගලයින් 2,710 දෙනෙකු අවතැන්ව ඇතැයි මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාාකරණ ඒකකය පැවසුවා.

මේ වනවිට අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීම සඳහා මුලතිව් සහ වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් එක්ව සිටිනවා.

මේ අතර, පදවිය ජලාශය වාන් දැමීම හේතුවෙන් මොර ඔය හා වැලි ඇළ පිටාර ගලමින් පවතිනවා.

මේ හේතුවෙන් වෙහෙරතැන්න, බෝගස්වැව 1 සහ 2, සැළලිහිණිගම, නාමල් වැව, නන්දිමිත්‍ර ගම යන ගම්මානවල දරුවන් ඇතුළු පුද්ගලයින් දහසකට (1000) අධික සංඛ්‍යාවක් ආහාර අර්බුදයට ද මුහුණ දී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඇඹිලිපිටිය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ ඇඹිලිපිටිය හුලංදා ඔය පිටාර ගැලීමෙන් කීරවැල්කොටුව ගම්මානය ජලයෙන් යටවී තිබෙනවා.

එහිදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් අක්‍රමවත්ව බැහැර කරන තිබූ අපද්‍රව්‍යද ගංවතුර සමඟ ගසාගෙන පැමිණීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (18) අළුයම තෙක් විවෘත කර තිබුණා.

මේ හේතුවෙන් ඊට පහලින් පිහිටි කැනියොන් ජලාශයේද වාන් දොරටු දෙකක් (2) අද (18) අළුයම වන තෙක් විවෘත කළ බවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.

+


අමු මිරිස් අස්වැන්නෙන් කෝටියක වාර්තා ගත ආදායමක්

(18.12.2023 – 19:44 +0530 – hirunews.lk/sinhala)

අක්කර බාගයකින් (½) මෙතෙක් ලබාගත් වැඩිම අමු මිරිස් අස්වැන්න හා ආදායම තිරප්පනේ පුලියන්කුළම ප්‍රදේශයේ ගොවියෙකු විසින් උපයා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියක (1,00,00,000) පමණ වාර්තා ගත ආදායමක් උපයා ගෙන ඇති බවයි.

අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ පැළ 13,000 ක් ඔහු විසින් රෝපණය කර ඇති අතර මාස 9 ක් පුරා ඔහු අඛණ්ඩව මිරිස් අස්වැන්න නෙලා ගෙන තිබෙනවා ෴


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අධිකරණයට

(18.12.2023 – 18:25 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක චන්ද්‍රගුප්ත’ ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්’ ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු අද (18) තුන්වන (3) වතාවටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පසුගිය 30 වනදා දෙවනවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’ පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබුණා ෴

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 04 දෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙනවා ෴

(18.12.2023 – 20:51 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක චන්ද්‍රගුප්ත’ දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්’ ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (18) ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴

+++++++++

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකට අධිකරණයෙන් දුන් නියෝගය

(18.12.2023 – 21:23 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබීමටද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම කාර්යාලයේ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට (19) පරීක්ෂා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴

+++++++++++

+


මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(18.12.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනය සංස්පර්ශය තිළිණ කළ ථේරවාද මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානය බවයි.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැදී සිටන ශ්‍රී ලංකා ජන රජය මෙම ඓතිහාසික උරුමය සුරක්ෂිත කරලීමෙහි ලා අප්‍රමාදීව කටයුතු කළ යුතු බව, තරයේ විශ්වාස කරන බවද අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා ෴


පාසල් අවට විශේෂ මෙහෙයුමක් සඳහා දේශබන්දුගෙන් නියෝගයක්

(18.12.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම පාසලක සිට මීටර් 500 ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එය පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසයි ෴


පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙළ සිරකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(18.12.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර වටරවුම ආසන්නයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුගේ ගෙළ සිර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පොලිස් කොස්තාපල්වරයාගේ පිටුපසින් පැමිණ ගෙළ වටා අත දමා ගෙල සිරකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී අවට සිටි පුද්ගලයින් වහා ක්‍රියාත්මක වී සැකකරුගේ ග්‍රහණයෙන් නිලධාරියා මුදාගෙන තිබෙනවා.

සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවටයි පොලිසිය සැක කෙරෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *