‘පාතාලය’ට අන්තිම පැය කිහිපය ඇරඹෙයි.. මෙහෙයුම් අද (17) සිට..

‘පාතාලය’ට අන්තිම පැය කිහිපය ඇරඹෙයි.. මෙහෙයුම් අද (17) සිට..


‘පාතාලය’ට අන්තිම පැය කිහිපය ඇරඹෙයි.. මෙහෙයුම් අද (17) සිට..

(17.12.2023 – 06:04 +0530 – lankacnews.com)

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් අද (17) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මාතර පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මීට වසර එක හමාරකට (1½) පෙර මෙම අමාත්‍යංශයේ වගකීම භාරගැනීමට අපට සිදුවූයේ මුළු රටම ගිනි ගනිමින් තිබුණු පසුබිමක් තුළයි. අරගලය තුළ මුළු කොළඹම ජන ජීවිතය වෙනස් වී පැවතුනා. මාර්ග අවහිරව පැවතුණා. කිසිදු විදේශිකයකු මෙරටට පැමිනුනේ නැහැ. ව්‍යාපාර කටයුතු අඩපණ වුණා. බොහෝ ආයතන වැඩි කාලයක් වසා තැබීමට සිදුවීම හේතුවෙන් බොහෝ දෙනෙකුට නිසි වැටුපක් ලැබුණේ නැහැ. ඒ කාලය තුල රටේ නායකත්වයේද වෙනසක් සිදුවූවා. ඉතා දීර්ඝ ලෙස මෙම තත්ත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව වර්තමාන පොලිස්පතිතුමාගේ ද සහයෝගයෙන් මුලින්ම එවකට කොළඹ විවිධ ස්ථානවල පිහිටුවා තිබූ ‘ගම්’ ඉවත් කර ගැනීම සඳහා නිශ්චිත කාලසීමාවක් ලබා දෙන බවට නිවේදනයක් ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුමක්‌ සකස් කරනු ලැබුවා. ඉන් අනතුරුව එවක පොලිස්පතිවරයාද දැනුවත් කර කොළඹ ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා. එම අවස්ථාවේ අරගලයට පහර දුන් බවට සමාජ මාධ්‍ය තුලින් අප පිළිබඳ දැඩි විරෝධයක් ඇති කරනු ලැබුවා. නමුත් අප මර්දනය කළේ අරගලය නොවෙයි. අප සිදු කලේ සාමාන්‍ය ජන ජීවිතය පවතිනවාටත් වඩා ඉතාමත් අපහසු තත්වයකට පත් වීම වැලැක්වීමයි.

එවකට පොලිසියටත් පොලිස් නිලධාරීන්ටත් ඉතාමත් නරක ආකාරයෙන් සැලකු කාලයක් පැවතුනා. පොලිස් නිල ඇඳුම ඇඟලා ගත් පසු කිසිවෙකුටත් යටත් විය යුතු නැහැ. රාජකාරිය නොබියව ඉටු කරන ලෙස මම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ තුළින් නැවතත් පොලිසියටත් දිරිගැන්වීමක් ලබා දෙන්නට අපට හැකි වුණා. අප අනුගමනය කළ සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවේ මහජනයාගේ යහපත වෙනුවෙන්. ඒ තුළින් රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා.

අරගලය ඇතුළු එවකට පැවැති තත්ත්වයන් හේතුවෙන් පාතාලය, අපරාධ, මත්ද්‍රව්‍ය පිළිබඳ අවධානය යම් ප්‍රමාණයකට පොලිසියෙන් ගිලිහී තිබුණා. එම නිසා සෑම ප්‍රදේශයකම මෙවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීම සිදු වුණා. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා අවස්ථා කීපයකදීම සමඟ සාකච්ඡාවේ නිරත වුණා. ඊට පවතින එකම විකල්පය නීතිය තදින් ක්‍රියාත්මක කිරීම බව අප ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා පොරොන්දු වුණා.

ප්‍රජා පොලිස් කමිටු ඇතුළු සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට අප සූදානම්. පොලීසියට සහ විශේෂ කාර්ය බලකායට ඒ වෙනුවෙන් තදින්ම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන පිරිසක් සිටිනවා, එම මත්කුඩු බෙදාහරින පිරිසක් සිටිනවා, මත්කුඩු භාවිතා කරන පිරිසක් සිටිනවා. මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ගෙන්වන ජාවාරම්කරුවන් පිළිබඳව නාවික හමුදාවත් සමඟ එක්ව පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මත්කුඩු අලෙවි කිරීමේ ජාලය සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීම සඳහායි. ඒ සඳහා ප්‍රජා පොලිස් ඒකකවල විශේෂ සහයෝගය අවශ්‍ය වනවා. විශේෂයෙන්ම ගම් සහ නගර ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වන්නන් පිළිබඳව ජනතාවට අවබෝධයක් පවතිනවා. පොලිසියට අවශ්‍ය වන්නේ ඒ තොරතුරු ලබා ගැනීමයි. එලෙස ලබාදෙන තොරතුරු සහ තොරතුරු ලබා දෙන අයගේ ආරක්ෂාව පිළිබඳව සියලු සැලසුම් අප සකස් කර තිබෙනවා. මේ වෑයම සඳහා අපත් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කවර තරාතිරමක අයෙකුගේ හෝ බලපෑම්වලට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා. එළඹෙන ජුනි 30 වනදා වන විට සම්පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.

විශේෂයෙන්ම මත්කුඩු හා මත්ද්‍රව්‍ය හේතුවෙන් පාතාල ක්‍රියාකාරකම්ද වර්ධනය වනවා. කාන්තාවන්ට හා ළමයින්ට විවිධ හිරිහැර වලට මුහුණ දීමට සිදු වනවා. ජනවාරි මාසයේ සිට එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට පොලිස් කාන්තා නිලධාරිනියන් කටයුතු කරන, පැය 24 ම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කරනවා.

මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවේවි. මේ වන විටත් සංවිධානාත්මකව එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එවැනි කටයුතුවලින් මෙම ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට කිසිවෙකු උත්සාහ කරනවා නම් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. එවැනි ප්‍රචාරයන් සිදුකරන බොහෝ දෙනෙකු යැපෙන්නේ පාතාලයෙන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන්. බොහෝ දෙනෙකු විදේශයන්හි සිට මෙවැනි කටයුතු සඳහා මුදල් වැය කරනවා. අරගලගේ දී සිදුවුයේත් එයයි.

මේ වැඩ පිළිවෙල වෙනුවෙන් කිසිදු අවිශ්වාසයකින් තොරව අප හා අත්වැල් බැඳගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එහි සහයෝගයත් සමඟ කවර බාධක, අභියෝග පැවතුනත් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා.

මත්ද්‍රව්‍ය අලෙවියේ යෙදෙන පිරිසගෙන්ද තම දරුවන්, පවුල පිළිබඳ සිතමින් මේ ව්‍යසනයට දායක නොවන ලෙස ඉල්ලීමක් කරනවා. මින් ඉදිරියට එවැනි අයවලුන් සඳහා පොලිසියෙන් කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ.

පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ බොහෝ ප්‍රබලයින්ද අවසානයේ පොලිසියේ හෝ විරුද්ධවාදීන්ගේ ඉලක්කයන් බවට පත්වෙනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද කිසිවෙකුගේ පිහිටකින් තොරව අසරණ බවට පත්වන ආකාරය අපි දැක තිබෙනවා. එම නිසා මෙවැනි කටයුතුවලින් ඉවත් වන ලෙස සිහිපත් කරනවා.එමෙන්ම නීතී විරෝධී ලෙස අවි ආයුධ ළඟ තබාගෙන සිටින පිරිසටද ඉදිරියේදී පොලිසියෙන් ගැලවීමක් නොලැබෙන බවද සිහිපත් කිරීමට කැමැතියි. ඔවුන් එම ආයුධ යම් කිසි අපරාධ ක්‍රියාවකට භාවිතා කරන්නට සැරසෙනවා නම් ඊට පෙර පොලිසියට ආයුධ භාවිත කිරීමට සිදුවෙනවා.”

අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශ

+++++++++

+

රුපියල් මිලියන 20 කට අධික කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

(17.12.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තොගයේ වටිනාකම රුපියල් මිලියන 20 කට අධික බවයි වාර්තා වෙන්නේ.

පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ මෙහෙයුම්වලදී ජාඇල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴

+

මිරිස්ගල යටින් මතුවූ දේ

(17.12.2023 – 16:12 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ගල යට සූක්ෂම ලෙස තැනූ කුහරයක සඟවා පාසල් සිසුන්ට මත්කරල් අලෙවි කළ කාන්තාවක් මට්ටක්කුලිය නිවසකදී අත්අඩංගුවට ගත් බව අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකාරිය සමග මත්කරල් 1310 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම්වලට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව වැටලිම කළ බවයි පොලිසිය පවසන්නේ.

පාසල් ළමුන් සහ අමතර පන්ති යන ළමුන් ඉරක්ක කරගෙන මත් කරලක් රුපියල් සියය (100) බැගින් අලෙවි කර ඇති බවයි පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

56 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකාරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වූයේ පසුගිය අරගල සමයේ – ටිරාන් අලස්

(17.12.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වනවිට පවතින තත්ත්වය දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වූයේ පසුගිය අරගල සමයේ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනකදියි.

මාතර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (16) පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

+

දිවයිනම රත් කරමින් යුක්තිය මෙහෙයුම අරඹයි

(17.12.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මර්දනය කරන යුක්තිය මෙහෙයුම අද (17) අලුයම සිට දිවයිනම ආවරණ වන පරිදි ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කෙරුණා.

එහිදී සැඟව සිටි වරෙන්තුකරුවන් සහ සැකකරුවන් රැසක් මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය හා ආයුධ ද සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර ලබන 23 වැනිදා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සහ පාතාල ක්‍රියාකාරම් මර්දනය අරමුණු කරගත් යුක්තිය විශේෂ මෙහෙයුම අද සිට ක්‍රියාත්මකයි.

අද (17) සිට දින හතක් (07) පුරාවට දිවයිනම ආවරණ පරිදි පොලිස් කොට්ඨාස 45 කදී පැවැත්වෙන මෙම මෙහෙයුම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් එක්ව සිටිනවා.

මෙම මෙහෙයුම දිවයින පුරා පොලිස් කොට්ඨාස කිහිපයකදී අද (17) අලුයම සිටම ක්‍රියාත්මක කෙරුණා.

කොලොන්නාව, වැල්ලම්පිටිය සංහිඳ සෙවණ නිවාස සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි එක් මෙහෙයුමක් ඊයේ (16) රාත්‍රියේ සිටම ආරම්භ වුණා.

ආරක්ෂක අංශ නිලධාරීන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිමෙම මෙහෙයුම සඳහා සඳහා ඩ්‍රෝන කැමරා මෙන්ම පොලිස් නිල සුනඛයින්ද යොදාගෙන තිබු අතර, මෙහෙයුම නිරීක්ෂණය සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එක්ව සිටියා.

මෙම මෙහෙයුමේදි හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර එම මත්ද්‍රව්‍ය සහ ආයුධ කිහිපයක් ද ආරක්ෂක අංශ භාරයට ගත්තා.

මේ අතර, කළුතර දකුණ තේක්කවත්ත මහල් නිවාස සංකීර්ණය සහ කළුතර උතුර දුම්රියපොළ අසළ මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව ද අද (17) අලුයම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

එම මෙහෙයුමේදී ද සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍ය සහ ආයුධ ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

පානදුර මෝදරවිල නිවාස සංකීර්ණයේ ද අද (17) අලුයම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.

ඒ සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදා නිලධාරීන් 175 දෙනෙකු එක්ව සිටියා.

මෙම මෙහෙයුමේදි අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම වරෙන්තු ලබා සැඟව සිටි පුද්ගලයින් ඇතුළු සැකකරුවන් තිස් දෙනෙකුට (30) ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා මේ වනවිට සිදු කෙරෙමින් පවතින යුක්තිය මෙහෙයුමට අදාළව වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කෙරුණේ අද (17) අලුයම හතරේ (04:00) සිටයි.

දිවයින පුරා පොලිස් කොට්ඨාස 45 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද එක්ව සිටිනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරු 9 දෙනෙකු විසින් මෙම මෙහෙයුමේ සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


ඉන්දියාවේ සංගීත වැඩසටහනකින් පළමු තැන අපේ කිල්මිෂාට

(17.12.2023 – 22:39 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ – තමිල්නාඩුවේ ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනියක් විසින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකින් ලක්මව බැබළවීමට ශ්‍රී ලංකාවේ දියණියක් සමත් වුණා.

ඇය නමින් ‘කිල්මිෂා’.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ‘කිල්මිෂා’ පත් වුණා.

මීට මාස කිහිපයකට පෙර ආරම්භ වූ මෙම සංගීත වැඩසටහනට ලංකාවෙන් දෙදෙනෙක් (2) සහභාගී වුණා.

‘අශානි’ නම් දියණියක් සහ ‘කිල්මිෂා’ වැඩසටහනට සහභාගි වෙමින් තම දක්ෂතා එළිදැක්වූ අතර මෙයින් ‘කිල්මිෂා’ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ‘අශානි’ අවසන් මොහොතේ තරගයෙන් ඉවත් වූවා.

මේ තත්ත්වය තුළ අද (17) අවසන් මහා තරගය චෙන්නායි නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එම තරගයෙන් අනතුරුවයි ඇය මෙම තරගයෙන් ජයග්‍රාහණය හිමිකර ගත්තේ.

+++++++++

https://www.tiktok.com/@sayooanvi1/video/7313580173905972481

+

https://www.tiktok.com/@dinomax9.0/video/7313596985544543489

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *